නිවස බෞද්ධ දර්ශනයසිතිවිලි ක්‍රියා කරන හැටි මනසින් දකින්න

සිතිවිලි ක්‍රියා කරන හැටි මනසින් දකින්න

by Test User
September 18, 2026 1:30 am 0 comment

සාමාන්‍යයෙන් කෙනකු හෙලා දැකීම ඇති වන්නේ ම සෙයියමානය (සෙය්‍යමානය) කියන තැන දී ය. අනුන් සමඟ සංසන්දනය කර, අනෙක් කෙනාට වඩා තමන් උසස් කෙනෙක් යැයි හැඟෙන විට අනුන් හෙලාදැකීමට සිතේ.

සෙය්‍යමානයේ පැතිකඩ දෙකකි.යථාවමාන සහ අයථාවමානයි. යථාවමාන යනු සැබෑ තත්ත්වය පදනම් කර ගෙන ඇතිවන මාන්නයයි. මහා අධිරාජ්‍යයෙක් නම් ඒ ආකාරයට මාන්නයක් ඔළුවට ගත්තාට වරදක් නැත. හේතුව ඔහුට මාන්නයට පත් වීමට දෙයක් තිබීම නිසයි. නමුත් අයථාවමාන කියන්නේ මාන්නයට පත් වීමට තරම් දෙයක් ඇත්තෙත් නැහැ. ඒ වුණාට පුහු දේවලින් ඔළුව උදුම්මා ගෙන සිටීමයි.

ජනවහරේ මෙයට කියන්නේ කටුස්සගේ කරේ රත්තරං බඳීනවා වගේ කියලයි. සමහර මිනිසුන් සුළු දේත් එක්ක මහා ලොකු මානසිකත්වයක් ඔළුව ඇතුළෙ හදාගෙන ජීවත් වෙනවා. මේ ආකාරයට අධිමාන්නයට පත් වනවිට අනුන් හෙලාදකින එක සාමාන්‍ය ස්වභාවයක්.

මානාධිමාන කියන්නේ ඉස්සර මම මෙහෙම වුණාට දැන් මම එහෙම නෙවෙයි කියා සිතීමයි. එය කාලයත් සමඟ තමන්ගේ දියුණුවත්, තමන්ගේ ගමනත් එක්ක ඉදිරියට යනවිට ඇති වන මාන්නයක්. ඒ වගේ කෙලෙස් නිසා හොඳ ආකල්ප අපෙන් ගිලිහී යනවා.

වර්තමානයේ බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය භාවිතයට පෙළඹී සිටිනවා. එයින් මිනිසුන්ගේ ආකල්ප කොතැනද තියෙන්නේ කියා මැන බැලිය හැකි යි.

සාමාන්‍යයෙන් මුහුණට කියන්න බැරි දෙයක් පවා කමෙන්ට් එකකින් සමාජ මාධ්‍යයට මුදා හරිනවා. එයින් මිනිසුන් හඳුනාගැනීම හරි පහසුයි. සමහර මිනිසුන් නිතර ම අනුන් හෙලාදකිමින් කතා කරනවා. දියුණු වී සිටින මනුෂ්‍යයෙක් දුටුවොත්, යමක් කමක් තිබෙන මනුෂ්‍යයෙක් දුටුවොත් ඒ කෙනාගේ දුර්වල තැනක් දුටු විගස එතැන දීම ඔහු පහතට ඇද දමනවා.

කමෙන්ට්වලට මහා දර්ශන ලියන සමහරුන්ගේ ජීවිත ඇතුළෙ ඒ දර්ශන නැහැ. ඒ සියල්ල ලියන්නේ අනුන් පහතට ඇද දමන්නටයි. කමෙන්ට් එකකින් හරි මනුෂ්‍යයෙක් වට්ටන්න බලනවා. සමාජ මාධ්‍ය භාවිතයේ දී කොයි මොහොතකවත් අනුන් විවේචනය කරන්න එපා. හෙලාදකින්න එපා. එයින් අදහස් කළේ අදහස් ප්‍රකාශ කරන්න එපා කියන එක නොවෙයි. විවාදය සහ සංවාදය ලෙස වචන දෙකක් භාවිතයේ පවතිනවා.

විවාදය කියන්නේ එකක්. විවාදයේ දී සෑම වේලාවක ම කරන්නේ ‘මම හරි’ කියලා ඔප්පු කර අනිත් කෙනා පරාජය කිරීමේ මානසිකත්වය. එතැන දී කවදාවත් යථාර්ථය මතු වන්නේ නැහැ. කොතරම් සත්‍ය පෙන්නුවත් විවාදයේ දී තියෙන්නේ ම මම හරියි කියලා දිනන්න හදන මානසිකත්වයයි.

