ආනුපුබ්බී කථා
රාජකීය පණ්ඩිත,
ශාස්ත්‍රපති
බුත්තල
ඤාණාධාර හිමි
'ක්‍රමවත් දේශනාව' ආනුපුබ්බි කථා නමි. දහම් අසන්නවුන්ගේ සිත් සතන් කෙලෙස්මලින් තොර
ව පහන් වී මඟඵල දහම් පහළවීම පිණිස හෝ, මේ භවයෙහි ම වෙන අවස්ථාවක දී හෝ, මඟපල දහම්
පසක් කිරීමට හෝ, මතු සසර ගමන කෙටි වී නිවන් අවබෝධය පිණිස හෝ උපකාර වීම පිණිස
ක්‍රමවත් ව මනා පිළිවෙළක් ඇති ව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනු ලබන දේශනාව
මෙයින් ගැනේ.” එය තෙරුවන් සරණ ගොස් උපාසක බවට පත් සැදැහැත්තන්ට ම දේශනා කරන සැටි
පාඨකයන්ගේ සාමාන්‍ය දැන ගැනීම පිණිස මෙහි බහාලමි.
අථ ඛො භගවා සිහස්ස සෙනාපතිස්ස අනුපුබ්බකථං කථෙසි, සෙය්‍යථීදං, දානකථං සීලකථං සග්ග
කථං කාමානං ආදීනවං ඔකාරං සංකිලෙසං, නෙක්ඛම්මෙ ආනිසංසං පකාසෙයි.
අනතුරුව සීහ සෙන්පති හට භාග්‍යවතුන් වහන්සේ අනු පිළිවෙළ කතාව දේශනා කළ සේක. එනම්:
දාන කථාය, සීල කථාය, සග්ග කථාය, කාමයන්ගේ ආදීනව හා ළාමක බව ය, කිළිටි සහිත බව හා
පැවිද්දෙහි අනුසස් ද පැවැසූ සේක.
දාන කථා
දානය පිළිබඳ කථාව දාන කථාවයි. එය අනුසස් විසින් දානයෙන් ලැබෙන ඉෂ්ට විපාක විස්තර වන
පරිදි කරනු ලබන කථාවයි.
සැපතට හේතුව දානයයි. දානය සැපවලට මුලයි. භෝග සම්පත්වලට පිහිටයි. විපතට පත් අවස්ථාවට
රැකවරණය යි. මෙලොව පරලොව දෙකට ම දානය හා සම කළ හැකි පිහිටක් නොමැත. සත්පුරුෂයන්
වස්තුව සැපයීමෙහි පරමාර්ථය වශයෙන්
සලකන්නේ දීමනාවයි. වස්තුව තිබියදී නොදෙන පුද්ගලයා වස්තුවෙන්, ප්‍රයෝජන නොගන්නෙකි. ඒ
වස්තුව ඔහුට බරක් පමණෙකි. තමන්ට අයිති යුතුකම් වශයෙන් තිබෙන, මවුපිය, අඹුදරු
සහෝදරාදීන් කෙරෙහි අවස්ථාවෝචිත ව කළ මනා සංග්‍රහ වෙනුවෙන් හා දැසිදස් කම්කරු ආදී
තමන් හා සබැඳියාව තිබෙන අය වෙනුවෙන් ද, සමාජ සිරිත් පිණිස ද, දුගී මගී යාචකාදීන් හා
තිරිසන් සතුන් කෙරෙහි ද සුදුසු පරිත්‍යාගයන්හි යෙදීම දීම වශයෙන් හඳුන්වා තිබේ.
සාමාන්‍යයෙන් පූජා අදහසින් දීම ය, අනුකම්පා අදහසින් දීම ය කියා දීමනා දෙකෙකි.
තෙරුවන් කෙරෙහි සහ මවුපිය ගුරුවරාදි පිදිය යුත්තන් කෙරෙහි දීම පූජා අදහසින් දීම ය.
දුගී මගී යාචකාදීන්ට හා තිරිසනුන්ට දීම අනුකම්පා අදහසින් දීම නම් වේ. මේ
දෙයාකාරයෙන් ම දිය යුතු ය. පූජා අදහසින් දීම මහත් අනුසස් පිණිස හේතු වන්නේ ය.
අනුකම්පා අදහසින් දීම ඒ හා සම අනුසස් නොමැත්තේ වුව ද දානයෙහි පරමාර්ථය වශයෙන්
සලකන්නේ ස්ව සන්තානයෙහි මුල් බැස ගෙන තිබෙන ලෝහය දුරු කර ගැනීම බැවින් ඒ පරමාර්ථය
සඵල කැරැ ගැනුමට අනුකම්පා අදහසින් දීම ද උපකාර වන්නේ ය.
