[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

නවම් පුර පසළොස්වක පෝ දා 2026-02-01

හැසිරීම් හැසිරවීමට කාලයයි

මහ පොළොවට බරක් නොවී ජීවත් වූ දුරාතීතයේ අපේ මුතුන් මිත්තෝ මාතෘභූමිය ආරක්ෂා කළේ වැලිකැටයකට පවා හානියක් නොවන ලෙස ය.

සම්බුදු දහමින් සුපෝෂිත වූ අනභිභවනීය සංස්කෘතික පරිසරයක දිවි ගෙවූ ඔවුහු මතු පරපුරට උරුම කළ විස්කම් අදටත් අපට ලෝකයා ඉදිරියේ සාඩම්බර ජාතියක් ව ලාංකේයයන් ලෙස පෙනී සිටීමේ භාග්‍යය ඉතිරි කර තිබේ. අභාග්‍යය නම් ඒ උරුම රැක ගන්නට තබා ඉන්න හිටින තැන පිරිසුදුකම රකින්නට තරම් වත් අද අපේ මිනිසුන්ගේ හදවත් සංවේදී නොවීම ය.

සිංහලකම, බෞද්ධකම ගැන අපි මහ ඉහළින් කතා කරමු. සැබැවින් ම එය ආඩම්බරයට කරුණකි. එය යථාර්ථයක් වන්නට තරම් ඒ කතාවේ තරමට ක්‍රියාව ද තිබිය යුතු ය. බෞද්ධයා ජීවත්වන වටපිටාව, යන එන තැන පිවිතුරු විය යුතු ය. ගහකොළ සතා සීපාවුන්ගේ ජීවිතයට තර්ජනයක් නොවිය යුතු ය. විශේෂයෙන් ම බෞද්ධ පුදබිමක පවිත්‍රබව නොදැකිය හැකි නම් ඒ අය තමන් හඳුන්වා දෙන බෞද්ධකම පිළිබඳ ඇත්තේ සුළුපටු ගැටලුවක් නොවේ.

අපේ උරුමයන් වූ බොදු පුදබිම් අතර තථාගතයන් වහන්සේගේ සිරිපා සටහනින් සුපුජිත වූ සමනොළ කන්ද බෞද්ධයාගේ අපරිමිත ආදරයට, ගෞරවයට, නමස්කාරයට පාත්‍ර වූ පුණ්‍ය භූමියකි. එහෙත් කලෙක සිට සිරිපා සමයේ අවසානය ගැන අපට අසන්නට ලැබෙන කතාව අමිහිරි ය. වසරක් පාසා එහි ගොඩ ගැසෙන කසළ කඳු එක් තැනෙක ගොඩගැසුවා නම් සමනල කන්දටත් වඩා උස් ව නැඟෙනු ඇත. පසුගිය දිට්වා සුළි කුණාටු සමයේ සිරිපා අඩවියේ නාය යාමට හසුවී ඇත්තේ ද මේ කසළ කඳු ය. ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මඟ පෙන්වීම මත ක්‍රියාත්මක අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහනට අනුව පසුගියදා සිරිපා අඩවියේ මලුව අවට හා හෙළ ප්‍රදේශවල ඉවත් කරන ලද පොලිතින්, ප්ලාස්ටික් ඇතුළු දිරන, නොදිරන, අපද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 5697 කි. මෙයින් කියන්නේ සිරිපා කරුණා කරන හිස්ගෙඩිවල හිස්බව ම මිස අන් කවරක්ද?

අතීතයේ සිරිපා ගමන ඉතා සැහැල්ලු ය. රෙදි භාවිතයෙන් කළ සැහැල්ලුව තුළ පරිසරය වනසන දෑ නොවීය. දිරන අපද්‍රව්‍ය වුව ද බිම නොහෙළන්නට තරම් එදා වන්දනාකරුවෝ විනයගරුක වූහ. ඒ තමන්ගේ ශාස්තෘන් වහන්සේට ඇති ගෞරවයෙනි. ඒ සැබෑ බෞද්ධකම ය. අන්‍ය භක්තිකයෝ ද ඒ මඟ ම ගත්හ.

එහෙත් අද තත්ත්වය ඊට සපුරා වෙනස්වෙමින් තිබේ. වන්දනාකරුවන් සේ ම තැන තැන ඉදිවන තාවකාලික වෙළෙඳසල්වලින් ද ඉවතලන අපද්‍රව්‍ය නිසා සිරිපා අඩවිය විනාශයට ගෙන යමින් තිබේ.

ජෛව විවිධත්වය අතින් සිරිපා රක්ෂිතය සුවිශේෂී ය. ඒක දේශික ශාක සහ සත්ත්ව විශේෂ බහුල ය. මීට දශක කිහිපයකට පෙර සමනොළ කන්ද අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කොට තිබේ. මහවැලි, කැලණි, කළු, වලවේ, සිව් මහා ගංගාවන්ට උපත දෙන සමනොළ කන්ද මෙරට ප්‍රධාන ජලපෝෂක ප්‍රදේශයකි. මේ අපූර්ව පරිසරය ලෝක උරුමයක් බවට ද නම් කොට තිබේ. ඒ උරුමය විනාශ වන තැනට හැසිරෙන්නට කිසිවකුට අයිතියක් නොවේ. එය නීති මඟින් පමණක් තහනම් කළ නොහැක්කකි. ඒ නිසා ම ආකල්පමය වෙනසකට යා යුතු ව තිබේ. ඒ වෙනස ඇති කරන්නට ආගමික නායකත්වයට, දහම් පාසලට, පාසලට පැවරෙන වගකීම වෙසෙස් ය. ඒ සඳහා සියල්ලෝ අප්‍රමාදී විය යුතු ව තිබේ. එවිට සමනොළ මුදුනේ මුනි සිරිපා සිඹ හමා එන සිහිල් සුළඟින් ලක්දෙරණ ම සුවපත් වනු ඇත.

නවම්  පුර පසළොස්වක

පෙබරවාරි 01 ඉරිදා පූ.භා. 05.54න් පුර පසළොස්වක ලබා 02 සඳුදා පූ.භා. 03.41න් ගෙවේ.
01 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍පෙබරවාරි 01 

Second Quarterඅව අටවක

‍‍‍පෙබරවාරි 09    

Full Moonඅමාවක

පෙබරවාරි 16

First Quarterපුර අටවක

පෙබරවාරි 24   

 

 

 

 

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]