නිවස දහම් අසපුවමිත්‍ර ධර්මය රකින යහපත් වචන

මිත්‍ර ධර්මය රකින යහපත් වචන

by Test User
September 18, 2026 1:30 am 0 comment

අපගේ ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ එක් ආත්මයක දඹදිව සිටුකුලයක සිටු පුත්‍රයෙක් වෙලා ඉපදුණා. මේ කාලයේ දඹදිව අගනුවර වුණේ බරණැස් නුවර. රට පාලනය කළේ බ්‍රහ්මදත්ත නම් රාජ පරපුරේ රජ කෙනෙක්.

බෝසත් සිටුකුමාරයා ටිකෙන් ටික මහත් සැප සම්පත් විඳිමින් තරුණ වයසට පත් වුණා. පිය සිටුතුමා කුමාරයාගේ බුද්ධිය, කඩිසර බව, යහපත් ගුණ ධර්මවල පිහිටීම ගැන දැකලා පැහැදුණා. ඊට පස්සේ සිටු තනතුරේ කටයුතු කර ගෙන යන්නට බාර කළා. මෙහෙම කටයුතු කරන කොට හොඳ යහළුවෝ වගේ ම නරක යහළුවෝත් ඇසුරු කරන්නට ලැබෙනවානේ. ඉතින් ඒ විදිහට වෙළෙඳාම් කටයුතුවල දී ඇසුරු කරන්නට ලැබුණු තවත් සිටුවරු තුන් දෙනෙක් එක්ක දවසක් ගියා ව්‍යාපාර කටයුතු සමූහයක් හොයා බලන්න ඈත නගරයකට.

ඒ ගමනේ මාර්ගය යෙදී තිබුණේ විශාල කැලෑවක් මැදින්. ඒ කාලේ විදිහට තිබුණු ඉතා ම සැප පහසු වාහනවලින් තමයි මේ හතර දෙනා ම පිටත් වුණේ. කැලෑව මැදින් යන කොට මේ අයට හරිම තෙහෙට්ටුවක් දැනුණා. ඒ වගේ ම පරිසරයේ සුන්දරත්වයටත් කැමැති වෙලා අර මහා වනයේ මාර්ගය අසල වාහන නතර කර ගෙන ආගිය කටයුතු හා ඉදිරි කටයුතු ගැන කතා කරමින් ටික වේලාවක් ගත කරන්න වුණා.

මේ මහා කැලෑවට නිතර එනවා මුව දඩයමේ යන වැද්දෙක්. සතුන් දඩයම් කර ගෙන, ඒ මස් විකුණලා ලැබෙන ආදායමකින් තමයි මේ වැද්දා තමන්ගේ අඹුදරුවන් පෝෂණය කරන්නේ. එදා මුව මස් ලැබුණා ඇති වෙන්න. ඒවා කරත්තයක දාගෙන අර කැලෑබද පාරෙන් ම නගරයට අරගෙන යමින් හිටියා. සිටුකුමාරවරු හතර දෙනා පහු කර ගෙන කරත්තය යන්න ගියා. ටික වේලාවක් යන කොට එක සිටුකුමාරයෙක් දැන ගත්තා මේ නම් ගෙනියන්නේ දඩමස් කියලා. දඩමස්වලට බොහොම කැමැත්තක් තිබුණ මේ සිටුකුමාරයා යහළුවන්ට එතැනම ටිකක් ඉන්න කියලා දුවගෙන දුවගෙන ගිහින් අඩගහලා කරත්තය නතර කර ගත්තා. ළඟට ම ගිහින් වැදි තරුණයාට කතා කළා. ඒ කතා කළේ තමන් සිටු තනතුරක ඉන්න බවත්, තමන්ට සේවකයන් සියගණනක් ඉන්න බවත්, තමන්ට ධනයෙන් හා බලයෙන් අඩුවත් නැති බවත්, හිතේ තියාගෙන යි.