ශීල කථා
දන් දෙන තැනැත්තාට සීල සමාදානය ද පහසුවෙන් කළ හැකි නිසා දානයට අනතුරුව ශීල කථාව
වදාළ සේක. ශීලය නම් කාය වාග් ද්වාරයන්හි සංවරය යි. තැන්පත්කමයි. ගිහියන්ගේ නිත්‍ය
ශීලය පංචශීලය යි. සාමාන්‍යයෙන් පන්සිල් රකින ගිහියා සිල්වත් ගිහියා නම් වේ. ඒ
පන්සිල්හි දැක්වෙන්නා වූ තුන් වන ශික්ෂා පදය වන කාමේසු මිච්ඡාචාරා වේරමණි සික්ඛාපදං
යන්න වෙනුවට අබ්‍රහ්මචරියා වේරමණි සික්ඛාපදං යි බ්‍රහ්ම චර්ය රැකීමට “අබ්‍රහ්ම
චරියා වේරමණි සික්ඛාපදං” යනුවෙන් කියා සමාදන් ව රැකීම බ්‍රහ්මචර්ය පංච ශීලය රැකීම
වේ. බුදුරජාණන් වහන්සේ ශීල කථා දේශනාව පවත්වන විට මම නොයෙක් ආත්ම භාවයන්හි දී ශීලය
පරිපූර්ණය කෙළෙමි. මෙලෝපරලෝ සම්පත් ලැබීමට ශීලය හා සම අනෙකක් නොමැත. වෙන පිහිටක්
නැත. ශිලාලංකාරය තරම් අලංකාරයක්, ආභරණයක් නැත. ශීල පුෂ්පය හා සම වෙන පුෂ්පයක් නැත.
සිල් සුවඳ හා සම සුවඳක් නැත. ශීලාලංකාරයෙන් අලංකාර වත් වූ ශීල පුෂ්ප පැළඳ ශීල
සුගන්ධාලේපයෙන් ආලේපිත පුද්ගලයා දෙස දෙවියන් සහිත මුළු ලෝ වැසියන් බලන්නේ වුව ද
සෑහීමට පත් වන්නේ නැත. මේ ආදී වශයෙන් ශීලය පිළිබඳ කරන දෙසුම ශීල කථා දේශනාවයි.
ස්වර්ග කථා
සිල්වත් ව විසීමෙන් ස්වර්ග ලෝකෝත්පත්තිය ලැබීම ශීලානිසංස වශයෙන් සිදුවන හෙයින්
භාග්‍යවතුන් වහන්සේ සීල කථාවට අනතුරුව ස්වර්ග කථාව වදාරණ සේක. චාතුම්මහාරාජිකාදී
දෙව්ලොවෙහි උපන් අය සම්පත් වින්දනය කරන සැටි පෙන්නුම් කොට, ඒ ස්වර්ග සම්පත් ද
අනිත්‍ය බව හා අස්ථිර බව පැහැදිලි කොට ඒවා කෙරෙහි ඇලුම් නොකළ යුතු බව හා ස්වල්ප වූ
ආස්වාද ඇති බවත් ප්‍රකාශ කරන සේක්, ඒ කාමාදීනව දේශනා කරන සේක.
කාමාදීනව
ඇස, කන, නාසය, දිව, කය යන ඉන්ද්‍රියයන්ට ගොදුරු වන ඒ රූපාදි පංචකාමය ඉතා සුළු රස
විඳුම් ඇති වුව ද පුහුදුන් ලෝකයා එහි මුළා වී වෙසෙන හෙයින් කොතරම් පස්කම් සුව
වින්දත් ”මේ පමණැ ” යි කිසිවිටක සෑහීමට පත් වන්නේ නැත. මේ පසිඳුරන් මහ මුහුද
මෙනැයි මහ මුහුදට උපමා කොට පෙන්නා තිබෙන්නේ කොතරම් ජලය මහ මුහුදට ලැබුණත් පිරී
නොයන්නාක් මෙන්, ඇස, කන, නාසය, දිව, ශරීරය යන පසිඳුරන් හට රූප, ශබ්ද, ගන්ධ, රස,
ඵොට්ඨබ්බ යන අරමුණුවල කොතරම් රස වින්දනය කළත් මේ රස වින්දා ඇතැයි සෑහීමට පත් නොවන
බව ඉගැන්වීමට ය.
මේ කම්සුව විඳීම ඉතා ම පහත් සුව විඳුමක් බව බුදුරජාණන් වහන්සේ විසින් උදායි තෙරුන්
අමතා වදාළ සැටියක් මෙහි සඳහන් කිරීම සුදුසු ය.
