[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සම්බුදු සසුනක ඔප්නැංවෙන නායකත්වයේ සුදුසුකම්

සම්බුදු සසුනක ඔප්නැංවෙන නායකත්වයේ සුදුසුකම්

බුදුරජාණන් වහන්සේගෙන් තමයි ශ්‍රේෂ්ඨ නායකත්වය ලෝකයට පැහැදිලි ව ප්‍රකාශ වුණේ. උන්වහන්සේ හඳුන්වන එක නාමයක් තමා ශාන්තිනායක කියන ගෞරව නාමය ය.

එයින් අදහස් වන්නේ සෙතක්, සැනසීමක්, නිවීමක්, සහනයක් ලෝකයට ලබා දීමට පියවර ගත්තා කියන අදහසි. උන්වහන්සේ මහාකරුණාවෙන්, මහා ප්‍රඥාවෙන් යුක්ත වුණා. යම් නායකයෙක් වෙයි නම් අනුගාමික පිරිසක් ඒ නායකයා වටා එක්රොක් වෙන්නට ඕන. බුද්ධත්වයට පත් වූ මේ අසිරිමත් නායකයාණන් වහන්සේට අවුරුද්දක් ගතවෙන්නටත් පෙර දහසකට වැඩි එනම් 1250 ක් භික්ෂු අනුගාමික පිරිසක් ඇති වුණා. එය දවසින් දවස වැඩි දියුණුවන්නට පටන් ගත්තා. එයට ප්‍රබල හේතුව වුණේ උන්වහන්සේගේ පරමාදර්ශී අතිශ්‍රේෂ්ඨ පැවැත්ම යි.

උන්වහන්සේගේ පිරිස් බලය වැඩි වෙන කොට උන්වහන්සේ එම භික්ෂූන් වහන්සේගේ පරිපාලනය වඩාත් විමධ්‍යගත කරලා තවත් ප්‍රධාන නායකයන් දෙදෙනෙක් පත් කරන්නට යෙදුණා. ඒ තමයි සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ දෙනම. මෙම පත් කිරීම් සිදු කළේ නවම්පුර පසළොස්වක පොහෝ දිනයෙ යි.

මේ පත් කිරීම පිළිබඳ කිසියම් මතවාදයක් ඇති වුණා. ඒ වනවිටත් පැවිදි බවට පත් වී රහත් බව ලබා සිටි පස්වග රහතන් වහන්සේ, යස රහතන් වහන්සේ, භද්දවග්ගිය භික්ෂූන් වහන්සේ, පූරණ කාශ්‍යප, ගයා කාශ්‍යප හා නදී කාශ්‍යප මහරතන් වහන්සේ ඇතුළු දහසක් වූ මහරහතන් වහන්සේ වැඩ සිටිය දී ජ්‍යෙෂ්ඨත්වයෙන් අඩු සැරියුත් හා මුගලන් යන මහරහතන් වහන්සේ දෙනම පත් කිරීම සුදුසු ද කියලා. ඒ බව දැනගත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ ඔය කියන අනෙකුත් මහරහතන් වහන්සේ එවැනි තනතුරක් අපේක්ෂාවෙන් ඊට අවශ්‍ය සුදුසුකම් සම්පුර්ණ කරලා නැහැ. මේ සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ මෙයට ඒකාසංඛෙය්‍ය කල්ප ලක්ෂයකට පෙර සිට සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකගේ අගසව් තනතුරු ලබා ගැනීමට අවශ්‍ය විවරණ ලබා ඒ සඳහා පැතුම් ඇති කර ගෙන ඊට අවශ්‍ය කරන සුදුසුකම් සපුරා තිබුණා කියන කරුණ ප්‍රකාශ කළා.

බුදුරජාණන් වහන්සේට ඒකාසංඛෙය්‍ය කල්ප ලක්ෂයකට පෙර සැරියුත් මහරහතන් වහන්සේ සරද නම් මානවක ව බොහෝ වස්තු ඇති මහාසාර බමුණු කුලයක ඉපිද සිටියා.

