[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සම්බුදු සසුන ශෝභාවත් කරන කල්‍යාණවන්තයාණෝ

සම්බුදු සසුන ශෝභාවත් කරන කල්‍යාණවන්තයාණෝ

දුටු දුටුවන්ගේ සිත් සතන් පහදවන මිරිස්සේ ධම්මික නාහිමිපාණන් වහන්සේ පැවැත්මෙන් ද, සීලයෙන් ද, ගුණයෙන් ද, බහුශ්‍රැතභාවයෙන් ද, ධර්මඤාණයෙන් ද, පිරිපුන් සැමට සැබෑම චරිතාදර්ශයකින් යුතු ව සම්බුදු සසුන ශෝභාවත් කරමින් දෙස් විදෙස් සතහට කල්‍යාණවන්තව ම දහම් මඟ විවර කර දෙති.

මාතර මිරිස්සේ හේන්වල ගම්පියසේ උපත ලද උන්වහන්සේ වයස අවුරුදු අටේ දී උඩුපිල සුධර්මාරාමයේ දී මිරිස්සේ චන්දජෝති, මිරිස්සේ පියදස්සී නා හිමිවරුන්ගේ ආචාර්යත්වයෙන් සසුන් ගත ව මූලික අධ්‍යාපනය ලබා කොළඹ සරසවියට ඇතුළත් වූහ. කුරුණෑගල දඹදෙනිය කවුඩුමුන්න සීලක්ඛන්ද පිරිවෙනෙහි පරිවේනාධිපතින් වහන්සේ වශයෙන් ද, ඇහැලියගොඩ ඇරෑපොල මහින්ද මහා විද්‍යාලය, කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය,මෙන්ම දෙස්-විදෙස් විශ්ව විද්‍යාල ධර්මාචාර්යයන් වහන්සේ නමක් ලෙස ද කටයුතු කර ඇත.

කැනඩාවේ “බ්‍රිටිෂ් කොළම්බියා” ප්‍රාන්තයේ “සරේ” නගරයේ පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ විහාර සංගමය විසින් කළ ආරාධනයකට අනුව එහි වැඩම කළ උන්වහන්සේ පුරා වසර දහයකට අධික කාලයක් සුදු ජාතිකයන්ට ද බෞද්ධ දර්ශනය හඳුන්වාදෙමින්, දහම් පාසලක් ආරම්භ කරමින් භාවනා වැඩ සටහන් ක්‍රියාත්මක කරමින් අමිල මෙහෙවරක් සිදු කළහ.

පාසල් දරුවන්ගේ මානසික ආතතිය නැති කිරීමට 'බෞද්ධ භාවනා ක්‍රමයෙන් ලැබිය හැකි ප්‍රයෝජන' කෘතිය ඉදිරිපත් කරමින් කැනඩාවේ වෑන්කූවර්හි සයිමන් ෆේ‍්‍රසර් සරසවියෙන් ශාස්ත්‍රපති උපාධිය ද, “ස්වාමීන් වහන්සේ නමකගේ දෛනික ප්‍රතිපදා තුළින් යොනිසෝ මනසිකාරය ගැන අධ්‍යයනයක්” කෘතිය ඉදිරිපත් කරමින් එම විශ්ව විද්‍යාලයෙන් ම ආචාර්ය උපාධිය ද ලැබීය.

අති පූජ්‍ය මඬිහේ පඤ්ඤාසීහ මහා නා හිමිපාණන් වහන්සේගේ හා දායක පිරිසගේ බලවත් ඉල්ලීම පරිදි වර්ෂ 1990 දී බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනට වැඩම කළ උන්වහන්සේ, වර්තමානයේ දුටුවන්ගේ සිත් පහදවන පරිසරයක් සදහම් සෙනසුනට ගෙන එන්නට මහත් වෙහෙසක් දරති. උන්වහන්සේ තථාගත දහම සුමිහිරි සුගම්භීර හඬින් දේශනා කරන්නේ නිරපේක්ෂක මනසිනි.

තරුණ පරපුර දහමට යොමු කර ගුණ ගරුක බොදු සමාජයක් ගොඩනැඟීමට උන්වහන්සේ ඉමහත් වෙහෙසක් දරමින් “තරුණ කලණ හමුව“ නමින් වැඩසටහන් ද පවත්වති. සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් දහම් පාසල් දෙකක් ආරම්භ කරමින් සංවරශීලි දරු පරපුරක් බිහිකිරීමට මඟ පෙන්වති. ධර්ම ග්‍රන්ථ මුද්‍රණය කරවා, නොමිලයේ බෙදාහරිති.

ආගමික වශයෙන් මෙන්ම සාමාජීය වශයෙන් උන්වහන්සේ සිදුකරනු ලබන සේවය අතිමහත් ය. “සිරි සදහම් සුව සරණින්” අවශ්‍යතා ඇති අයට රෝද පුටු, අත්වාරු වැනි දේ ද ලබාදීම ද සිදු කරති. 

මේ අයුරින් අපරිමිත සේවයක් සිදු කරන ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමිපාණන් වහන්සේ අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ මණ්ඩලත්‍රයේ මහා සංඝ සභාව විසින් එහි අධිකරණ නායක පදවිය මෙන්ම ශ්‍රී ධර්මරක්ෂිත වංශාලංකාර අනුවිජ්ජක ගෞරව නාමයෙන් ද පිදුම් ලැබූහ.

උන්වහන්සේගේ ජන්ම දිනය නිමිතිකොට පෙබරවාරි මස හතරවැනි බදාදා දින දවස පුරා සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේදී ලේ දන්දීමේ වැඩසටහනක්, වෛද්‍ය සායනයන් ද පැවැත්වෙන අතර පස්වැනිදා මහරගම අපේක්ෂා රෝහලට ලක්ෂ විසි පහකට අධික ඖෂධ පරිත්‍යාග කිරීම හා දිළිඳු පවුල් ඒකක වෙනුවෙන් වියළි ආහාර බෙදා දීමක් සිදු කරන අතර එදිනම රාත්‍රි 7ට සෙත් ප්‍රාර්ථනා පින්කමක් දසහම් සෙනසුනේ දී සිදු කෙරේ.

මිරිස්සේ ධම්මික නාහිමිපාණන් වහන්සේට සසුනඹර දිදුලවන්නට කායික  මානසික, ශක්තිය ලැබ නිදුක් නීරෝගී සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

නවම්  පුර පසළොස්වක

පෙබරවාරි 01 ඉරිදා පූ.භා. 05.54න් පුර පසළොස්වක ලබා 02 සඳුදා පූ.භා. 03.41න් ගෙවේ.
01 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍පෙබරවාරි 01 

Second Quarterඅව අටවක

‍‍‍පෙබරවාරි 09    

Full Moonඅමාවක

පෙබරවාරි 16

First Quarterපුර අටවක

පෙබරවාරි 24   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]