සර්වඥ ධාතු වන්දනාව
මෙම 4 දා සිට 11 දක්වා කොළඹ ගංගාරාමයේ දී
|

දෙව්නි මෝර් පුරාවිද්‍යා ප්‍රදේශය |
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩිගේ උපන් ගම් ප්‍රදේශය වන ගුජරාට් ප්‍රාන්තයේ
අරාවල්ලි දිස්ත්‍රික්කයේ දෙව්නි මෝර් කැණීම්වල දී සොයාගන්න ලද සර්වඥ ධාතූන් වහන්සේ
ප්‍රථම වරට මෙරටට වැඩම කිරීම මෙම 04 වැනි දා සිදු කෙරේ.
1959/1963 වකවානුවේ දී දෙව්නි මෝර් කැණීම්වල දී සොයා ගන්නා ලද බුදුරජාණන්
වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේ මෙතෙක් ඉන්දියාවෙන් බාහිර වෙනත් රටකට වැඩමවා නොමැති
අතර, පසුගියදා සිදු වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතාගේ ශ්‍රී ලංකා
සංචාරයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ පැවැත්වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස
මෙම ශාරීරික ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමේ අවස්ථාව මෙරට ජනතාවට හිමි ව තිබේ.
පෙබරවාරි 04 වැනි දා මෙරටට සර්වඥ ධාතූන් වහන්සේ වැඩම කරවීමට නියමිත අතර, එදින සිට
හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී සාමාන්‍ය ජනතාවට ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමට
අවස්ථාව විවෘත වේ.
පෙබරවාරි 04 වැනි දා සිට 11 වැනි දා දක්වා දින 07ක කාලයක් කොළඹ හුණුපිටිය ගංගාරාම
විහාරස්ථානයේ දී මේ සර්වඥ ධාතු වන්දනාව පැවැත්වේ.
කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් පවසන්නේ ශ්‍රී
සර්වඥධාතු වන්දනාවට පැමිණෙන අතිවිශාල ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට කටයුතු
යොදා ඇති බවයි. සියලු ජනතාව මුත්තයියා පාරේ ඇති උද්‍යානයේ සිට විහාරස්ථානයට පැමිණිය
යුතු බවත්, සැදැහැවතුන්ට අවශ්‍ය සනීපාරක්ෂක හා ජල පහසුකම් සපයනු ලබන බවයි. එමෙන්ම
ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ විසින් අවශ්‍ය පියවර ගෙන ඇති බව බව ද උන් වහන්සෙ
පවසති. විශේෂ අවශ්‍යතා ඇති අය වෙනුවෙන් අවශ්‍ය පහසුකම් ද සලසා ඇත.
සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාමාන කරනු ලබන අවස්ථාවල දී ජංගම දුරකථන භාවිතය හා ඡායාරූප
ගැනීම නොකළ යුතු වන අතර, පැමිණෙන සියලු දෙනා ඒ සඳහා සුදුසු ඇදුමකින් පැමිණීම ද
අනිවාර්ය වනු ඇත.
-
තාරක වික්‍රමසේකර
|