සාමයේ ළතෙත් ගුණ
ගල්කුළක අකුරු කළ සංගමුව රජමහා වෙහෙරබිම සෙල්ලිපිය

කුරුණෑගල යනු ලංකා ඉතිහාසයේ එක්තරා යුගයක රාජ්‍ය පාලනය සංකේන්ද්‍රගත වූ රාජධානියකි.
ක්‍රිස්තු වර්ෂ 1293 දෙවැනි බුවනෙකබාහු රජු ආරම්භ කළ කුරුණෑගල රාජධානිය 4 වැනි
විජයබාහු රාජ්‍ය සමය අවසන් වූ ක්‍රිස්තු වර්ෂ 1341 වසර දක්වා පැවතුණි. සියවස් දෙකක
කාලයක් හෝ රාජධානියක් ලෙස නොපැවතුණත් කුරුණෑගල ප්‍රදේශය අනුරාධපුර රාජධානි යුගයේ
සිටම රජවරුන්ගේ පහස ලැබූ පෞරාණික ප්‍රදේශයකි. වසර දහස් ගණනක ඉතිහාසයකට උරුමකම් කියන
රාජමහා විහාර, ගල් ලෙන් ආදී පෞරාණික පුරාවස්තු රැසක් කුරුණෑගල පුරවරයේ අදටත් දැක ගත
හැකි ය.
ඒ අතර සංගමුව රජමහා විහාරයට ද ප්‍රධාන තැනක් හිමි වෙයි. පසුගිය දිනවල අපේ රටේ
ප්‍රදේශ රැසක් ගිල ගත් දිට්වා සුළි කුණාටුව මැද්දේ ද සංගමුව විහාරය පිළිබඳ අපට
විවිධ පුවත් ඇසෙන්නට විය. ඒ එම විහාරයීය අලුත්ගම මංගල ස්වාමීන් වහන්සේගේ උතුම් වූ
දානමය පුණ්‍යකර්මයක් හේතුවෙනි. ඉතිහාසයේ පටන් ම සිදු වූ ව්‍යසන හමුවේ ජනතාව
වෙනුවෙන් පෙරට පැමිණි පිරිස් අතර මහා සංඝරත්නයට හිමි වන්නේ ප්‍රමුඛස්ථානයකි. ඒ බව
මනාව පසක් කරමින් අලුත්ගම මංගල ස්වාමින් වහන්සේ දිට්වා රුදුරු ව්‍යසනයෙන් ඉඩම් සහ
නිවාස අහිමි වූ ජනතාවට නැවතත් ආරක්ෂිත ව පදිංචි වීම සඳහා විහාරස්ථානය සතු ඉඩම්
අක්කර 20ක් පරිත්‍යාග කළහ. ඒ සම්බන්ධ සියලු ලියකියවිලි ජනාධිපති අනුර කුමාර
දිසානායක වෙත අලුත්ගම මංගල හිමියෝ ප්‍රදානය කළේ පැවති ආපදා තත්ත්වය හමුවේ ඉදිරි
කටයුතු සාකච්ඡා කිරීම වෙනුවෙන් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති විශේෂ
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සාකච්ඡාව අතරතුර දී ය.
මෙවන් උතුම් සද්කාර්යයක් සිදු කළ අලුත්ගම මංගල හිමියන් වර්තමානයේ විහාරාධිපතිත්වය
උසුලන සංගමුව රාජමහා විහාරස්ථානය ද වසර දහස් ගණනක ඉතිහාසයකට උරුම කියන පෞරාණික
පුදබිමකි. මෙම විහාරය වඩාත් සුවිශේෂ වන්නේ වසර 875ක ඈත අතීතයකට උරුමකම් කියන
සෙල්ලිපියක් මෙම විහාරස්ථානයේ ස්ථාපිත කර තිබීම නිසා ය. සංගමු විහාර සෙල් ලිපිය
ක්‍රිස්තු වර්ෂ 1132 පොළොන්නරු රාජධානි සමයේ පළමුවැනි පරාක්‍රමබාහු රජු විසින් ඇති
කර ගත් සාම ගිවිසුමක් ගැන සඳහන් වෙයි. ලොව විවිධ යුද ගැටුම් සහ ඒ හා සම්බන්ධ
ගිවිසුම් ගැන සඳහන් වුව ද ඒ පිළිබඳ සාක්ෂි සහිත පුරාවිද්‍යාත්මක සෙල්ලිපියක්
හමුවන්නේ මෙම විහාරස්ථානයෙන් පමණක් වීම විශේෂත්වයකි.
