මිහින්තලා පුදබිමේ වැඩසිටින
සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ

වෙසක් අමාවක

ජුනි 14 ඉරිදා අ.භා. 12.20න් අමාවක ලබා 15 සඳුදා පූ.භා. 08.26න් ගෙවේ.
 14 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුනි 14

First Quarterපුර අටවක

ජුනි 21  

Full Moonපසළොස්වක

‍ජුනි 29

Second Quarterඅව අටවක

‍‍‍ජූලි 07 

භාග්‍යවතුන් වහන්සේ අනුත්තරෝ පුරිසදම්ම සාරථී නම් වන සේක

“සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළවන්නේ බොහෝ දෙව් මිනිසුන්ගේ යහපත පිණිස ය. හිතසුව පිණිස ය. ලෝකානුකම්පාවෙන් ම ය. ඒ බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ යුතු වූ සියල්ල අවබෝධ කළ සේක. සර්ව සම්පූර්ණ ජීවිතයක් ඇති සේක. මහා නුවණැති වන සේක. අළාමක ප්‍රඥා ඇති සේක. ගම්භීර ප්‍රඥා ඇති සේක. අද්විතීය වන සේක. අසහාය වන සේක. ලොව කිසිවකුට ඉසිලිය නොහැකි අපමණ ගුණ දරා වැඩ සිටි සේක. අපමණ ගුණ ඇති ඒ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු ගුණ තවත් බුදුරජාණන් වහන්සේ නමක් කල්පයක් පුරාවට දේශනා කරයි ද, ඒ කල්පය අවසන්වී යන්නේ ය. බුදු ගුණස්කන්ධය පවසා අවසන් නොවන්නේ ම ය. බුදුරජාණන් වහන්සේ ඒ අපමණ බුදුගුණ ගුණ නවයකට කැටිකොට වදාළ සේක. මේ ලිපියෙන් විස්තර වන්නේ ඒ ගුණ නවයෙන් සයවැන්න වූ අනුත්තරෝ පුරිසදම්මසාරථී ගුණය ගැනයි. දමනය කිරීමට අසීරු වූ අකීකරු දෙව් මිනිසුන් ඍද්ධි ප්‍රාතිහාර්යයෙන් ද, ආදේශනා ප්‍රාතිහාර්යයෙන් ද, අනුශාසනී ප්‍රාතිහාර්යයෙන් ද, දමනය කොට අමා මහ නිවනට පමුණුවා වදාළ නිසා අපගේ ශාස්තෘන් වහන්සේ “අනුත්තරෝ පුරිසදම්ම සාරථී” නම් වන සේක. බුදුරජාණන් වහන්සේ ත්‍රිවිධ ආකාරයකින් ලෝ සතුන් දමනය කරන ආකාරය කේවඩ්ඪ නම් ගෘහපති පුත්‍රයාට මෙසේ වදාළ සේක. “පින්වත් කේවඩ්ඪ, ඍද්ධි ප්‍රාතිහාර්ය කියන්නේ ශරීර කිහිපයක් මවා පෙන්වීම, හදිසියේ නො පෙනී ගමන් කිරීම, පර්වත විනිවිද ගමන් කිරීම, දිය මතුපිට ඇවිදීම, අහසින් ගමන් කිරීම ආදි නොයෙකුත් ඍද්ධි ප්‍රාතිහාර්යයන් ය. පින්වත් කේවඩ්ඪ, ආදේශනා ප්‍රාතිහාර්ය කියන්නේ ඒ උතුමාට අනුන්ගේ සිත කියන්න පුළුවන්කම යි. ඔබේ සිත මේ විදිහයි. ඔබ සිතන්නේ මේ විදිහටයි. සිත්වල ඇති දොම්නස් බව, සොම්නස් බව, සිත හැසිරෙන අරමුණූ ආදිය ගැන ප්‍රකාශ කළ හැකි වීමයි. කේවඩ්ඨ, අනුශාසනී ප්‍රාතිහාර්ය කියන්නේ ධර්මයෙන් අනුශාසනා කිරීමයි.

තමන් තමන්ට සතුරු වන හැටි...

