[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මිනිසත් බවට මිනිසත්කමින් වටිනාකමක් දෙන්න

මිනිසත් බවට මිනිසත්කමින් වටිනාකමක් දෙන්න

ඈත අතීතයේ සිට ම මිනිසා පිළිබඳ ව මිනිසාම ගවේෂණය කළා, සොයා බැලුවා. මිනිසා ශිෂ්ටාචාරගත වූවාට පසු මිනිසා යනු කවුද යන්න සොයා බලන්නට භාර දුන්නේ දාර්ශනිකයන්ට යි. එහි දී විවිධ දාර්ශනිකයන් ඉදිරිපත් කළේ විවිධ අර්ථකථන.

ප්ලේටෝ ග්‍රීසියෙහි ජීවත් වූ මහා දාර්ශනිකයෙක් ඔහු තම විද්‍යාපීඨයේ ඉගෙන ගත් සිසුන්ට දවසක් ප්‍රශ්නයක් ඉදිරිපත් කළා.

‘මිනිසා යනු කවරෙක්ද?’

‘පන්තියේ හිටිය දඩබ්බර සිසුවෙක් එක පාරටම නැඟිට්ටා. ගුරුතුමනි, මිනිසා යනු කකුල් දෙකක් ඇති පෙඳය නැති සත්වයෙක්.’

ප්ලේටෝ හිස මඳක් නමමින් එය අනුමත කළා. ප්ලේටෝගේ විද්‍යාපීඨයේ ඉගෙන ගත්තු දක්ෂතම ශිෂ්‍යයා තමයි ඇරිස්ටෝටල්. ඊළඟ දවසේ ඇරිස්ටෝටල් පෙඳ ගැලවූ ලොකු කුකුළෙක් ගෙනැවිත් මේසය උඩින් තිබ්බා.

‘අපේ ගුරුතුමාට අනුව මූත් මිනිහෙක්. ඇරිස්ටෝටල් කිව්වා.’

ඒ ප්‍රකාශය හිස මදක් නවා අනුමත කළේ මඳ සිනාවකින් යුතුව යි.

යුරෝපීය මහා දාර්ශනිකයන් මිනිසා හඳුනාගැනීමට තැත් කළ ආකාරය යි ඒ. අපි එය සරල ව දැකිය යුතු නෑ. එක අතකින් දාර්ශනික තර්කයක් ගොඩනඟන්න ගත්ත උත්සාහයක් නේ. දර්ශනයේ හැටි එහෙමයි. අවලංගු වන අර්ථ බැහැර කරමින් වඩා නිවැරැදි පූර්ණ අර්ථයක් සොයා යනවා, විද්‍යාවත් එහෙම යි.

එහෙත් අපේ බුදුන් වහන්සේට නම් අපහසු වුණේ නෑ මිනිසා යනු කවරෙක් ද කියා පරිපූර්ණ ලෙස පැහැදිලි කරල දෙන්න. ඒ උන්වහන්සේ මනුෂ්‍යත්වය පරිපුර්ණ කළ නිසයි. මනුෂ්‍යත්වයේ උපරිම තලයට පත් වූ නිසයි. ඉතාමත් උසස් බවට පත්කොට ගත හැකි මනසක්, යහපත් සිතක් ඇත්තා යනු මනුෂ්‍යයා යන්නෙහි සැබෑ අර්ථය යි.

විභංග අටුවාවේ මිනිසා පිළිබඳ කරන ලද විග්‍රහය අතිශයින් ම වැදගත්. “මනුස්ස භූතානි එත්ථ මනුස්ස උස්සන්නත්ථාය මනුස්සා” සත්ව වර්ගයා අතර උසස් මනසක් ඇති සත්වයා මිනිසා ය.

සංස්කෘතික ශ්ලෝකයක මෙසේ සඳහන් වේ.

“ආහාර නිද්‍රා භය මෛථුනංච සාමාන්‍ය මේතං ප්‍රසූභිඞ සමානඞ

ඒ සෝදිභාවො අධිකො විශේෂෝ ධම්මේන හීනඞ පසුභඞ සමානඞ ”

ආහාර සොයා ගැනීම, නිදාගැනීම, ආරක්ෂාව සපයා ගැනීම, ලිංගික ජීවිතයක් ගත කිරීම මිනිසාට මෙන් ම සෙසු ජීවින්ට ද පොදු කාරණා ය. ධර්මයෙන් උසස් නිසා මිනිසා සෙසු ජීවින්ගෙන් වෙනස් වෙයි. ධර්මයෙන් හීන වූ විට මිනිසා හා තිරිසනා සමාන වේ යන්නයි මෙහි අර්ථය.

මිනිසා හා සෙසු සත්වයින් අතර වෙනස ඉතාමත් සරල ව පැහැදිලි කරන්නේ නම් , මිනිසා සතු බුද්ධිය හා මිනිසා විසින් ගොඩනඟා ගන්නා ලද ධර්මතා පද්ධතිය නිසා මිනිසා අනෙක් සතුන්ගෙන් වෙනස්වන බවයි. ප්‍රබලයා ඉදිරියේ යටත් වීමත්, දුබලයා යටපත් කිරීමත් මිනිසාගේ් පෘථග්ජන ගතියයි. යටත් කීරිමත්, යටත් වීමත් දෙක ම මනුෂ්‍යත්වයට නොගැලපේ. අප ඒ දෙකට ම එරෙහි ව සහනශීලි චර්යාව ප්‍රගුණ කළ යුතු ය. ඒ හැකියාව මිනිසාට ඇත.