ඒ අනුව ලොව ඉපැරැණි ම සාම ගිවිසුම සහිත සෙල්ලිපිය පවතින්නේ සංගමුව රාජ මහා
විහාරස්ථානයේ යි. පොළොන්නරු රාජධානියේ ශ්‍රේෂ්ඨතම පාලකයා ලෙස සැලකෙන මහා
පරාක්‍රමබාහු රජු සහ ගජබා රජු අතර මෙම සාම ගිවිසුම ඇති කර ගෙන තිබේ. පළමුවැනි
පරාක්‍රමබාහු රජු සහ ගජබාහු රජු අතර රජරට ප්‍රදේශයේ ඇති වූ යුද්ධයක් සාම ගිවිසුමක්
මඟින් සමථයකට පත් කෙරුණු බව මහාවංශයේ ද සඳහන් වෙයි. ඒ අනුව මහාවංශයේ සඳහන් කතාව
සංගමු විහාර සෙල්ලිපිය මඟින් ද සනාත වෙයි. ඉදින් මෙය ලොව එකම සෙල්ලිපිගත සාම
ගිවිසුම ලෙස උගත්තු පෙන්වා දෙති. මෙහි අක්ෂර මධ්‍යකාලින යුගයට අයත් සිංහල අක්ෂර ලෙස
හඳුනාගෙන ඇත. මෙම ලිපියෙහි සරල සිංහල අරුත මෙසේ ය.
“යහපතක් ම වේවා. මහ සම්මත පරම්පරාවෙන් නොසි¼දී පැමිණි, සත්‍යය ම ධනය කොට ගත් ගජබාහු
සහ පරාක්‍රමබාහු නම් දෙමස්සිනාවරු වම්හ. අපි විසින් ඇති කර ගත් මේ සම්මුතිය අනුව
ජීවිතාන්තය දක්වා සටන් නොකරමු. එක් අයකුගේ මරණයෙන් පසුව රාජ්‍යය අනෙක් අයට අයත්
වෙයි. මේ රාජ්‍යය වැනසෙන අයුරින් අප දෙදෙනාගෙන් එක් කෙනකුට සතුරු වූ රජදරු කෙනෙක්
ඇත්නම් ඔවුහු අප දෙදෙනාට ම සතුරු වෙත්. මෙම සම්මුතියට විරුද්ධ වූ යමක් අප කළහොත්
තුනුරුවන්ගේ අණ නොතකා ක්‍රියා කළෝ වෙමු. අපායෙන් ද නොමිදුණෝ වෙමු. සඳ හා තරු පවත්නා
තාක් කල් මේ සම්මුතිය සහිත ලේඛනය ආරක්ෂා වේවා. අනුන්ගේ යහපත ම ධනය කොට ඇති අප
දෙදෙනාගේ මේ අවිරෝධතාව ස්නේහයෙන් තෙත් වේවා”
සංගමුව රජමහා විහාරය පිහිටා ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉබ්බාගමුව ප්‍රාදේශීය
ලේකම් කොට්ඨාශයේ ගොකරැල්ල ග්‍රාමයේ ය. එය ගොකරැල්ල ග්‍රාමයේ මැද්දේකැටිය වැව්
ඉස්මත්තේ ගල් තලාවන්ගෙන් සපිරි සොඳුරු පරිසරයක පිහිටා තිබේ. සංගමු රාජමහා
විහාරස්ථානය අනුරාධපුර රාජධානිය කරගෙන ලක්දිව පාලනය කළ දේවානම් පියතිස්ස රජු විසින්
ඉදි කරවූ විහාරස්ථානයක් ලෙස සැලකෙයි. ජනප්‍රවාදවලට අනුව සංගමු විහාරය දුටුගැමුණු
රාජ්‍ය සමයේ ගෝඨයිම්බර යෝධයා විසින් ඉදි කරන ලද්දේ යැයි ද මතයක් පවතී. ගෝඨයිම්බර
යෝධයාගේ බිරිඳ ගොකරැල්ල ග්‍රාමයේ උපන් ස්ත්‍රියක් බව ද ජනප්‍රවාදවල සඳහන්වී තිබේ.
