නිවස විශේෂාංගජීවිතයට බෝසත් ගුණ ධර්ම

ජීවිතයට බෝසත් ගුණ ධර්ම

by Test User
September 18, 2026 1:00 am 0 comment

වීර්ය පාරමිතාව

උතුම් බලාපොරොත්තුවක් ඉටුවෙන තුරු නොපසුබට උත්සාහයෙන් කටයුතු කිරීම වීර්යයකි. පසු බැසීමට හේතුවන කුමක් ඉදිරිපත් වුව ද ඒ එකකින්වත් මන්දෝත්සාහී නොවී කටයුතු ඇරැඹීමටත්, ඇරැඹි කටයුතු නො නවත්වා ඉදිරියට කර ගෙන යාමටත් බලවත් ලෙස ප්‍රයත්න දැරීම වීර්ය පාරමිතාව යි. තණ්හාවෙන්, මානයෙන් හා මිථ්‍යා දෘෂ්ටියෙන් තොරව හා කරුණාවෙන් හා ප්‍රඥාවෙන් යුතු ව තමන්ගේත්, අනුන්ගේත් අභිවෘද්ධිය පිණිස ගන්නා වූ බලවත් උත්සාහය වීර්ය පාරමිතා නම් වේ.

යම් කාර්යයක් ආරම්භ කිරීමේ දී ඇති කර ගත යුතු වීර්යය (ආරම්භ ධාතු), ඉදිරිපත් වීමේ දී ඇති කර ගත යුතු වීර්යය (නික්කම ධාතු), නිරත වීමේ දී ඇති කර ගත යුතු වීර්යය (පරක්කම ධාතු) යන පියවර තුනේ දී ම නොපසුබස්නා බව, කැපවීම තිබිය යුතු ය.

බෝසත්වරුන් මෙම පාරමිතාව පූරණය කරන ආකාර තුනකි.

බාහිර වස්තුවලට ආසාවෙන් අත් නොහරින වීර්යය වීර්ය පාරමිතාව යි.

ශරීරාංගවලට ආසාවෙන් අත් නොහරින වීර්යය වීර්ය උපපාරමිතාව යි.

ජීවිතයට ආසාවෙන් අත් නොහරින වීර්යය වීර්ය පරමත්ථ පාරමිතාව යි.

අප මහ බෝසතාණන් වීර්ය පාරමිතාව පිරූ ආකාරය “වණ්ණුපථ” ජාතකයෙන් පැහැදිලි වේ.

සමාජගත ජීවිතයට මෙම පාරමිතාවෙන් ගත හැකි ආදර්ශ බොහෝ ය. යම් අරමුණක් පෙරදැරි ව, ඒ අරමුණ සාර්ථක කර ගන්නා තුරු නොපසුබට උත්සාහයෙන්, වීර්යයෙන් කටයුතු කිරීම අවශ්‍ය වේ. යමක් ආරම්භ කිරීමේ දී, ඉදිරිපත් වීමේ දී හා නිරත වීමේ දී වීර්යය ඇති කර ගැනීමෙන් සාර්ථකත්වයට පැමිණිය හැකි ය. බොහෝ කටයුතු අඩපණ වී යන්නේ ඉහත දැක්වූ තෙවැදෑරුම් වීර්යයෙන් ක්‍රියා නොකිරීම හේතුවෙනි. ශිෂ්‍යයන් වශයෙන් එක් අරමුණක පිහිටා උත්සාහයෙන් කටයුතු කිරීමෙන් ජයග්‍රහණය කරා ගමන් කළ හැකි ය. තරග විභාග ආදියෙන් ජය ගැනීමට, කුසලතා සම්මාන සහතික ලබා ගැනීමට, වැඩිහිටියන්ගේ ප්‍රශංසා, සමාජයේ දී ගෞරවය ආදිය ළඟා කර ගැනීමට වීර්යවන්ත භාවය බෙහෙවින් ඉවහල් වේ. උත්සාහයෙන් තොර, අලස, පසුගාමී පුද්ගලයකුට ලැබිය හැකි ජයග්‍රහණයක් නැත. උදා කර ගත හැකි ප්‍රගතියක් ද නැත.

