[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

නවම්  පුර පසළොස්වක

පෙබරවාරි 01 ඉරිදා පූ.භා. 05.54න් පුර පසළොස්වක ලබා 02 සඳුදා පූ.භා. 03.41න් ගෙවේ.
01 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍පෙබරවාරි 01 

Second Quarterඅව අටවක

‍‍‍පෙබරවාරි 09    

Full Moonඅමාවක

පෙබරවාරි 16

First Quarterපුර අටවක

පෙබරවාරි 24   

 

 

 

 

 

 

 

 

 

 

 

 

සර්වඥ ධාතු වන්දනාව මෙම 4 දා සිට 11 දක්වා කොළඹ ගංගාරාමයේ දී

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩිගේ උපන් ගම් ප්‍රදේශය වන ගුජරාට් ප්‍රාන්තයේ අරාවල්ලි දිස්ත්‍රික්කයේ දෙව්නි මෝර් කැණීම්වල දී සොයාගන්න ලද සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රථම වරට මෙරටට වැඩම කිරීම මෙම 04 වැනි දා සිදු කෙරේ. 1959/1963 වකවානුවේ දී  දෙව්නි මෝර් කැණීම්වල දී සොයා ගන්නා ලද  බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේ මෙතෙක් ඉන්දියාවෙන් බාහිර වෙනත් රටකට වැඩමවා නොමැති අතර,  පසුගියදා සිදු වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ පැවැත්වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම ශාරීරික ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමේ අවස්ථාව මෙරට ජනතාවට හිමි ව තිබේ. පෙබරවාරි  04 වැනි දා මෙරටට සර්වඥ ධාතූන් වහන්සේ වැඩම කරවීමට නියමිත අතර, එදින සිට හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී සාමාන්‍ය ජනතාවට ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමට අවස්ථාව විවෘත වේ. පෙබරවාරි 04 වැනි දා සිට 11 වැනි දා දක්වා දින 07ක කාලයක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී මේ සර්වඥ ධාතු වන්දනාව පැවැත්වේ. කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් පවසන්නේ ශ්‍රී සර්වඥධාතු වන්දනාවට පැමිණෙන අතිවිශාල ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට කටයුතු යොදා ඇති බවයි. සියලු ජනතාව මුත්තයියා පාරේ ඇති උද්‍යානයේ සිට විහාරස්ථානයට පැමිණිය යුතු බවත්, සැදැහැවතුන්ට  අවශ්‍ය සනීපාරක්ෂක හා ජල පහසුකම් සපයනු ලබන බවයි. එමෙන්ම ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ විසින් අවශ්‍ය පියවර ගෙන ඇති බව බව ද උන් වහන්සෙ පවසති. විශේෂ අවශ්‍යතා ඇති අය වෙනුවෙන් අවශ්‍ය පහසුකම් ද සලසා ඇත.

සුපසන් සිතිවිලි පුරවා හදබිම - නමදිමු පිවිතුරු සිරිපා පුදබිම

සිරිපා අඩවියේ ‘සමනොළ කන්ද’ සංවේදී පරිසර පද්ධතිය අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කර ගැනීමේ අරමුණෙන් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ සංකල්පය යටතේ තිරසාර වැඩ පිළිවෙළක් ලෙස ‘සමනොළ සිරි - හරිත වන්දනා’ වැඩසටහන පසුගිය නොවැම්බර් මස ආරම්භ කෙරිණ. පරිසර හිතකාමී ලෙස වන්දනාකරුවන් හා බැතිමතුන් සඳහා පහසුකම් ප්‍රවර්ධනය කිරීම වැඩසටහනේ ප්‍රමුඛ අරමුණයි. ප්‍රථම අදියරේ දී, සිරිපා අඩවියේ මළුව අවට ප්‍රදේශය හා හෙළ ප්‍රදේශවල දීර්ඝ කාලයක සිට එක්රැස්ව පැවති කසල තොගයක් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ඉවත් කිරීමට පියවර ගැනිණ. මෙම දුෂ්කර මෙහෙයුමේ දී ප්ලාස්ටික්, පොලිතීන් හා නොදිරන අපද්‍රව්‍ය මෙන්ම දිරන අපද්‍රව්‍ය කිලෝ 5697ක් නල්ලතන්නිය ප්‍රදේශයට රැගෙන ඒමට හැකි විය. පසුව ඒවා වෙන්කොට ප්‍රතිචක්‍රීයකරණයට යොමු කිරීමට මස්කෙළිය ප්‍රාදේශීය සභාව විසින් පියවර ගනු ලැබීය. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය, මස්කෙළිය හා නෝර්වුඩ් ප්‍රාදේශීය සභා ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක් ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ක්‍රියාත්මක කළ මෙම වැඩසටහන සඳහා දායකත්වය සැපයීය. විශේෂයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ කමාන්ඩෝ බලකායේ ‘ඒකාබද්ධ ශ්‍රම මෙහෙයුම’ මෙහිදී විශේෂ දායකත්වයක් සැපයීය. 2025- 2026 සිරිපා වන්දනා සමය ආරම්භ වීමට ප්‍රථම මෙම සංවේදී පරිසර පද්ධතිය පොලිතීන් හා ප්ලාස්ටික්වලින් දූෂණය වීම වැළැක්වීමේ අරමුණෙන් ක්‍රියාත්මක කෙරුණු වැඩසටහනේ දී, මහගිරිදඹ අසල නාය ගිය පස්කන්ද හා සීත ගඟුලට නුදුරු ප්‍රදේශයට කඩා වැටුණු පස් කන්ද ඉවත් කොට නල්ලතන්නිය - ශ්‍රී පාද මාර්ගය විවෘත කිරීම ද සිදු කෙරිණ. එහිදී සමන්දේව ප්‍රතිමාව වැඩමවීමට පහසුකම් සැපයිණ. මීට අවශ්‍ය සියලු ඉදිකිරීම් ද්‍රව්‍ය ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ලබා දෙන ලදී. ඉදිකිරීම්, ත්‍රිවිධ හමුදාවේ භට පිරිස් විසින් සිදු කරනු ලැබූහ. මේ අනුව අඩි 300ක් දිග, මිලිමීටර් 300ක අතුරු බැම්මක්, අඩි 90ක් දිග මිලිමීටර් 500ක අතුරු බැම්මක් හා ආරක්ෂිත බැම්මක් ඉදිකරනු ලැබීය. තවද වන්දනාකරුවන්ගේ හා බැතිමතුන්ගේ ආරක්ෂාව සහතික කිරීමට මාර්ගයේ අත්වැල් සවි කිරීම ද සාර්ථක ව නිම කෙරිණි.

