නිවස බෞද්ධ දර්ශනයඅර්ථවත් සන්නිවේදනයේ බෞද්ධ පදනම

අර්ථවත් සන්නිවේදනයේ බෞද්ධ පදනම

by Test User
September 18, 2026 1:30 am 0 comment

වර්තමානයේ මිනිසුන් අතර සිදුවන බොහෝ සංවාද, විවාද සහ සාකච්ඡා කෙළවර වන්නේ ආරවුල්, ක්‍රෝධය හෝ මානසික අසහනයෙනි. නිවැරැදි ලෙස කතාවක හෝ සාකච්ඡාවක හෝ යෙදෙන්නේ කෙසේද? කතාවට සුදුසු පුද්ගලයන් කවුද? යන්න පිළිබඳ අදින් වසර දෙදහස් පන්සියයකට පෙර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද අංගුත්තර නිකායේ තික නිපාතයට අයත් කථාවත්ථු සූත්‍රයෙන් අතිශය ප්‍රායෝගික හා කාලීන මාර්ගෝපදේශනයක් ලැබෙයි.

පුවත්පත්, විද්‍යුත් මාධ්‍ය, සමාජ මාධ්‍ය මෙන්ම එදිනෙදා ජීවිතයේ දී ද අර්ථවත් සංවාද සංස්කෘතියක් ගොඩනඟාගැනීමට කථාවත්ථු සූත්‍රයෙන් ලැබෙන උපදෙස් විශ්ලේෂණය කිරීම අද කාලයට ද ඉතා වැදගත් වේ.

බුදුරජාණන් වහන්සේ මෙම සූත්‍රයේ දී ප්‍රථමයෙන් ම පෙන්වා දෙන්නේ යම් පුද්ගලයකු සමඟ සාකච්ඡා කිරීමෙන් හෝ සංවාදයේ යෙදීමෙන් හෝ ඵලක් නැති ද, එබඳු පුද්ගලයන් හඳුනාගන්නා ආකාරයයි. යම් පුද්ගලයකු පහත සඳහන් දුර්වලතාවලින් යුක්ත වේ නම්, ඔහු සමඟ ගැඹුරු හෝ අර්ථවත හෝ සාකච්ඡාවක යෙදීම නිරර්ථක බව උන්වහන්සේ වදාළහ.

කෝපයට පත්වීම (කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති): සංවාදයක දී තමන්ට නොගැළපෙන අදහසක් ඉදිරිපත් වූ සැණින් යමෙක් කෝපයට, වෛරයට හෝ නොසන්සුන්බවට හෝ පත්ව කටයුතු කරයි නම්, ඔහු කතාවට නුසුදුසු ය.

දෝෂාරෝපණය කිරීම (අභිමද්දති): කරුණට, කරුණෙන් පිළිතුරු දෙනවා වෙනුවට, විරුද්ධවාදියාට තමන්ගේ නොසතුට, කෝපය, නුරුස්නා බව හෝ අකමැත්ත හෝ ප්‍රසිද්ධියේ පෙන්නුම් කරමින් ඔහුගේ කතාව යටපත් කරන්නට උත්සාහ කරයි නම්, ඔහු කතාවට නුසුදුසු ය.

මාතෘකාවෙන් පිටපැනීම (අඤ්ඤෙනඤ්ඤං පටිචරති, බහිද්ධා කථං අපනාමෙති ): අසන ලද ප්‍රශ්නයට ඍජු පිළිතුරක් දීමට නොහැකි වූ විට, වෙනත් අනවශ්‍ය මාතෘකා වෙත යොමු වෙමින් ප්‍රශ්නය මඟහරින්නේ නම්, ඔහු කතාවට නුසුදුසු ය.

බොරු කීම සහ මුරණ්ඩුකම (අනුපජග්ඝති): සත්‍ය පෙනි පෙනීත් තමන්ගේ වැරැදි මතය ම සාධාරණීකරණය කිරීමට උත්සාහ කිරීම සහ තර්කයෙන් පරාජය වන විට අපහාස හා නින්දා කරමින් මුරණ්ඩු ලෙස හැසිරෙන්නේ නම් ඔහු කතාවට නුසුදුසු ය.