ක්ෂාන්ති පාරමිතාව

ඛන්ති හෙවත් ක්ෂාන්තිය නම් ඉවසීමයි. බාහිර පුද්ගලයන්ගේ අදහස්වලින්, පරිසරයෙන් වන දුෂ්කරතා. මානසික හා කායික පීඩා ඉවසීම මින් අදහස් කෙරේ.

ඉවසීම උසස් ගුණ ධර්මයකි. අටලෝ දහමින් කම්පා නොවීම ද ඉවසීම පුහුණුූ කරන අයගේ ලක්ෂණයකි. තණ්හාවෙන්, මානයෙන් හා මිථ්‍යා දෘෂ්ටියෙන් තොරව කරුණාවෙන් හා ප්‍රඥාවෙන් යුතු ව ඉවසීම ප්‍රගුණ කිරීම ඛන්ති පාරමිතාව යි.

බෝසත්වරු න් මෙම පාරමිතාව ත්‍රිවිධාකාරයෙන් පූරණය කරති.

සියලු බාහිර වස්තුවලට වන හානි නො සලකා ඉවසීම ඛන්ති පාරමි වේ

ශරීරාවයවවලට වන හානි නො සලකා ඉවසීම ඛන්ති උපපාරමි වේ.

ජීවිත විනාශයට වන හානි නොසලකා ඉවසීම ඛන්ති පරමත්ථ පාරමි වේ.

අප මහ බෝසතාණන් වහන්සේ ක්ෂාන්ති පාරමිතාව පිරූ ආකාරය “ක්ෂාන්තිවාදී” ජාතකයෙන් පැහැදිලි වේ.

සමාජගත ජීවිතයේ දී අපට ද මෙම පාරමිතාව ආදර්ශ කොට ගත හැකි ය. ඉවසීමේ ගුණධර්මය ප්‍රගුණ කරන තැනැත්තා තුළ කරුණාව හා උපාය කුසලතාව තිබිය යුතු ය. අන් අයගෙන් තමාට සිදුවන වැරැදි ඉවසිය හැක්කේ එවිට ය. අටලෝ දහමින් කම්පා නොවීමේ හැකියාව අප මහ බෝසතාණන් වහන්සේට තිබුණි. අප ද අටලෝ දහමට මැදහත් ව මුහුණ දීමේ හැකියාව වර්ධනය කර ගත යුතු ය. එවිට සමාජගත ජීවිතයේ දී මුහුණ දීමට සිදුවන අභියෝග ඉවසීමට අපට හැකියාව ඇති වේ. තමාට පැමිණෙන බාධාවලින් වික්ෂිප්ත වී හෝ කුපිත වී හෝ එකට එක කිරීමට, පළිගැනීමට නොගොස් තමාගේ යහපත් ක්‍රියා පිළිවෙතෙහි නොසැලී සිට, දිගට ම ක්‍රියා කිරීම ඉවසීමයි.

පිරිසක් සමඟ කටයුතු කිරීමේ දී අන් මත පිළිගැනීමට, අන් මතවලට ඇහුම්කන් දීමට සිදු වේ. මේ අනුව සමඟි සම්පන්න ජීවිතයක් ගත කිරීමට ඉවසීම ප්‍රගුණ කළ යුතු ගුණධර්මයක් බව පැහැදිලි වේ. ශිෂ්‍යයන් වශයෙන් අනාගත ජීවිතය සාර්ථක කර ගැනීමට ක්‍රියා කරන අයට ද බොහෝ දේ ඉවසීමට සිදු වේ. ඉවසීමෙන් සැනසීම ලැබේ. එයින් බොහෝ ගැටුම් වැළකී යයි. සාමය ද ඇතිවේ.

සත්‍ය පාරමිතාව

කිසිවකු නොරවටා, මුළා නොකර සත්‍යගරුක ව ක්‍රියා කිරිම මෙහි මූලික අදහස ය. එය පුහුණු කිරීම සත්‍ය පාරමිතාව යි. වාග් දුශ්චරිතයෙන් වැළකීම, පොරොන්දු කඩ නො කිරීම, ඇත්ත කීම යන ආකාර තුනෙන් සත්‍යයේ පිහිටා කටයුතු කිරීම සත්‍ය පාරමිතාවට අයත් ය.

තණ්හාවෙන්, මානයෙන් හා මිථ්‍යා දෘෂ්ටියෙන්, මිදි කරුණාවෙන් හා ප්‍රඥාවෙන් යුතු ව සත්‍යවාදී භාවය ප්‍රගුණ කිරීම සත්‍ය පාරමිතාව යි.