රජගහ නුවර සුප්‍රබුද්ධ නම් කුෂ්ඨ රෝගියෙක් විසී ය. හෙතෙමේ දිනක් බණ අසනු කැමැත්තෙන් වේළුවනාරාමයට ගියේ ය. තමන් කුෂ්ඨ රෝගයෙන් පෙළෙන නිසා පිරිස අතරෙහි නො හිඳ, කොනකට වී බණ ඇසී ය. බණ ඇසීමේ තිබෙන වටිනාකම ගැන තේරුම් ගෙන බණ අසන්නට ගියා වූ මේ පුද්ගලයා හොඳීන් ධර්මය කෙරෙහි කන් යොමු කැරැගෙන බණ ඇසූ නිසාත්, නුවණ මෝරා තිබූ නිසාත් සෝවාන් වූයේ ය. මෙසේ සෝවාන් වූ මේ සුප්‍රබුද්ධට එක්තරා අදහසක් පහළ විය. එනම් තමන් සෝවාන් වූ බව බුදුරජාණන් වහන්සේට දැනුම් දීමටයි. එබැවින් බණ ඇසූ පිරිස පිටවී ගිය පසු මෙතෙමේ සෙමින් සෙමින් බුදුරජාණන් වහන්සේ වැඩ වෙසෙන විහාරයට ඇතුල් විය. එවිට සක්දෙව් රජුට මේ සුප්‍රබුද්ධයන් පරීක්‍ෂා කිරීමට සිතී අහසෙහි සිටැ, සුප්‍රබුද්ධ ය, තෝ මිනිස් දිළින්දෙකි. පහත් පුද්ගලයෙකි. ඒ නිසා මම තට මුදලක් දෙන්නම්. තෝ මෙසේ කියව. මේ බුදුන් නොවේ. මේ ධර්මය නොවේ. මේ සංඝයා නොවේ. මට බුදුන්ගෙන් වැඩක් නැත. ධර්මයෙන් වැඩක් නැත. සංඝයාගෙන් වැඩක් නැත. යනාදී වශයෙන් කියවයි කීවේ ය.ඒ වචන ඇසුනා වූ සුප්‍රබුද්ධ වටපිට බලා “තෝ කවරෙක්දැ”යි ඇසී ය. “මම ශක්‍ර වෙමි”යි ශක්‍රයා පිළිතුරු දින. එවිට සුප්‍රබුද්ධ “මෝඩය, නුඹ මට එසේ කීමට කිසිසේත් ම සුදුසු නැත. මම දුප්පතෙක් නොවෙමි. බැගෑපත් කෙනෙක් ද නොවෙමි. මම මහත් ධනවතෙක්මි. මම සද්ධා දී ආර්‍ය ධනයෙන් යුත් ධනවතෙක්මි. ස්ත්‍රී, පුරුෂ කොයි කාට හෝ ආර්‍ය ධන තිබේ නම්, හේ දිළින්දෙකැ යි හඳුන්වන්නට නො පිළිවන් ය. ඔහුගේ ජීවිතය නොසිස් වූ පරිපූර්ණ ජීවිතයකි, යනුවෙන් බුද්ධා දී උතුමෝ ප්‍රකාශ කරති”යි සුප්‍රබුද්ධ කීවේය. ඉන්පසු සක්දෙව් රජතුමා බුදුරජාණන් වහන්සේ වෙත ගොස් ඔහු කී සියල්ල ම බුදුරජාණන් වහන්සේට කීවේ ය. එවිට බුදුරජාණන් වහන්සේ “සක් දෙවිඳුනි, ඔබ වැනි දහසක් දෙනකුටවත් සුප්‍රබුද්ධයන් ලවා බුදුන් නො බුදුන් ය. දහම නො දහම ය. සඟුන් නො සඟුන් ය කියා කියවන්නට නො පිළිවන් යැයි වදාළ සේක.

නොමියෙන මඟ

අප තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණයේ බොහෝ ලස්සනට ප්‍රමාදය කියන පදය විස්තර කොට තියෙනවා. ප්‍රමාදය කියන්නේ කුමක්ද? කයෙන් සිදුවන ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිථ්‍යාචාරය කියන අකුසල් තුනත්, වචනයෙන් සිදුවන බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන, කීම, හිස් වචන කීම කියන අකුසල් හතරත්, මනසින් සිදුවන විෂම ලෝභය, ව්‍යාපාදය, මිථ්‍යා දෘෂ්ටිය යන අකුසල් තුනත් කියන මේ දස අකුසල් සිදු කරනවා. ඇස, කන, නහය, දිව, කය මේ ඉන්ද්‍රියයන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශය කියන පංච කාම සම්පත් කෙරෙහි අකුසල් සිදුවන ආකාරයට සිත මුදා හරිනවා. සිහියෙන් තොරව සිත මුදා හරිනවා, කැමති විදිහට ඒවායේ සිත හැසිරෙනවා, නැවත නැවතත් ඒ විදිහේ අයහපත් විදිහට ජීවිතය පවත්වනවා.දන් දෙනකොට, සිල් රකින කොට, භාවනා කරනකොට, පින් දෙනකොට, පින් අනුමෝදන් වෙනකොට, ධර්ම ශ්‍රවණය කරන කොට, වැඩිහිටියන්ට උපකාර ගරු බුහුමන් දක්වන කොට, ගෙදරදොර වතාවත් කරනකොට , බුද්ධ වන්දනා ආදි වත්පිළිවෙත් කරනකොට අගෞරවයෙන් කරනවා, නොසැලකිලිමත් ව කරනවා, සකස් කරන්නේ නැති ව කරනවා, නැවත නැවතත් ඒ විදියෙහි අයහපත් විදිහට ජීවිතය පවත්වනවා, දන් දීම්, සිල් රැකීම්, භාවනාදී කුසල කර්ම, වත්පිළිවෙත් ආදී දේ නැවත නැවත නොකර අත්හරිනවා, පින්කමක් කරන්න ගියත් නිමාවක් දකින්නේ නැති ව මඟහරිනවා, පින්කම් කිරීමේ දී මඟින් නැඟිටලා යනවා. පින්කම සම්පූර්ණ කර ගන්නේ නැහැ, පසුබට වෙවී පින්කම් කරනවා, කුසල කැමැත්ත සිතින් අත් හරිනවා. “ඕවා වැඩක් නැහැ කියලා“, කුසල් කිරීමේ උත්සාහයත්, වීර්යයත් අත්හරිනවා, කුසල් කළත් එය නැවත නැවත සිහි නොකර අත් හරිනවා, කුසල් කිරීමේ සතුටු වන්නේ නැහැ, බහුල වශයෙන් නැවත නැවත එය භාවිත නොකර අත්හරිනවා. මෙය ප්‍රමාදයයි. නොසැලකිල්ලෙන් ආවාට ගියාට විසිකරන ආකාරයෙන් තරහෙන් පුපුරමින් සතකුට හෝ දෙන විට අපේ සිත දූෂණයට පත්වෙනවා. කුසලයක් කරන විට සතුටු සිතින් කිරීම ද, නුවණින් යුක්තව කිරීම ද, පසුබට නොවී තමන් ම මහත් කැපවීමෙන් කිරීම ද, කුසලය මහත් ඵල විපාක ලැබීමට හේතු වෙනවා.

 

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

 

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]