මෙබඳු ලක්ෂණ ඇති පුද්ගලයකු සමඟ කෙරෙන සංවාදයකින් කිසිදු යහපත් ප්‍රතිඵලයක් අත්නොවන අතර, එය දෙපාර්ශ්වයේ ම මානසික අසහනයට හා කාලය නාස්ති වීමට හේතු වේ.

සාර්ථක සංවාදයක දී සාකච්ඡා මාර්ගයෙන් සත්‍ය සහ ප්‍රඥාව මතුවිය යුතු ය. කථාවත්ථු සූත්‍රයට අනුව කතාවට හෙවත් සංවාදයකට සුදුසු පුද්ගලයා තුළ පහත සඳහන් යහපත් ලක්ෂණ පිහිටා තිබිය යුතු ය.

ඉවසීම සහ ශාන්ත බව: අන් අයගේ අදහස් තමන්ගේ මතයට පටහැනි වුව ද, කෝප නොවී, ඉවසීමෙන් යුතු ව ඊට සවන්දීමේ හැකියාව.

කරුණට කරුණෙන් පිළිතුරු දීම: සංවාදයේ දී පුද්ගලයා දෙස නොව, ඉදිරිපත් කරන කරුණ දෙස බලා තර්කානුකූල ව සහ අර්ථවත් ව අදහස් දැක්වීම.

සත්‍යයට ගරු කිරීම:

තමන්ගේ මතය වැරැදි බව පැහැදිලි වූ විට, අහංකාරයෙන් තොර ව නිහතමානී ව සත්‍ය පිළිගැනීමට තරම් මානසික පරිණතභාවයක් තිබීම.

ප්‍රශ්නවලට ඍජු පිළිතුරු දීම: ප්‍රශ්නයක් ඇසූ විට මාතෘකාවෙන් පිටනොගොස් පැහැදිලි, සත්‍ය සහ අර්ථවත් පිළිතුරක් ලබාදීම.

කථාවත්ථු සූත්‍රය තවදුරටත් පැහැදිලි කරමින්, යම් සංවාදයක් සාර්ථක වීමට නම් කරුණු තුනක් පිළිබඳ ව සැලකිලිමත් විය යුතු බව පෙන්වා දෙයි.

අතීතය (අතීතං අද්ධානං): අතීතයේ සිදු වූ දේ පිළිබඳ නිවැරැදි තොරතුරු මත පදනම් ව කතා කිරීම.

අනාගතය (අනාගතං අද්ධානං): අනාගතයට වැඩදායක සහ අර්ථවත් වන ආකාරයට අදහස් දැක්වීම.

පච්චුප්පන්නය (පච්චුප්පන්නං අද්ධානං): වර්තමාන මොහොතේ පවතින යථාර්ථයට අනුකූල ව සංවාදය මෙහෙයවීම.

මෙම කාල ත්‍රිත්වයට ම අදාළව අර්ථවත්, සත්‍ය සහ වැඩදායක කරුණු පමණක් කතා කිරීම සත්‍ය ගවේෂකයකුගේ ලක්ෂණයයි.

