[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

සාමයේ ළතෙත් ගුණ ගල්කුළක අකුරු කළ සංගමුව රජමහා වෙහෙරබිම සෙල්ලිපිය

කුරුණෑගල යනු ලංකා ඉතිහාසයේ එක්තරා යුගයක රාජ්‍ය පාලනය සංකේන්ද්‍රගත වූ රාජධානියකි. ක්‍රිස්තු වර්ෂ 1293 දෙවැනි බුවනෙකබාහු රජු ආරම්භ කළ කුරුණෑගල රාජධානිය 4 වැනි විජයබාහු රාජ්‍ය සමය අවසන් වූ ක්‍රිස්තු වර්ෂ 1341 වසර දක්වා පැවතුණි. සියවස් දෙකක කාලයක් හෝ රාජධානියක් ලෙස නොපැවතුණත් කුරුණෑගල ප්‍රදේශය අනුරාධපුර රාජධානි යුගයේ සිටම රජවරුන්ගේ පහස ලැබූ පෞරාණික ප්‍රදේශයකි. වසර දහස් ගණනක ඉතිහාසයකට උරුමකම් කියන රාජමහා විහාර, ගල් ලෙන් ආදී පෞරාණික පුරාවස්තු රැසක් කුරුණෑගල පුරවරයේ අදටත් දැක ගත හැකි ය. ඒ අතර සංගමුව රජමහා විහාරයට ද ප්‍රධාන තැනක් හිමි වෙයි. පසුගිය දිනවල අපේ රටේ ප්‍රදේශ රැසක් ගිල ගත් දිට්වා සුළි කුණාටුව මැද්දේ ද සංගමුව විහාරය පිළිබඳ අපට විවිධ පුවත් ඇසෙන්නට විය. ඒ එම විහාරයීය අලුත්ගම මංගල ස්වාමීන් වහන්සේගේ උතුම් වූ දානමය පුණ්‍යකර්මයක් හේතුවෙනි. ඉතිහාසයේ පටන් ම සිදු වූ ව්‍යසන හමුවේ ජනතාව වෙනුවෙන් පෙරට පැමිණි පිරිස් අතර මහා සංඝරත්නයට හිමි වන්නේ ප්‍රමුඛස්ථානයකි. ඒ බව මනාව පසක් කරමින් අලුත්ගම මංගල ස්වාමින් වහන්සේ දිට්වා රුදුරු ව්‍යසනයෙන් ඉඩම් සහ නිවාස අහිමි වූ ජනතාවට නැවතත් ආරක්ෂිත ව පදිංචි වීම සඳහා විහාරස්ථානය සතු ඉඩම් අක්කර 20ක් පරිත්‍යාග කළහ. ඒ සම්බන්ධ සියලු ලියකියවිලි ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත අලුත්ගම මංගල හිමියෝ ප්‍රදානය කළේ පැවති ආපදා තත්ත්වය හමුවේ ඉදිරි කටයුතු සාකච්ඡා කිරීම වෙනුවෙන් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සාකච්ඡාව අතරතුර දී ය. මෙවන් උතුම් සද්කාර්යයක් සිදු කළ අලුත්ගම මංගල හිමියන් වර්තමානයේ විහාරාධිපතිත්වය උසුලන සංගමුව රාජමහා විහාරස්ථානය ද වසර දහස් ගණනක ඉතිහාසයකට උරුම කියන පෞරාණික පුදබිමකි. මෙම විහාරය වඩාත් සුවිශේෂ වන්නේ වසර 875ක ඈත අතීතයකට උරුමකම් කියන සෙල්ලිපියක් මෙම විහාරස්ථානයේ ස්ථාපිත කර තිබීම නිසා ය. සංගමු විහාර සෙල් ලිපිය ක්‍රිස්තු වර්ෂ 1132 පොළොන්නරු රාජධානි සමයේ පළමුවැනි පරාක්‍රමබාහු රජු විසින් ඇති කර ගත් සාම ගිවිසුමක් ගැන සඳහන් වෙයි. ලොව විවිධ යුද ගැටුම් සහ ඒ හා සම්බන්ධ ගිවිසුම් ගැන සඳහන් වුව ද ඒ පිළිබඳ සාක්ෂි සහිත පුරාවිද්‍යාත්මක සෙල්ලිපියක් හමුවන්නේ මෙම විහාරස්ථානයෙන් පමණක් වීම විශේෂත්වයකි.

නවම්  පුර පසළොස්වක

පෙබරවාරි 01 ඉරිදා පූ.භා. 05.54න් පුර පසළොස්වක ලබා 02 සඳුදා පූ.භා. 03.41න් ගෙවේ.
01 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍පෙබරවාරි 01 

Second Quarterඅව අටවක

‍‍‍පෙබරවාරි 09    

Full Moonඅමාවක

පෙබරවාරි 16

First Quarterපුර අටවක

පෙබරවාරි 24   

 

 

 

 

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]