බෝසත්වරුන් මෙම පාරමිතාව ද පූරණය කරන පියවර තුනකි.

බාහිර වස්තු විනාශ වී ගිය ද සත්‍යගරුක වීම සත්‍ය පාරමිතාව යි.

ශරීරාවයව විනාශ වී ගිය ද සත්‍යගරුක වීම සත්‍ය උපපාරමිතාව යි.

ජීවිතය විනාශ වී ගිය ද සත්‍ය ගරුක වීම සත්‍ය පරමත්ථ පාරමිතාව යි.

අප මහ බෝසතාණන් වහන්සේ මෙම පාරමිතාව පිරූ ආකාරය “වට්ටක” ජාතකයෙන් හෙළි වේ.

මුසාවෙන් වැළකී සත්‍යගරුක වීම අපේ ජීවිතයට ද වැදගත් ය. බොරු කියන්නාට කළ නොහැකි තවත් වරදක් නැතැයි බුදු දහමෙහි ඉගැන්වේ. නැති දෙයක් ඇති සැටියෙන් කියා හෝ ඇති දෙයක් නැති හැටියට කියා හෝ, අනුන් රැවටීම, මුළාවේ හෙළීම හෝ විශ්වාසය කඩ කිරීම බොරුවේ ලක්ෂණයකි. තමන් නො දන්නා දෙයක් වේ නම් එය දන්නා බව අඟවා කුමක් හෝ කීමට නොව එය නො දන්නා බව අවංක ව ප්‍රකාශ කිරීමට අප එඩිතර විය යුතු ය. අසත්‍ය ප්‍රකාශ කරන පුද්ගලයා ඇසුරු කිරීමට කිසිවෙක් කැමැති නොවෙති. සත්‍යගරුක පුද්ගලයා පාසලේ, ගමේ, සමාජයේ සියලු දෙනාගේ විශ්වාසය නිරායාසයෙන් දිනා ගනී. ඒ නිසා අප සත්‍යගරුක ව කටයුතු කිරීම ජීවිතයට ආභරණයක් කර ගත යුතු ය.

අධිෂ්ඨාන පාරමිතාව

යහපත් අභිමතාර්ථයක් මුදුන්පත් කර ගැනීමට උපදවා ගත් සිත වෙනස් නොකොට, ඒ අයුරින් ම පවත්වා ගැනීම අධිෂ්ඨානය යි. ප්‍රතිපත්තිගරුකව, ස්ථිර අධිෂ්ඨානයෙන් සෙසු පාරමිතා පිරීමට ද මෙම පාරමිතාව අවශ්‍ය වේ. තණ්හා, මාන හා මිථ්‍යා දෘෂ්ටියෙන් මිදී කරුණාවෙන් හා ප්‍රඥාවෙන් යුතු ව අධිෂ්ඨානය ප්‍රගුණ කිරීම අධිෂ්ඨාන පාරමිතාව යි.

බෝසත්වරු ආකාර තුනකින් මෙම පාරමිතාව පූරණය කරති.

බාහිර වස්තු විනාශ වුව ද අත් නොහරින අධිෂ්ඨානය අධිෂ්ඨාන පාරමිතාව යි.

ශරීරාවයව විනාශ වුව ද අත් නොහරින අධිෂ්ඨානය අධිෂ්ඨාන උපපාරමිතාව යි.

ජීවිතය විනාශ වුව ද අත් නොහරින අධිෂ්ඨානය අධිෂ්ඨාන පරමත්ථ පාරමිතාව යි.

අප මහ බෝසතාණන් වහන්සේ

අධිෂ්ඨාන පාරමිතාව පිරූ ආකාරය “තේමීය” ජාතකයෙන් ප්‍රකට වේ.

