අද අපේ මාතෘකාව කොයි කාලයටත් වැදගත් වෙන ලෙඩ රෝගවලට හේතු සහ ලෙඩ රෝග වළක්වා ගැනීමට “සතිය” අපිට කොයි තරම් වැදගත් වෙනවා ද යන්න කතා කිරීම යි. අපි මෙතෙක් කරගෙන ආ වැඩ පිළිවෙතට සමගාමී ව කතා කළ හැකි මාතෘකාවක්.
ජීවිතයේ ගුණාත්මක භාවය ගැන කතා කරන විට ගුණාත්මය අඩුවීමට ලෙඩ රෝග ඉදිරියෙන් ම ඇති හේතුවක්. “ආරෝග්‍ය පරමා ලාභා” කියලා කියන්නේ නීරෝගීකම ඉහළම ලාබයක් වෙන නිසයි. මොකද ලෙඩ රෝග හරි හම්බ කරන ධනය නාස්ති කරනවා විතරක් නොවෙයි, එදිනෙදා සතුට නැති කරන, වේදනාකාරී, ජීවිතය බොහෝ මානසික පීඩනවලට හේතු සම්පාදනය කරන නිසා.
ලෙඩ රෝගවලට හේතුව මොකක්ද කියලා අහන පමාවට මේ ඇත්තන් දෙන උත්තරය විෂබීජ වෙන්න පුළුවන්. තවත් ඇතැම් කෙනෙක් කියන්න පුළුවන් පෝෂණ ඌනතා නැත්නම් විවේකය මදිකම ආදී වශයෙන් විවිධ උත්තර තියෙන්න පුළුවන්. අපේ මාතෘකාව දෙස බැලුවොත් ඒ හේතුව නම් මේ අය කිසි විටෙක හිතන්නේ නැති හේතුවක්. නමුත් මානසික වෛද්‍යවරුන් වගේම බොහෝ විද්වතුන් මෙය සත්‍යයක් බව පිළිගන්නවා. ඉන්පසු අපි මුහුණ දෙන ප්‍රශ්නය වෙන්නේ මේක නම් බොහෝ ලෙඩවලට හේතුව අපි ඒකට කළ යුතු ප්‍රතිකර්මය මොකක් ද කියන කාරණය යි. අද අපි විශේෂයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ කරුණු කාරනා සතිය වැඩීම එක්ක ඇති සම්බන්ධතාව යි.
තරහක්, ක්‍රෝධයක් හිතේ ඇතිවෙන විට ඒ බව පෙන්වන ශරීර ලක්ෂණ පහළ වෙන බව මේ ඇත්තන් අත්විඳ ඇති. කන් දෙක රත් වෙනවා. හෘද ස්පන්දනය වැඩි වෙනවා. මුහුණ කළු වෙනවා. ඇතැම් වෙලාවට ඇස් ලොකු වෙනවා. මේ වගේ කයේ විපර්යාස වෙනවා. නිතර ක්‍රෝධයෙන් ඉන්න කෙනකුට මේ විපර්යාස නො දැනෙන තරමට ඒක පුරුද්දක් බවට පත්ව තිබෙන්න පුළුවන්. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ එයාට ක්‍රෝධය නිසා මේ ලක්ෂණ පහළ නො වෙනවා කියලා. එයා නිතර ම ඒ ලක්ෂණ එක්ක ඉන්නවා වෙන්න පුළුවන්.
අපි වැඩක් කර ගෙන යන කොට නුරුස්නා බවක් හෝ ඒ වැඩේට හෝ වැඩේට සම්බන්ධ අය එක්ක හෝ අකමැත්තක් ඇති වෙන්න පුළුවන්. මේ නුරුස්නා ගතිය තවත් වැඩි වෙලා පටිඝයක්, ක්‍රෝධයක් බවට පත් වුවහොත් මේ වගේ හිතක් ඇතිවූ වෙලාවේ දී විනිශ්චය කරන්න, තීරණ ගන්න හොඳ නෑ කියලා තමන් තේරුම් ගන්න ඕනෑ.
ක්‍රෝධයට පත් පුද්ගලයා, ක්‍රෝධයෙන් සිටිමින් අනෙක් වැඩ කරන්න යන නිසා ඒ කෙනාට එන මේ කරදර තමා මානසික, කායික රෝග කියලා අවසානයේ මතු වෙන්නේ. ඒ නිසා ක්‍රෝධයක් හට ගත් කෙනාට ඒ වෙලාවේ දී ම මේ තිබෙන තත්ත්වය හරියට තේරුම් ගන්න පුළුවන් කමක් තියෙනවා නම්, ඔහු හොඳ රථාචාර්යයෙක් වගේම හොඳ නායකත්වයටත් සුදුසු යි. ඔහු යම් පද්ධතියක තියෙන ප්‍රමුඛතා තේරුම් ගැනීමට සුදුසු යි. එයා තමන්ට දීපු වගකීම දැරීමේ ශක්තිය ඇති කෙනෙක් බවට පත් වෙනවා. ඒ අනුව පවුලක්, නැත්නම් කාර්යාලයක්, එහෙම නැත්නම් පන්ති කාමරයක් ගත්තොත් මෙහෙය වන කෙනා මේ වගේ හොඳ නියමුවෙක් නොවුණොත් ඔහුගෙන් ලැබෙන ආදර්ශය එතරම් හොඳ නෑ වගේම, හානියත් වැඩියි. ඒකට හේතුව අකරතැබ්බවල දී කලබල වෙන එක. ඒක නතර කරන්න නම් ඔය කරදරයට පෙර ”සතිය” පිහිටවලා තියෙන්න ඕනෑ.