‘ඒයි බොල, මස්මරන්නා, ඔය කරත්තේ ගෙනියන්නේ දඩමස් නොව. මටත් ටිකක් දීලා යනවා යන තැනකට. මම නුවර සිටුවරයා. දන්නවනේ මගේ නම. ඉතින් ඉක්මන් කරලා දෙනවා‘යි සැරපරුෂව තමන්ගේ ධනය හා බලය පෙන්වමින් අර වැද්දා අපහසුතාවට පත් කරලා කතා කරලා මස් ඉල්ලුවා. වැද්දා සතුන් දඩයම් කළත්, ඉවසීම පුරුදු කරපු කෙනෙක්. ඒ වගේම ආදරයෙන් අඹුදරුවන් පෝෂණය කරන කෙනෙක්. ඒ නිසා කිසිවක් ම කියන්න ගියේ නෑ. හැබැයි මෙහෙම තීරණය කර ගත්තා. ‘මේ මනුෂ්‍යා ඔහුගේ ධනයෙන්, බලයෙන් උඩඟු වෙලා අනෙක් හැමෝම පීඩාවට පත් කරන්නමයි කතා කරන්නේ. මේ වගේ සැඩපරුෂ වචන කතා කරන අයට දෙන්න ඕන සතුන්ගේ බඩබොකුත්, මූත්‍රා බොකුත් තමයි. වැඩකට නැති මිනිසුන්ට, වැඩකට නැති මස් ටික දීලා දානවා‘යි මළ මූත්‍රා තැවරුණු මස් කැබැලි ඔතලා දුන්නා. ඒවත් අරගෙන ගිහින් යාළුවන්ට කිව්වා. ‘අර වැද්දා මස් අරගෙන යන්නේ. මම නම් මස් ටිකක් අරගත්තා‘යි කියලා. එතැන හිටිය තවත් සිටුකුමාරයෙක් අහනවා ‘ඔබතුමා, කොහොමද එයාට කතා කළේ. කොහොමද මස් ඉල්ලුවේ“ කියලා. එතකොට එයා කතා කරපු විදිහ කිව්වා.

ඒක අහගෙන හිටිය ඒ සිටුකුමාරයා එතැනට ගිහින් ‘මල්ලී, මොනවද මේ තියෙන්නේ මුව මස් ද? මටත් ටිකක් දාලා දෙන්න‘යි කියලා වැඩිහිටි බව මත පදනම් වෙලා ආදර වචනයෙන් කතා කළා. වැද්දාගේ හිතේ තරහක් ඉපදුණේ නෑ. ‘පහත් තැනකට දාලාත් කතා කළේ නෑ. වයස මත පදනම් වෙලා මට කතා කළා. නංගී, මල්ලී, අක්කේ, අයියේ, මාමේ, නැන්දේ කියලා කෙනෙක් තවත් කෙනකුට ආමන්ත්‍රණය කරනවා නම්, ඒ ඇමතීම උසස් එකක්. මේ සිටුකුමාරයා හොඳට තමන්ගේ සේවක පිරිස බලා ගන්නවා ඇති, ගුණ යහපත්කම් තියෙන කෙනෙක් වෙන්න ඕනෑ‘ කියන අදහසින් හොඳ මස් කොටසක් ඔතලා දුන්නා.

මේ තරුණයා යහළුවෝ ඉන්න තැනට යන කොට ඒ අය ව්‍යාපාර කටයුතු ගැන ලහිලහියේ කතාවට වැටිලා. ඉතින් ගිහින් කිව්වා ‘මමත් මස් ටිකක් ගත්තා“ කියලා. ඒක අහගෙන හිටිය තුන්වැනි සිටුකුමාරයා අහනවා ‘ඔබතුමා කොහොමද ඒ වැදි පුරුෂයාට කතා කළේ? මටත් මස් ටිකක් ගන්න ඕනෑ‘කියලා. ඊට පස්සේ අවසානයට ගිහින් ආපු සිටුකුමාරයා තමන් කතා කරපු විදිහ කිව්වා. ඒක අහගෙන හිටිය මේ තරුණයා වැද්දා ළඟට ගියහම දැක්කා තමන්ට වඩා වැඩිමහලු කෙනෙක් බව. ඒ නිසා ආදරයෙන් ‘පියාණෙනි, මේ මස්වලින් මටත් මස් ටිකක් දාලා දෙන්න“යි කිව්වා. ඒ වචන අහගෙන හිටිය වැද්දාගේ හිතේ මහත් ආදරයක් ඇති වෙලා ‘යමෙක් පියාණෙනි, මෑණියෙනි කියා අමතනවා නම්, ඔහු ඉතා ම උතුම් ගුණයහපත් අයෙක් ම තමයි. එවැනි ආමන්ත්‍රණයක් ලබන කෙනෙක් තමන් සතු හොඳම දෙය දෙනවා. හොඳම මස් කොටසක් මේ සිටුතුමාට දෙන්න ඕනෑ“යි කල්පනා කරලා මස් දුන්නා.