මුගලන් මහරහතන් වහන්සේ ද එවැනි ම කුලයක සිරිවර්ධන නමින් ඉපි ද සිටියා. දෙදෙනා ම හරිම මිත්‍රයෝ. මේ සරද නම් මානවකයා ගිහිගෙයට වඩා පැවිද්දට ඇලුම් කර මහණ වෙන්නට සිතුවා. සිරිවර්ධන මානවකයාත් එසේ ම මහණ වෙන්නට සිතුවා. සරද තවුසා භාවනානුයෝගි ජීවිත ගත කරලා පංචඅභිඥා අෂ්ටසමාපත්ති උපදවා ගත්තා. මේ දෙදෙනා ම එම බුදුරජාණන් වහන්සේගේ අගසව් දෙනම අතුරෙන් නිසභ නම් මහරහතන් වහන්සේත්, අනෝම නම් මහරහතන් වහන්සේත් ධර්ම දේශනා කළා. ඒ වුණත් කවුරුවත් රහත් වුණේ නැහැ. පසුව අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ දෙසූ දහම් අසා සරද මානවක හැර සෙසු සියලු ම දෙනා රහත් වුණා. එම මානවකට අගසව් තනතුර ලැබීමේ අපේක්ෂාවෙන් සිටි නිසා රහත් වීමේ අවස්ථාව නැති වුණා. පසුව සරද තවුසාගේ දැනුම් දීමෙන් සිරිවර්ධන නම් තම යහලුවා ද අගසව් නමක් වීමේ අපේකෂාව ඇති බව ප්‍රකාශ කළා. එම දෙදෙනා ම ඊට අවශ්‍ය පිළිවෙත් පුරන්නට පටන් ගත්තා.

ඒ අවස්ථාවේ දී මේ දෙදෙනා ම අනෝමදස්සි බුදුරජාණන් වහන්සේට එම පැතුම ප්‍රකාශ කළාට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේ දෙදෙනා ම අනාගතයේ ගෞතම නම් බුදුරජාණන් වහන්සේ හමුවේ දී එම පැතුම ඉටුවන බව ප්‍රකාශ කළා. විවරණ ලබා දුන්නා.

ඒ අවස්ථාවේ සිට සරද තාපසතුමා මෙත්තා, කරුණා, මුදිතා හා උපෙක්ඛා කියන මේ සතර බ්‍රහ්ම විහරණ වඩා බ්‍රහ්ම ලෝකයෙහි උපන්නා. සිරිවර්ධනතුමා විවිධ පින්කම් කරමින් අවසාන භවයෙහි දිව්‍ය ලෝක සම්පත් ද විඳ පසුව දෙදෙනා ම අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි සරද තාපසතුමා රජගහනුවර උපතිස්ස ගමේ සාරි බැමිණියගේ කුසෙහි පිළිසිඳ ගෙන උපතිස්ස නම් වූවා. සිරිවර්ධන රජගහනුවර කෝලිත නම් ගමේ මොග්ගලී බැමිණියගේ කුසෙහි පිළිසිඳගෙන කෝලිත නමින් උපන්නා. මේ කියන දෙදෙනා ම සසර පුරාවට ම භවයෙන් භවයේ කල්‍යාණ මිත්‍රයෝ. නායකත්වයේ තවත් ගුණයක් කල්‍යාණ මිත්‍ර ගුණවලින් නායකයා සමන්විය යුතු වෙන බව. මී ළඟට වැදගත් වන්නේ අවසාන පරම විමුක්තිය උදාකර ගැනීමේ දී මේ කල්‍යාණ මිත්‍රත්වය කෙතෙක් දුරට ක්‍රියාත්මක වුණා ද කියන කරුණයි.

සංජය පිරිවැජියා පෙන්වා දුන් මෝක්ෂ මාර්ගය නිරර්ථක බව කෙටි කලකින් තේරුම් ගත් මේ දෙදෙනා අවසානයේ ඇති කරගත් සම්මතයක් වුණේ කවුරුන්ට හෝ පළමුව සැබෑ විමුක්තිය පෙන්වා දෙන ශාස්තෘවරයකු හමු වුවහොත් දෙවැන්නාට ද එය දන්වා දෙදෙනා ම එක ම විමුක්ති මාර්ගයේ යමු කියල යි. දිනක් උපතිස්ස පිරිවැජියා අස්සජී හාමුදුරුවන්ගෙන් බුදුරජාණන් වහන්සේගේ ගැඹුරු දහමෙහි හරය 'යෙ ධම්මා හේතුප්පභ‍වා තෙසං හේතුං තථාගතො ආහ' යන ගාථා දෙ පදය අසනවාත් සමඟ සමස්ත බෞද්ධ විමුක්ති මාර්ගය ම අවබෝධ කර ගෙන ධර්මාවබෝධය හෙවත් සෝවාන් ඵලයට පත් වුණා. ධර්මාවබෝධය ලැබුවා. මේ අසිරිමත් ශුභාරංචිය තම කලණ මිතුරු කෝලිතට පැවසීමට, වහා දැනුම් දීමට උපතිස්ස පියවර ගත්තා. තමන් විසින් ම අස්සජී හාමුදුරුවන් පෙන්වා දුන් සමස්ත ගාථාව ම ප්‍රකාශ කරන විට කෝලිත පිරිවැජියා සෝවාන් වුණා. ඉන්පසු සංජය නම් තම මුල් ගුරුවරයා හමු වී මේ අසිරිමත් විමුක්ති මාර්ගය ඔහුට දැනුම් දුන්නත් ඊට කැමැත්තක් දැක් වූයේ නැහැ. නමුත් 500 ක් වූ එම ගෝල පිරිසෙන් දෙසිය පණහක් මේ උපතිස්ස කෝලිත දෙදෙනා සමඟ ගොස් මේ සම්මා සම්බුදු සසුනෙහි භික්ෂු ශ්‍රාවකත්වයට පත් වුණා. පසුව කෝලිත හිමියන් සතියක් ඉක්ම වූ විට මගධ රටේ කල්ලවාල ග්‍රාමයේ දී විදසුන් වඩා රහත් බවට ද පත් වුණා. සැරියුත් හාමුදුරුවෝ මාස හයකට පසු රජගහනුවර සූකරකත ලෙනෙහි දී දීඝනඛ පිරිවැජියාට බුදුරාජණන් වහන්සේ දේශනා කළ වෙදනා පරිග්‍රහ සූත්‍රය අසා රහත් බවට පත් වුණා.