මෙවැනි වෙලාවක තමන්ගේ සෞඛ්‍යයට මේ ක්‍රෝධය ඉතාමත් අහිතකර ලෙස බලපානවා. විද්වතුන් පෙන්වා දී ඇති ආකාරයට සාමාන්‍යයෙන් ක්‍රෝධය ඇති විට “සටන් කිරීම හෝ පලා යාම” කියන ප්‍රතිචාර දෙක ඉදිරිපත් වෙනවා. ඒ දෙකට ම අදාළ වෙන ආතතිය හේතුවෙන් ඇතිවෙන රසායනික ද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් ඇඩ්‍රිනලින් (එපිනෙප්‍රින්), නොරැඩ්‍රිනලින් (නොරපිනෙප්‍රින්) සහ කෝටිසෝල් මුදා හැරීම සිදු වෙන නිසා හෘද ස්පන්දන වේගය වැඩි වීම, රුධිර පීඩනය වැඩි වීම, අවධානය තියුණු කිරීම සහ කායික ශක්තිය වැඩි වීම සිදුවෙන බව නූතන ස්නායු විද්‍යාව පිළිබඳ විශේෂඥයන් පෙන්වා දෙනවා. නිදන් ගත කෝපය ඇති විට අධි රුධිර පීඩනය, හෘදවාහිනිවලට හානි කිරීම, ප්‍රතිශක්තිය දුර්වල වීම සහ අධික රුධිර සීනි ඇති කිරීමට අමතරව මානසික සුවය සම්පූර්ණයෙන් නැති කරනවා.
පැරැණි හෙළ වෙදකමට අනුව මනස කලබල වෙලාවට “වා, පිත්, සෙම” කියන තුන් දොස් කිපෙන නිසා රත් වීම, හද ගැස්ම වැඩි වීම, හිස රුදාව ඇති වීම, ආහාර දිරවීම දුර්වල වීම නිසා ඇතිවෙන කායික රෝග වගේම ඇදුම වැනි ස්වසන රෝග සහ දද, කුෂ්ට වැනි හමේ රෝග ඇති වෙන බව කියනවා. මේවායේ සමබර බව බිඳෙන වෙලාවට බොහොම වේදනාකාරී යි. අපි සාමාන්‍යයෙන් කියන “වා පිත් සෙම්” කියන තුන් දොස් කිපීමත්, ක්‍රෝධය හා සම්බන්ධ වෙලා වැඩ කරන බව හොඳීන් සතිමත් ව බලා ගෙන ඉන්න කෙනාට වැටහෙනවා. මේ විදිහට නිතර ක්‍රෝධ ගති ලක්ෂණ ඇති කෙනාට බොහෝ ලෙඩ රෝග ඇති කරන බව අපට තේරෙනවා.
තවත් කරුණක් තමයි ක්‍රෝධය නිසා මේ විදිහට වා, පිත්, සෙම් කිපුණු වෙලාවේ දී ඔහු මේ වේගය පාලනය කර ගන්නේ නැතුව ඒ වෙනුවට වේදනා නාශක පාවිච්චි කර කාර්යක්ෂමතාව වැඩි කර ගන්න උත්සාහ කිරීම. මේ නිසා කාර්යක්ෂමතාව වැඩි වෙන්නත් පුළුවන්. නැති වෙන්නත් පුළුවන්. අසතිමත්, එහෙම නැත්නම් ප්‍රමාදී නම් ඒ වෙලාවට තමන්ගේ සුබසාධනය, අර්ථචර්යාව කියන එක අමතක කරන්න බොහෝ අය පෙළඹෙනවා. මේවා අද කාලයේ ලෝක නායකයන්ගෙන්, පවුල්වල ගෘහ මූලිකයන්ගෙන්, කාර්යාලවල ප්‍රධානීන්ගෙන්, පන්ති නායකයන්ගෙන් දකින්න ලැබෙනවා. ඉතින් මේ කරුණු දෙස බලන විට පැහැදිලි කරුණක් තමා කෝපය නැත්නම් ක්‍රෝධය බොහෝ විට ඍජු ව හෝ වක්‍රාකාර ව හෝ කායික සහ මානසික ලෙඩ ඇති කරන බව.