නවම් පුර පොහොය වරුණ

බුද්ධ චරිතයේ මෙන්ම ශාසන ඉතිහාසයේත් වැදගත් සිදුවීම් රැසක් සිදුවූ දිනයක් නිසා නවම් පොහොය බෞද්ධ අපට අනුස්මරණීය වේ. ප්‍රථම මහා සංඝ සන්නිපාතය සිදුවීම, එහිදී සැරියුත් හා මුගලන් දෙනම හට බුද්ධ ශාසනයෙහි අගතනතුරු පිරිනැමීම අද වැනි නවම් පුන් පොහෝ දිනක සිදුවිය. එසේම භික්ෂූන් වහන්සේට ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීමත්, බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරීමත් සිද්ධ වූයේ නවම් පුර පසළොස්වක පොහොය දවසකදීය. ප්‍රථමවරට භික්ෂූ සංඝයා එක් රැස් කොට මහා සංඝ සම්මේලනයක් නවම් පොහොය දින පැවැත්විණි. රජගහ නුවර වේළුවනාරාමය කේන්ද්‍රකරගෙන තුන්බෑජටිල රහතන් වහන්සේ ඇතුළු 1250කට අධික භික්ෂුන් වහන්සේ මේ සඳහා වැඩම කළහ. මෙය මෙතෙක් ලෝකයෙහි ප්‍රථම රහත් සංඝ සන්නිපාතය ලෙස ඉතිහාසගත ව ඇත. සංඝ සන්නිපාතය අවස්ථාවේ දී සැරියුත් මුගලන් දෙනමට සම්බුදු සසුනේ අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම සුවිශේෂී කරුණකි. 1250ක් පමණ වූ රහතන් වහන්සේ මැද වැඩහුන් බුදුරජාණන් වහන්සේ සැරියුත් තෙරණුවන් හට දකුණත් සවු වශයෙන් ද, මුගලන් තෙරණුවන් හට වමත් සවු වශයෙන් ද තනතුර පිරිනැමූ සේක. සුදුස්සාට සුදුසු තැන ලබා දීමේ සම්ප්‍රදාය බුදුරජාණන් වහන්සේ ක්‍රියාවෙන් පෙන්වා දුන් එක් අවස්ථාවකි. බුදු දහමේ මූලික දේශනා දෙකකි. ඉන් පළමුවැන්න ඕවාද ප්‍රාතිමෝක්ෂ දේශනාවයි. දෙවැන්න ආනා දේශනාවයි. ඕවාද ප්‍රාතිමෝක්ෂ යනුවෙන් අදහස් කරන්නේ යම්කිසි අවවාදයක් කිරීමයි. මින් අපේක්ෂා කරන්නේ ස්වයං හික්මීමයි. නැතහොත් තමා විසින් ම තමා හික්මවා ගැනීමයි. ‘ආනා’ දේශනාව යනු අණ කිරීමයි. මෙහිදී ශික්ෂා පද පැනවීම සිදුවිය. විනය රැක ගන්නට මෙය බෙහෙවින් වැදගත් විය. බුදු දහම කෙතරම් විනය ගරුක දර්ශනයක් දැයි මෙයින් පැහැදිලි වෙයි. බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේට ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම නවම් පුර පොහෝ දිනයේ සිදුවූ තවත් සුවිශේෂී වැදගත් සිදුවීමකි. බුද්ධ ශාසනයෙහි ප්‍රථම විසි වසර තුළ තථාගත බුදුරජාණන් වහන්සේට තම ශ්‍රාවකයන් වහන්සේලාට විනය ශික්ෂා පැනවීමේ කිසිදු අවශ්‍යතාවක් වූයේ නැත. හේතුවක් නැතිව විනය ශික්ෂා පැනවීමක් සිදු නොකළ අතර එම කාලය ක්ලේෂ ධර්ම අඩු අය බහුල වශයෙන් සිටි කාලයක් විය. එනිසා රහතන් වහන්සේ බහුල වූ බව පෙනී යයි.