සැරියුත් මහරහතන් වහන්සේ ප්‍රඥාවන්තයන් අතර අග තනතුරු ලැබුවා. ධර්ම සේනාධිපති වුණා. මුගලන් මහරහතන් වහන්සේ සෘද්ධිමතුන්ගෙන් අග තනතුරු ලැබුවා. මේ දෙදෙනා වහන්සේ ම බුදුරජාණන් වහන්සේ සමඟ ගම් දනව් සිසාරා ධර්ම දේශනාවන්ට වැඩම කළා. බුදුරජාණන් වහන්සේ එක දිගට ධර්ම දේශනා පවත්වා තරමක වෙහෙසක්, ගිලන් බවක් ඇති වන විට උන්වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ හෝ මුගලන් මහරහතන් වහන්සේ හෝ අමතා මට තරමක් වෙහෙසයි, සාරිපුත්තයෙනි, මොග්ගල්ලානයෙනි, මෙතැන් සිට මේ සැදැහැතියන්ට මා වෙනුවෙන් මේ ධර්ම දේශනාව පවත්වන්න, යනුවෙන් පවසමින් නියම කරන තරමට උන්වහන්සේ දෙනම ම බුදුරජාණන් වහන්සේට පමණක් දෙවැනි වන නායකත්වය හැබෑවට ම ඔප්පුකර ප්‍රදර්ශනය කළා.

ඒ විතරක් නොවේ, බුදුරජාණන් වහන්සේ මේ දෙදෙනා වහන්සේට තමන් වහන්සේගේ ලක්ෂ සංඛ්‍යාත භික්ෂු, භික්ෂුණී, උපාසක හා උපාසිකා පිරිසට සැබෑ නායකත්වය තහවුරු කරමින් සංඝ පරිපාලනය පිළිබඳ වගකීම පැහැදිලි ව පවරා නියම කර තිබුණා. එය බුදුරජාණන් වහන්සේ ම ප්‍රකාශ කරන ආකාරයෙන් යම් සේ ගැබ්ගත් මව තම කුස හොත් දරුවාට මෛත්‍රියෙන්, කරුණාවෙන් ලුණු ඇඹුල් සහිත අපත්‍ය ආහාරපානවලින් ද වැළකී දරු ගැබ රැක ගනිමින් දුක සේ නවමස් හෝ දස මස් ගත කරනවා ද ඒ වගේ ම සැරියුත් ආයුෂ්මතුන් වහන්සේ තමන් ළඟ හෝ වෙනත් භික්ෂූන් වෙත පැවිදි බව ලබා මහණ දම් පුරන භික්ෂූන්ට ධර්මානුශාසනා කරමින් සංග්‍රහ කරමින් ගිලන් වූ විට උපස්ථාන ද කරමින් මවක මෙන් ක්‍රියා කරන බව මුගලන් ආයුෂ්මතුන් වහන්සේ ශ්‍රාවක භික්ෂු පිරිසට ධර්මයෙන් අවවාද අනුශාසනා කරමින් සුදුසු කමටහන් ද ලබා දී ඒ බුද්ධ ශ්‍රාවක පිරිස් නිවන් මඟ පසක් කොට ගැනීම දක්වා, අවසාන විමුක්තිය දක්වා මෙහෙයවා ක්‍රියා කරන බව ද තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ සේක.

නවම්  පුර පසළොස්වක

පෙබරවාරි 01 ඉරිදා පූ.භා. 05.54න් පුර පසළොස්වක ලබා 02 සඳුදා පූ.භා. 03.41න් ගෙවේ.
01 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍පෙබරවාරි 01 

Second Quarterඅව අටවක

‍‍‍පෙබරවාරි 09    

Full Moonඅමාවක

පෙබරවාරි 16

First Quarterපුර අටවක

පෙබරවාරි 24   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]