සමාජගත ජීවිතයේ දී කිසිදු ජයග්‍රහණයක්, අධිෂ්ඨානයෙන් තොරව ලබා ගත නොහැකි ය. ඇතැමුන් අරමුණූ සපුරා නොගෙන යම් කාර්යයක් අතරමඟ නතර කර ගන්නේ ස්ථිර, දැඩි අධිෂ්ඨානයක් නැති බැවිනි. යමක් පිළිබඳ වෙහෙසෙමින් සිටියදී අතරමඟ වෙනත් අරමුණක් කරා සිත ඇදී යන්නේ ද අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රියා නොකිරීමෙනි. මෙය මට කළ හැකි ය. මම මෙය කෙසේ හෝ ඉටුකර ගනිමි යන චිත්ත ශක්තිය ඇති ව, ස්ථිර අධිෂ්ඨානයෙන් කටයුතු කිරීමෙන් ජීවිතය වඩාත් සාර්ථක කර ගත හැකි ය.

මෛත්‍රී පාරමිතාව

ඇසුරු කරන්නන් පිළිබඳ මෛත්‍රියෙන් යුක්ත වීම මිත්‍රත්වය යි. මිතුරා පිළිබඳ ව ඇති කර ගන්නා හිතවත් බව, මිතුරාට මෙන් ම සතුරාටත්, මැදහත් අයටත් පැතිර වීම මෙයින් අදහස් කෙරේ. කිසිවකු කෙරේ වෛරයක්, ද්වේෂයක් ඇති නොකොට “සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා” යි සිත පුරුදු කිරීම මෛත්‍රීය යි.

තණ්හාවෙන්, මානයෙන් හා මිථ්‍යා දෘෂ්ටියෙන් තොර ව, කරුණාවෙන් හා උපාය කුසලතාවෙන් යුතු ව මෛත්‍රිය සැමට පැතිරවීමෙන් ලබන පුහුණුූව මෛත්‍රී පාරමිතාවය යි. බෝසත්වරු මෙම පාරමිතාව

1.මෛත්‍රි සහගත කාය කර්ම (කයින්, ක්‍රියාවෙන්)

2. මෙත්‍රී සහගත වචී කර්ම (වචනයෙන්, කතා බහින්)

3. මෛත්‍රී සහගත මනෝකර්ම (සිතින්, මනසින්)

යන පියවර තුනෙන් ම ක්‍රියාවට නඟති. එසේම බෝසත්වරු මෙම පාරමිතාව ආකාර තුනකින් පූරණය කරති.

බාහිර වස්තූන්ට හානි සිදු වුව ද මෛත්‍රිය වැඩීම මෙත්තා පාරමී වේ.

ශරීරාවයවවලට හානි සිදු වුව ද මෛත්‍රිය වැඩිම මෙත්තා උපපාරමී වේ.

ජීවිතය විනාශ වුව ද මෛත්‍රිය වැඩීම මෙත්තා පරමත්ථ පාරමී වේ.

අප මහ බෝසතාණන් මෙම පාරමිතාව පිරූ ආකාරය “මහා කපි“ හා “මඝ මානවක” කතා තුළින් හෙළි වේ.

ද්වේෂයෙන්, වෛරයෙන් තොර සාමකාමී සමාජයක් සඳහා මෛත්‍රී සහගත සිතිවිලි වර්ධනය කිරීම ඉතා වැදගත් ය. මෛත්‍රිය මිනිසා තුළ ඇති කර ගත යුතු බ්‍රහ්ම විහාරයක් හෙවත් උත්තම චර්යාවක් ලෙස දැක්වෙන්නේ ද එය හොඳ අවබෝධයක් ඇතිව ම, උදාර අරමුණකින් ක්‍රියාවට නැංවෙන බැවිනි. මිතුරාගේ යහපත සඳහා මිතුරාගේ යහපත කවර අයුරින් හෝ උදුරා නො ගන්නේ ය. දරුවා කෙරෙහි මව තුළ පහළ වන සිතිවිලිවලට මිත්‍රත්වය සමාන කොට ඇත්තේ ඒ නිසා ය. මෛත්‍රිය ප්‍රගුණ කිරීමෙන්, සතුරු බියෙන් තොර ව හිත මිතුරන් සමඟ මනා සබඳතාවක් ගොඩනඟාගැනීමේ හැකියාව ලැබේ. මෙත් සිත් ඇත්තා සුව සේ නිදයි. සුව සේ පුබුදියි. පාපී සිහින නොදකියි. මිනිසුන්ට පි‍්‍රය වේ. නො මිනිසුන්ට ද පි‍්‍රය වේ. දේව රැකවරණය ලබයි. ගින්නෙන්, වස විස ආදියෙන් අනතුරු නොවේ. සිත සමාධිගත වේ. පෙනුම පැහැපත් වේ. නුමුළාව මිය යයි. මරණින් මතු බඹ ලොව උපදියි.