කල්ලක ලෙන, කල්ලක මහා විහාරය, කලු මහ වෙහෙර, කාලවේල විහාරය, මණ්ඩලාරාමය, මණ්ඩලාරාමක
විහාරය ආදී විවිධ නම්වලින්, විවිධ යුගවල දී සංගමු විහාරය හඳුන්වා ඇත. මෙහි පවතින
ලෙන් සහිත ගල්තලාව අසාමාන්‍ය කළු පැහැයක් ගැනීම මෙම විහාරය කල්ලක විහාරය, කළු මහ
වෙහෙර යන නම්වලින් හැඳින්වීමට හේතු වූ බව කියැවේ. අතීතයේ මෙම විහාරය පිහිටි ගම්
පියස කල්ලක ග්‍රාමය ලෙස හඳුන්වා ඇත්තේ ද මෙම විහාර නාමය පදනම් කරගෙන ය.
මෙහි ප්‍රධාන ගල් ලෙන රවුමක හෙවත් මණ්ඩලාකාර හැඩයක් ගත් නිසා මෙම විහාරයට
මණ්ඩලාරාමය යන ලැබුණු බවට ද මතයක් වෙයි. මෙම පින්බිම ලක්දිව අවසන් මහරහතුන් ලෙස
සැලකෙන මලියදේව මහරහතන් වහන්සේ වැඩ සිටි පුණ්‍ය භූමියක් බවට ද මතයක් පවතී. මෙම
ගල්ලෙන් අවට ප්‍රදේශයෙන් ඉපැරැණි පාත්‍ර හමුවීමෙන් අතීතයේ මෙහි භික්ෂූන් වහන්සේ වැඩ
විසූ බව සනාථ වෙයි.
අතීතයේ බළකොටුවක් ලෙස ද භාවිත කර ඇති මෙම විහාරයේ පෞරාණික ලෙන් කිහිපයක් ම දැක ගත
හැකි ය. එම ලෙන්වල කටාරම්වලට ඉහළින් බ්‍රාහ්මීය අක්ෂර සහිත සෙල්ලිපි දැක ගත හැකි
වෙයි. එම සෙල්ලිපි ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසට අයත් ඒවා යැයි හඳුනාගෙන තිබේ.
මාතලේ අලුවිහාරයේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරන සමයේ සංගමු විහාරයේ සිට මල් පෙරහරක්
වීථී සංචාරය කරවූ බවට ද ජනප්‍රවා ද කතාවක් ඇත.
සංගමු විහාරය සතු ව පවතින ඉපැරැණි ලෙන් විහාරයේ බුද්ධ ප්‍රතිමාව නිධන් හොරුන්ගේ
ග්‍රහණයට නතු වී විනාශ වී තිබීම කනගාටුවට කරුණකි. එම ලෙන් විහාර ද්වාරයේ පවතින
පෞරාණික මකර තොරණ ද ඉරිතලා ගොස් විනාශ වෙමින් පවතී. විහාරයට පිවිසෙන තැන සිට
ගල්තලාවේ කොටන ලද පියගැටපෙළ නැඟ එන විට සංගමු විහාර සෙල්ලිපිය හමුවෙයි. තවදුරටත්
මෙම විහාර භූමිය පුරා ඉපැරැණි ගල් කණු, සඳකඩ පහණ, මුරගල්, සිරිපතුල් ගල්, ස්ථූපයක
ජත්‍රයක්, උපෝසථාගාරයක නටබුන්, ඉපැරැණි කැසිකිළි ගල්, පුරාණ ස්තූපයක් ලෙස සැලකෙන
ගොඩැල්ලක්, ලෙන් විහාර සහ බිතු සිතුවම් රැසක් ම දැක ගත හැකි ය. වනගත ව පිහිටි පුරාණ
ලෙන්වලට පිවිසෙන්නට ඇත්තේ ද ඉපැරැණි පියගැටපෙළකිනි. ලෙන් සහිත භූමියට පිවිසෙන
මාර්ගයේ වියළි කාලයේ පවා දිය නොසිඳෙනවා යැයි කියන පොකුණක් වෙයි. මෙහි පුරාණ විහාර
මන්දිරයෙහි හිඳි බුද්ධ ප්‍රතිමා, හිටි බුද්ධ ප්‍රතිමා රැසක් සහ විෂ්ණු දේව
ප්‍රතිමාවක් දැකගත හැකි ය.
- පසිඳු මිහිරාන් රැටියල |