” උදායි මේ පස්කම් ගුණ නිසා යම් බඳු සුව සොම්නසක් වේ නම්, එය කම් සැප යැයි කියනු
ලැබේ. මේ කාම සුඛය අසූචි සුඛයෙකි. පුහුදුනන් පමණක් සුඛ වශයෙන් සලකන්නකි. ආර්යයන්
සුඛ වශයෙන් නොසලකන්නකි. දිගින් දිගට දියුණු නොකළ යුතු සුඛයෙකි. මෙකී පස්කම් සුවය
නිසා සංසාරයෙහි දරුණු වූ නා නා විධ දුක් ගෙන දෙන හෙයින් බිය විය යුතු සුඛයෙකැයි
කියමි.
මෙසේ තථාගතයන් වහන්සේ පස්කම් සුවය ගැන බිය විය යුතු යැයි දෙසූ තැන් බොහෝ ය. එසේ වුව
ද පුහුදුන් අය මෙහි ලා අන්ධයෝ ය කියා දේශනා කළ සේක. පස්කම් සුවය සිහිනයක් බඳු ය.
ඉතා පහත් ය. පුද්ගලයා කෙලෙසන්නා වූ විඳුමෙකි යනාදි විසින් කාමාදීනව දේශනා කිරීම
බුදුරජාණන් වහන්සේගේ දේශනා ක්‍රමයට අයත් ය.
නික්මීමේ අනුසස්
නෛෂ්ක්‍රම්‍යය නම් නික්මීමයි. නික්මීම් කීපයක් තිබේ. “ගිහි ගෙයින් නික්මෙන බැවින්
පැවිදි වීම ද, ප්‍රථම ධ්‍යාන ලාභයෙන්, කාම ලෝකයෙන් නික්මෙන බැවින් ප්‍රථම ධ්‍යානය
ද, සංසාරයෙන් නික්මෙන බැවින් නිර්වාණය ද, නිත්‍ය, සුඛ, අත්ත සංඥාවන්ගෙන් නික්මෙන
බැවින් විදර්ශනාව ද, අකුසල්වලින් නික්මෙන බැවින් සියලු කුසල් ද නෙක්ඛම්ම නාමයෙන්
ගැනේ.
මෙහි ලා ප්‍රධාන වශයෙන් ගැනෙන්නේ ගිහි ගෙයින් නික්මී පැවිදි වීමයි. ඒ පැවිදි වීම් ද
දෙකක් තිබේ. තාපස ශාසනික වශයෙන්. අබුද්ධොත්පාද කාලයන්හි තාපස පැවිද්දෙන් පැවිදි
වෙති. එසේ පැවිදි වන්නෝ ද කර්ම, කර්ම විපාක විශ්වාස කරමින් රිටි පට්ටාවලින් කළ
වස්ත්‍රයක් හැඳ එවැන්නක් පොරවා, අඳුන් දිවි සමක් උරහිස්හි හෝ අතේ බහා ගනිති. ඒ තාපස
පැවිද්දයි. එය ද නෙක්ඛම්මයට අයත් ය.
බුදු සසුන පවත්නා කාලයෙහි ගිහිගෙය හැර දමා සසුන් ගත වීම නෙක්ඛම්ම නම් වේ. මහා
කාරුණික වූ බුදුරජාණන් වහන්සේ විසින් මෙහි සඳහන් කරන ලද
දේශනා ක්‍රමයෙන් නෛෂ්ක්‍රම්‍යය පිළිබඳ අනුසස් ප්‍රකාශනය අවසානය දක්වා ඇසූ ශ්‍රාවකයෝ
මුළු සිත ඒ ධර්ම ශ්‍රවණය සඳහා යොදාගෙන සිතට වෙන අරමුණු කරා යා නොදී ඒ ධර්ම
ශ්‍රවණයෙහි ම බැඳ තබාගෙන බණ අසත් අසත් ම බොහෝ දෙනකුන්ගේ සිතෙහි අනාදිමත් කාලයක්
මුළුල්ලෙහි පල්වෙමින් පැවැතුණු නා නා විධ කෙලෙස් කිලිටි යටපත් වන්නේ ය. සිතේ හැඩි
දැඩි ගොරෝසු ගති පහව ගොස් මොළොක් වන්නේ ය. නිවන්මඟ ආවරණය කරන්නා වූ (වසන්නා වූ) ද
විදර්ශනා සිත් පහළ වීමට සහමුලින් බාධා කරන්නා වූ ද පංචනීවරණ ධර්මයන්ගෙන් මිදුණු සිත
පහළ වන්නේ ය.
මෙසේ බාධක කරුණුවලින් මිදුණා වූ, අතිශයින් පිරිසුදු බවට පැමිණියා වූ සිත් සතන්
ඇතැයි බුදුනුවණින් තේරුම් ගත් භාග්‍යවතුන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනාව වැනි
ගැඹුරු දහම් දේශනා කරති. එය සාමුක්කංසික දේශනාව නමින් හැඳීන් වේ. |