මේ අනුව අපට පැහැදිලි යි සත්වයන් අතර උතුම් ම සත්වයා මිනිසා බව. මනුසත් බව දෙවි බඹුන්ගේ තත්වය ද ඉක්මවා යන්නක්. සැබෑ මිනිස් බව හඳුනාගත නොහැකි අය දෙවියන්ට පින් පමුණුවනවා වෙනුවට වන්දනාමාන කරනවා. ඒ අයට හිතෙන්නෙ නෑ දෙවියන් පවා සැබෑ මිනිසුන්ට වඳීන බව. බුදු විය හැක්කේ මිනිසකුට ම පමණයි.

කොහොම නමුත් මනුසත් බව උපතින් ලැබුණට මිනිසත්කම උපතින් නොලැබෙන බව අප මතක තබා ගත යුතුයි.

අපි දන්නවා අප පළමුවෙන් ම මිනිසත්කම ලබා ගන්නේ අපේ දෙමවුපියන්ගෙන් බව. මවගේ උකුලේ නැළැවෙන දරුවා මව කෙරෙන් මිනිසත් ගුණ ලබා ගන්නවා. පියාගේ සෙවණේ වැඩෙන දරුවා පියාගෙන් මිනිසත්කම ලබා ගන්නවා. ඉන් පසු පාසලේ ගුරුවරුන් ඇසුරින් මිනිසත්කම් හඳුනා ගන්නවා. පන්සල - පල්ලිය, කෝවිල යන ආගමික ආයතන මඟින් මිනිසත් බවේ ආධ්‍යාත්මික ශක්තිය පෝෂණය කර ගන්නවා. හොඳ යහලුවන් ඇසුරින් මිනිසත් ගුණ වර්ධනය කර ගන්නවා.

අප බාල පරපුර වෙත මුදා හරින්නෙත් මෙසේ උරුම කර ගන්නා මනුසත්භාවය තමයි. ඒ මඟින් අප එකිනෙකා සතු, ඒ වගේම පොදුවේ පවතින සංස්කෘතිය ද බාල පරපුර වෙත ගලා යනවා. හැබැයි එහෙම වෙන්නේ අපි ඒවා උරුම කර ගත්තොත් පමණයි.

අපි මිනිස්සු, කවර නම් ජාතියකට, කවර නම් ගෝත්‍රයකට, කවර නම් කුලයකට, කවර නම් දේශයකට අයත් වුවත්, අපි හැමෝ ම මිනිස්සු. ඒ නිසා වැදගත් වෙන්නේ, අත්‍යවශ්‍ය වෙන්නේ මිනිසත්කම රැකගෙන, මනුෂ්‍යත්වයේ නාමයෙන් ජීවත් වීමයි. ඔබ ජීවත් වන්නේ ලංකාවෙ පුරවැසියෙක් විදියට. සමහර විට ඔබ වෙනත් රටක සිටින්න පුළුවන්. කවුරු, කවර රටක, කෙබඳු සංස්කෘතියක් අනුගමනය කළත් ආරක්ෂා කර ගත යුතු පළමු දේ නම් මිනිස්කම යි. මෙය අප මතක තබාගත යුත්තක්.

මිනිසකු වශයෙන් සම්පූර්ණ කළ යුතු අවම ගුණය වත් ඔබ සම්පූර්ණ කරලා නැත්නම් ඔබ උතුම් මිනිසකු වන්නේ නෑ. මිනිස්කම නැති වූ තැන ඔබ මේ ලෝකෙ සිටින නරකම සත්ත්වයා බවට පත් වන බව අමතක කරන්න එපා.

අම්මා ළඟ මේ ගුණය තිබිය යුතුයි. ශිෂ්‍යයායේ ජීවිතයේ අඳුර දුරලන මාර්ගෝපදේශක ගුණය ගුරුවරයා ළඟ තිබිය යුතුයි. පිය ගුණය පියා සතු විය යුතුයි. සහෝදරයන් තුළ සහෝදරත්වය, ඥාතීන් ළඟ ඥාතීත්වය, හිත මිතුරන් සතු ව මිත්‍රත්වය තිබිය යුතුයි. අප ජීවත්විය යුතු යුත්තේ ගුණධර්ම, සාරධර්ම තම ආත්මය කරගෙනයි. ඒක තමයි මිනිස්කම.

පටු පුද්ගලවාදී ආකල්ප අනුව මම කියා හිතන්නේ නැතුව, පොදු හැඟීමෙන් අපි කියා හිතන්න පුරුදු වෙමු.

අප බොහෝ විට කරන්නේ ප්‍රබලයෙක් දුටු විට යටත් වී, දුබලයෙක් දුටු විට ආක්‍රමණශීලී වෙන එකයි. මේ දෙකම මනුස්සකමට ගැළපෙන චර්යා නෙමෙයි. ඔබට ඇත්තේ උසස් මනසක්. ඒ නිසා සුහදශීලී චර්යාව ප්‍රගුණ කරන්න අදිටන් කර ගන්න. එවිටයි මිනිසත්කම ආලෝකවත් වෙන්නේ. අර්ථවත් වෙන්නේ. අපි කවුරුත් මිනිස්සු වෙන්නේ.

නවම්  පුර පසළොස්වක

පෙබරවාරි 01 ඉරිදා පූ.භා. 05.54න් පුර පසළොස්වක ලබා 02 සඳුදා පූ.භා. 03.41න් ගෙවේ.
01 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍පෙබරවාරි 01 

Second Quarterඅව අටවක

‍‍‍පෙබරවාරි 09    

Full Moonඅමාවක

පෙබරවාරි 16

First Quarterපුර අටවක

පෙබරවාරි 24   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]