හතරවැනි තරුණයාත් මස් ගෙනාපු තරුණයාගෙන් ඇහුවා කොහොමද වැද්දාගෙන් මස් ඉල්ලුවේ කියලා. එයා කියපු විදිහ කිව්වා. මේ විදිහට අවසානයට ම තොරතුරු ඇහුවේ අපගේ බෝසතාණන් වහන්සේ ඉතින් ඒ බෝසත් සිටුතුමාත් වැද්දා ළඟට ගිහින් ‘යාළුවේ, යාළුවේ, මට මස් කොටසක් දාලා දෙන්න‘යි ඉල්ලා සිටියා. වැද්දා කල්පනා කරනවා අනෙක් හැමෝම කියපු වචන නම් ලෝකයේ සීමිතයි. ඒ වගේම ඒ අයත් අයිති වෙන්නේ යහළුකමට තමයි. යහළුවෙක් නැති ජීවිතය හරියට මිනිසුන් නැති ගමක් වගේ. මේ සිටුවරයා ළඟ ඉන්න අය ඉතා ම සතුටින් ඉන්නවා ඇති. සමානාත්මතාවෙන් කටයුතු කරනවා ඇති. එහෙම අය ලෝකයේ ඉතා ම දුර්ලභයි. මිත්‍ර ධර්මයෙන් කටයුතු කිරීම තරම් වටිනා තවත් දෙයක් ඇත්තේ නෑ. මේ සිටුතුමාට ඇති පමණ මස් දෙන්න ඕනැ‘යි හිතලා

‘සිටුතුමනි, දැන් මගෙන් සිටුකුමාරවරු තුන් දෙනෙක් ම මස් ගත්තා. ඒ අයගේ ආමන්ත්‍රණවලින් ඒ ඒ අයගේ ගුණත් ප්‍රකට වුණා. නමුත් ඔබතුමාගේ ආමන්ත්‍රණය විශ්වීයයි. ලෝකය ම සතුටට පත් කරන්නක්. ඒ ගුණය වෙනුවෙන් මගේ මේ දඩමස් කරත්තය ම ඔබතුමාගේ හා ඔබතුමාගේ සේවකයන්ගේ, ඥාතීන්ගේ භෝජනය සදහා පරිත්‍යාග කරනවා‘යි කියා පරිත්‍යාග කළා. සිටුමාලිගයට ම ගෙනිහින් බාර දුන්නා.

බෝසත් සිටුතුමා බොහෝම පැහැදීමට පත් වෙලා. ඒ වැදි පුරුෂයාත්, ඔහුගේ අඹුදරුවනුත් නුවරට ගෙන්නාගෙන තමන්ගේ සිටුමාලිගය ළඟ ම මාලිගාවක් වගේ නිවෙසක් හදා දීලා, සිටුමාලිගාවේ ම තනතුරක් දීලා ආදරයෙන් රැක බලා ගනිමින් මිත්‍ර ධර්මයෙන් කටයුතු කොට කාලයාගේ ඇවෑමෙන් කළුරිය කරලා දෙව්ලොව උපත ලැබුවා‘යි රසවත් කතා පුවතක් ජාතක පොතේ තුන්සිය දොළොස්වන ‘මාංස ජාතකයේ‘ සඳහන් වෙනවා. ඒ නිසා අම්මා, තාත්තා, අයියා, අක්කා, නංගී, මල්ලී, මාමා, නැන්දා, පාසල් මිතුරන්, රැකියා ස්ථානයේ මිතුරන් ආදී හැම කෙනෙක් ම ඇසුරු කරන කොට මිත්‍ර ධර්මය පෙරටුවෙන් තබන්න. විශ්වාසය, සත්‍යවාදී බව, ප්‍රියවචනය පුරුදු කරන්න. එය ඔබගේ ජීවිතය වෙනස් කරන දෙයක් බවට පත් වෙනවා. මෙලොවත්, පරලොවත් සතුටින් දිවි ගෙවන්නට හේතු වෙනවා.

You may also like

Leave a Comment