උපේක්ෂා පාරමිතාව

උපේක්ෂාව නම් මැදහත් බවයි. එනම් කිසියම් පුද්ගලයකු හෝ වස්තුවක් හෝ සිද්ධියක් සමඟ විශේෂ ඇල්මක් හෝ අමුතු පිළිකුලක් හෝ ඇති කර නො ගෙන සම සිත පැවැත්වීමයි. අටලෝ දහමට මුහුණදීම ද මෙයට උපකාරි වේ. තණ්හාවෙන්, මානයෙන් හා මිථ්‍යාදෘෂ්ටියෙන් තොරව කරුණාවෙන් හා ප්‍රඥාවෙන් යුතුව මැදහත් ව කටයුතු කිරීමට පුහුණුවීම උපේක්ෂා පාරමිතාව යි.

බෝසත්වරු මෙම පාරමිතාව ත්‍රිවිධ ආකාරයෙන් පූරණය කරති.

බාහිර වස්තු විනාශ වුව ද මැදහත් ව කටයුතු කිරීම උපේක්ඛා පාරමි වේ.

ශරීරාවයව විනාශ වුව ද මැදහත් ව කටයුතු කිරීම උපේක්ඛා උපපාරමි වේ.

ජීවිතය විනාශ වුව ද මැදහත් ව කටයුතු කිරීම උපේක්ඛා පරමත්ථ පාරමී වේ.

අප මහ බෝසතාණන් වහන්සේ උපේක්ෂා පාරමිතාව පිරූ ආකාරය “ලෝමහංස” ජාතකයෙන් පැහැදිලි වේ.

හිතවත් අය වෙතට හා කැමැති දෙය වෙතට නැමීම මෙන් ම පක්ෂපාතී වීම ද සාමාන්‍ය මිනිසාගේ ලක්ෂණයකි. එසේ ම තමාට අහිතවත් අයට හා තමා අකැමැති දෙයට නො සතුටු වීම සාමාන්‍ය ස්වභාවය යි. මේ ඇලීම් හා ගැටීම් යන දෙක අහිතකර බව වටහා ගෙන අන්තගාමිත්වයෙන් තොර ව, මධ්‍යස්ථ ව ක්‍රියා කිරීම උපේක්ෂාව යි.

උපේක්ෂාව වර්ධනය කර ගත හැක්කේ ලෝකයේ සිදුවීම් හේතුඵල දහම අනුව සිදුවන බව තේරුම් ගෙන කටයුතු කිරීමෙනි. සමාජයේ දී මුහුණ දෙන අභියෝග හමුවේ ද, ලෝක ධර්මතා හමුවේ ද මැදහත් ව කටයුතු කිරීමේ ගුණධර්මය, පුහුණුූ නො කිරීමෙන් මිනිසුන් ජීවිත පවා විනාශ කර ගන්නා අවස්ථා දැකිය හැකි ය.

අපගේ සමබර පෞරුෂ සංවර්ධනය සඳහා මැදහත් ව කටයුතු වැදගත් වෙයි.

ඉහත දක්වන ලද දස පාරමිතා එකිනෙකට සම්බන්ධ ය. ඒවා පිරීම නිසා පුද්ගලයා තුළ මනා සංවර්ධනයක් ඇති වේ. එසේම ඔහුගෙන් බලවත් පරාර්ථ සේවයක් ද සිදු වේ. මෙම ගුණ දහම් ගිහි පැවිදි දෙපක්ෂයට ම ටිකෙන් ටික සම්පූර්ණ කළ හැකි ය. අපේ ජීවිත වඩාත් වටිනා ජීවිත බවට පත්කර ගැනීමට පාරමිතා උපකාරි වේ. දැහැමි වූත්, ක්‍රියාශීලි හා මිත්‍රශීලි වූත් බෝධිසත්ත්ව ආදර්ශ ඇති සමාජයක් බිහි කිරීමට මෙම ගුණධර්ම උපකාර වේ. මේවා පිරීමේ උසස් ම ප්‍රතිඵලය නිවන් අවබෝධ කිරීමයි.

You may also like

Leave a Comment