සතිමත් කෙනා අප්‍රමාදී ව හැකි හැම වෙලාවේ ම අවධියෙන් ඉන්න නිසා තමන් ගැන අවබෝධයක් ඔහුට ලැබෙනවා. මේ අවබෝධය බොහෝ විට උපකාර වෙනවා තමන් ගේ හැඟීම් අවබෝධ කර ගැනීමට වගේම අනිත් අය හඳුනා ගැනීමටත්. ඒනිසා තව කෙනෙක් හෝ දෙයක් හෝ නිසා තමන්ට ඇතිවෙන තරහ, අමනාපය හඳුනා ගන්නත් මේ අයට පහසු වෙනවා. ඒ වගේම අනිත් අය හඳුනා ගැනීමේ දක්ෂතාව ඇති වෙන නිසා යම් යම් කාරණා ගැන තවත් කෙනකුගේ කෝනයෙන් බැලීමට පුරුදු වෙනවා. ඒ නිසා ඒ අය එක්ක ඇති වෙන අමනාප වර්ධනය වී ක්‍රෝධයක් බවට පත් වෙන තෙක්, නැත්නම් ඔඩු දුවන තෙක් දිගට තබා ගැනීමට පෙළඹෙන ගතියත් අඩු වෙනවා. මේ නිසා සතිය පුරුදු කරන කෙනාට නිරායාසයෙන් ලැබෙන මේ දක්ෂතා නිසා ක්‍රෝධය ජීවිතයේ කොටසක් නොවී ජීවත්වීමට උපකාර කරනවා. ඒ උපකාරය අනියම් ආකාරයෙන් නිරෝගී භාවයට හේතු සාදා දෙනවා.
තවත් කරුණක් ලෙස මනස කලබල වී ඇත්නම් සහ කලබල වී ඇති බව දන්නවා නම් කිසිම විනිශ්චයකට ඒමෙන් වැළකීම හොඳ ක්‍රියාවක් වෙනවා. කලබල මනසෙන් ගන්න විනිශ්චය බොහෝ විට දීර්ඝ කාලීන ව හොඳ ප්‍රතිඵල නො දෙන අතර, ඒ වෙනුවට එවැනි අවස්ථාවක දී සතිමත් බව තහවුරු කර ගැනීමට උත්සාහ කිරීමෙන් දීර්ඝ කාලීන ව වැදගත් වගේම, තිරසාර තීරණ පසුව ගත හැකි වෙනවා. මේ සඳහා පුංචි පුංචි කරදර වල දී ක්‍රෝධය පාලනය කිරීම ගැන අත්දැකීම් තිබීම අවශ්‍ය යි. ඒ අත්දැකීම් පසුව බාධා වැඩි වෙලාවටත් කල්‍යාණ මිත්‍රයෙක් ලෙස උපකාරී වෙනවා.
මේ ආකාරයට කල් ඇතිව සූදානම් වී සිටියොත් ක්‍රෝධයේ එක මට්ටමක් ජය ගන්න පුළුවන්. නමුත් ටිකක් ගැඹුරින් සොයා බලන විට තේරෙනවා ඒ වෙලාවේ ඇතිවෙන ක්‍රෝධය මැඬලුවත් ඒ ඇතිවෙන කළු පැල්ලම තමන්ගේ හිතේ රැඳී තිබෙන බව. සතිමත් වෙන විට ඒ සඳහා තව තවත් අවිරුද්ධ ප්‍රතිපදාවේ ම යෙදෙන්න ඕන බව පැහැදිලි වෙනවා.
ඉතින් අද ලිපියෙන් අපි කියන්න උත්සාහ කළේ ක්‍රෝධය සහිත නුරුස්නා ගති ඇති විට තීරණ නො ගෙන සිටීම ක්‍රෝධය ඉවත් කිරීමට එක උපමානයක් බවත්, දෙවැනි උපමානය ලෙස මේ ආකාරයට වැඩ කරන කල්‍යාණ මිත්‍රයන්, සත්පුරුෂයන් දකින්න, ඇසුරු කරන්න හැකිවීම දක්වන්න පුළුවන්. ඒ අය කලබල වෙලාවට ඉබ්බා කටුව ඇතුළට යනවා වගේ හිත් කරදර නො ගෙන ඉන්න ස්වභාවය දැක ඒ විදිහට පුරුදු වෙන්න හැකි වෙනවා.
මේවා කර බලා සාර්ථක හෝ අසාර්ථක හෝ යැයි ඔබ සිතන අත්දැකීම් දැනුම් දෙන්න. මේ විදිහට ක්‍රෝධය ලෙඩ හැදෙන පමණට වැඩෙන්න නොදී අවිරුද්ධ ප්‍රතිපදාවේ පිහිටන කෙනාට ජීවිතය සාර්ථක වෙනවා.