නිවීමට සැනසීමට කරණීය මෙත් සුතුර

පන්සියයක් භික්ෂුන් වහන්සේ වනගත ව බවුන් වඩන අවස්ථාවේ දී දැක්ක හා ඇසුණු බියජනක සිද්ධීන් නිසා සිත වික්ෂිප්ත වී කායික හා මානසික පීඩනයට ලක්වූ බවත්, එයට පිළියමක් වශයෙන් බුදු පියාණන් වහන්සේ එම උපද්‍රව මැඬලීම සඳහා උන්වහන්සේට කරණූීය මෙත්ත සූත්‍රය සජ්ඣායනා කරමින් එය භාවනාමය කමටහනක් කරගෙන වීරියෙන් යුතු ව වාසය කරන ලෙසට උපදෙස් දුන්හ. එයට එකඟ වූ උන්වහන්සේ නැවත වනයට ගොස් අදාළ උපදෙස් අනුව භාවනා කළහ. කරණීය මෙත්ත සූත්‍රයට අනුව භික්ෂුන් වහන්සේගේ සිත් තුළ ධර්මය වැඩෙන්නට වූයේ සූත්‍රය තුළ ගැබ්වී ඇති ගුණ දහම් උන්වහන්සේගේ සන්තානයෙහි රෝපණය වීමත් සමඟ ය. උන්වහන්සේගේ නොවැඩුණු සිත වැඩෙන්නට විය. ඉන්ද්‍රිය ධර්ම වැඩෙමින් සිත ශක්තිමත් වූයේ කුසල් දහම් මත ය. මෙයින් ඉතා සතුටට පත් අදෘෂ්‍යමාන දෙවි දේවතාවන් හා අමනුෂ්‍යයන් ගෞරවයෙන් යුතු ව ශ්‍රද්ධාවෙන් වස් කාලය අවසන් වන තෙක් ඇප උපස්ථාන කළහ. අවසානයේ භික්ෂුන් වහන්සේ පන්සිය නම ම රහත් භාවයට පත්වූහ. අමනුෂ්‍ය බලවේග ඉවත් කිරීමේ ද්වේශ සහත වැඩපිළිවෙළක් පිරිත් සජ්ඣායනා තුළ නැත. කරණීයමෙත්ත සූත්‍රය වැනි බලගතු සූත්‍රයක් සජ්ඣායනා කිරීමෙන් පමණක් එහි වටිනා ආනිශංස ලබා ගත නොහැක. සාර්ථක වූත්, සතිමත් වූත්, ගුණ යහපත් සත්පුරුෂයකු ඉපිදවීමට සමත් වටිනා ප්‍රතිපදාන මෙම සූත්‍රය තුළ සැඟවී ඇත. එපමණක් නොව උතුම් වූ නිර්වාණ මාර්ග හඳුනාගෙන ගමන් කරන පින්වතකුට කළ යුතු නොවරදින වැඩපිළිවෙළක් මෙහි ඇත. මේ රහස හඳුනාගත් හේතු සම්පත් ඇති පින්වත් අය සූත්‍රය කමටහනක් කරගෙන එහි ගුණාංග ජීවිතයට හුරු පුරුදු කිරීමට උත්සාහ ගනිති. “යං තං සන්තං පදං” යන පාඨය මෙහි ප්‍රධාන මාතෘකාව ලෙස ගතහොත් ඉන් කියැවෙන්නේ ශාන්ත පද යැයි කියනු ලබන නිවන ලබා ගැනීමට කැමැති,අභිවෘද්ධියේ දක්ෂයාට ඒ සඳහා මේ දෙය කළ යුතු යැයි අපූරු වැඩ කොටසක් මෙහි යෝජනා කර ඇත. එහි පළමු වැඩ කොටස ලෙස සඳහන් කර ඇත්තේ “සක්කෝ” කියන ශක්තිමත් පාලි වචනය යි. එහි තේරුම දක්ෂතාවයි. කුමකට දක්ෂ විය යුතුද? අත්තකුසලය වැඩි දියුණු කිරීම සඳහා හෙවත් සතර සම්‍යක් ප්‍රධන් වීර්ය වැඩීම සඳහා දක්ෂ විය යුතු ය.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]