කථාවත්ථු සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ අවධාරණය කරන්නේ සාකච්ඡාවක හෝ සංවාදයක හෝ නිරත වන විට පාර්ශ්ව දෙක අතර පැවතිය යුතු සන්නිවේදන ශික්ෂණයයි. මෙම සූත්‍රයේ එන කරුණු තුළින් සාකච්ඡාවක තිබිය යුතු පරමාර්ථය හෙවත් සන්නිවේදනයේ අරමුණු වඩාත් පැහැදිලි ලෙස කියවා ගත හැකි ය. බොහෝ දෙනා සංවාදයකට එළැඹෙන්නේ තමන්ගේ මතය නිවැරැදි බව ඔප්පු කර, අන් අය පරාජය කිරීමේ අරමුණිනි. නමුත් බෞද්ධ පදනම වන්නේ සංවාදයක් යනු දෙදෙනා ම එක්ව සත්‍ය හා ප්‍රඥාව අවබෝධ කර ගැනීමට ගන්නා උත්සාහයක් බවයි. කතාවෙන් යම් වැඩක්, යහපතක් හෝ නිවන් මඟට උපකාරයක් හෝ විය යුතු ය. නිරර්ථක කතා (සම්ඵප්පලාප) බුදුදහමේ අගය නොකෙරේ. නූතනයේ ජනප්‍රිය බණ රැල්ලක් නිර්මාණය වී තිබුණ ද, මෙම ඇතැම් ධර්ම දේශනාවක ධර්ම කාරණා සාකච්ඡා වනු දකින්නට නැත. බොහෝ බණ දේශනාවල, පැමිණෙන පිරිස කුල්මත් කිරීම සඳහා සිදුකරන එදිනෙදා සමාජයේ සිදුවීම් පිළිබඳ විස්තර විචාර ද, ඕපාදූප සහ හාස්‍යජනක කතා කියමින්, විවිධ හඬ විලාසිතා අනුගමනය කරමින් කතා කිරීම ද, සාමාන්‍ය ජනයා හොඳීන් දන්නා හොඳ නරක පිළිබඳ අනවශ්‍ය ලෙස උලුප්පා දක්වා කතා කිරීම ද සිදු කරයි. මේවා ද ධර්මය ලෙසින් කරන සම්ඵප්පලාප ලෙස හඳුනාගත හැකි ය.

මෙම සම්ඵප්පලාප අද විචිත්‍ර කාලීන ධර්ම දේශනා ලෙස පද අරත් ගැන්වීම හාස්‍යජනක ය. කනගාටුවට කරුණ නම් අද බහුතරයක් දකින්නට, අහන්නට ඇත්තේ මේවා මිස මුනි බණ නොවීම ය.

සංවාදයක දී අදහස් වෙනස් විය හැයි ය. නමුත් අදහසට පිළිතුරු නොදී, පුද්ගලයාගේ පෞද්ගලික ජීවිතයට, කුලයට, රූපයට හෝ පෙනුමට හෝ අපහාස කිරීම කතාවට නුසුදුසු පුද්ගලයාගේ ලක්ෂණයකි. කතාවට සුදුසු පුද්ගලයා අන් අයගේ මතයට ගරු කරයි. තමන්ගේ මතය වැරැදි බව පැහැදිලි තර්ක හමුවේ තහවුරු වූ විට, එය අහංකාරකමින් තොර ව පිළිගැනීමට තරම් මානසික සුවපහසුවක් ඔහු තුළ පවතී.

අද වන විට රූපවාහිනී දේශපාලන සංවාද, පුවත්පත් සාකච්ඡා මෙන් ම ෆේස්බුක්, යූටියුබ් වැනි සමාජ මාධ්‍ය ජාලවල සිදුවන සංවාද දෙස බලන විට, කථාවත්ථු සූත්‍රයේ එන කතාවට නුසුදුසු ලක්ෂණ බොහෝ සෙයින් දැක ගත හැකි ය. කරුණු දක්වනු වෙනුවට පුද්ගලයන්ට පහරදීම, මාතෘකා මඟහැරීම සහ කෝපයෙන් කෑගැසීම අද සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත.

මෙබඳු වාතාවරණයක කථාවත්ථු සූත්‍රය අපට මතක් කර දෙන්නේ සන්නිවේදනයේ පරමාර්ථය අන් අය පරාජය කිරීම හෝ තමන්ගේ මතය බලහත්කාරයෙන් පැටවීම නොව, සත්‍ය සොයා යෑම සහ ප්‍රඥාව වර්ධනය කර ගැනීම බවයි.

ගෙදර දොරේ දී, රැකියා ස්ථානයේ දී මෙන්ම ජාතික මට්ටමේ සංවාදවල දී ද කථාවත්ථු සූත්‍රයේ සඳහන් බෞද්ධ සන්නිවේදන පිළිවෙත අනුගමනය කරන්නේ නම්, සමාජයේ පවතින බොහෝ ගැටුම් සහ මතභේද අවම කර ගනිමින් සමඟි සම්පන්න හා බුද්ධිමත් සමාජයක් නිර්මාණය කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

සද්ධර්මකීර්ති ශ්‍රී ශාසනමාමක ශාසනතිලක එම්.ඒ. විශ්ව වංශනාත

You may also like

Leave a Comment