සංවාදය කියන්නේ තමන්ගේ අඩුපාඩුවක් තිබුණොත් ඒක හදාගෙන අදහස් බෙදා හදා ගැනීමයි. සමාජ මාධ්‍ය භාවිතයේ දී අප ඇති කර ගත යුත්තේ ඇතැම් කරුණු කාරණා සම්බන්ධයෙන් විවාදය නොව සංවාදයයි. අපි නොදන්නා දේ බොහෝයි. ඒ වගේ තැන්වල දී තමන්ගේ වචනවලින්, තමන් ළඟ තියෙන කෙලෙස් දුර්වලතාවලින් අනුන් පහත හෙලීමට කතා කරන, පරුෂ වචන කියන, විවේචන කරන මානසිකත්වයෙන් ඈත් වෙන්න. යම් අදහසක් ප්‍රකාශ කරන්න අවශ්‍ය නම් ඒවා බුද්ධිමය සංවාද බවට පත් කර ගන්න.

බුද්ධ දේශනාවේ පෙන්වා දෙන්නේ ‘ඥාති මන්නේත කත්ත ජිනං ඛන්ති’ කියලයි. කිසි අවස්ථාවක මොනම ක්‍රමයකින්වත් අනුන් පහත දාන්න හිතන්න එපා. අනෙක් දුර්වලතාව ව්‍යාරෝසනා. එයින් අදහස් කරන්නේ වචනවලින් හෝ කායික ක්‍රියාවන්ගෙන් හෝ අනුන්ට රිදවීමයි. තව කෙනකුට පහර දී, ආවේගශීලී ව හැසිරී, කායික රිදවීමක් කරන්න පුළුවන්. ඒ වගේමයි වාචසික රිදවීම. පරුෂ වචනයෙන් අනුන්ට බනින්න පුළුවන්. ඒ වගේමයි බොරු අභූත චෝදනා එල්ල කර කේලම් කියා අනුන් රිදවන්නත් පුළුවන්.

අනෙක පටිඝ සංඥා. ප්‍රතිග සංඥා සංඛ්‍යාත මනෝ විකාර. කෙනකු රිදවීමට අවශ්‍ය වූ විට ඕනෑතරම් සිතුවිලි සිතට එනවා. වචනවලින් සහ කායික ව නොරිදවා නිහඬ ව සිටීමෙන් ද තව කෙනකු රිදවීමට හැකියාව තිබෙනවා.

සමහර අය නිවෙසේ සිටින තමන්ගේ ආදරණීය ම අය රිදවන ක්‍රමයක් ලෙස මෙය පෙන්වා දිය හැකි යි. කතා කරන්නේ නෑ. මුහුණ බලන්නේ නෑ. ගණන් ගන්නේ නෑ. ඒක තමා මනෝ විකාර. නමුත් ඒක රිදවීමක් ද? නැද්ද? කියන එක තීරණය වෙන්නේ තමන්ගේ සිත අනුවයි.

බුදුරජාණන් වහන්සේත් දණ්ඩන ක්‍රම දෙකක් භාවිත කර තිබෙනවා. ගිහි සමාජයට භාවිත කළ දණ්ඩන ක්‍රමය වන්නේ ‘පත්ත නික්කුජ්ජන කර්මය’ යි. පත්ත නික්කුජ්ජන කියන්නේ පාත්‍රය මුනින් අත හැරවීමයි. ඒ කියන්නේ අනුන්ගෙන් වතුර පොදක්වත් ගන්නේ නෑ කියන එකයි. වතුර පොදක්වත් බලාපොරොත්තු වෙන්නේ නැති මට්ටමට ප්‍රතික්ෂේප කර දැමීමයි.

පැවිද්දාට දෙන දණ්ඩනය බ්‍රහ්ම දණ්ඩනය. බුදුරජාණන් වහන්සේ ඡන්න හාමුදුරුවන්ට බ්‍රහ්ම දණ්ඩනයක් පැනවූවා. ඡන්න හාමුදුරුවෝ කියන්නේ සිද්ධාර්ථ මහා බෝධිසත්ත්වයන් වහන්සේ ගිහි කළ උන්වහන්සේගේ රියැදුරා.

නමුත් බුද්ධ ශාසනයේ පැවිදි වුණාට පසු ඡන්න හාමුදුරුවෝ හරියට හිතුවක්කාරයි. අනෙක් හාමුදුරුවන්ට අවනත නැහැ. හැම විට ම මාන්නයෙන් ජීවත් වුණා. රහතන් වහන්සේ ගැරහීමට ලක් කර නිතර ම කියන්නේ මම තමයි සිද්ධාර්ථ කුමාරයාගේ ළඟින් ම හිටිය කෙනා කියලා. ඡන්න හාමුදුරුවෝ පාලනය කර ගන්න බැරි තැන උන්වහන්සේගේ සුබසිද්ධිය තකා බුදුරජාණන් වහන්සේ බ්‍රහ්ම දණ්ඩනය පැනවූවා.

එහිදී ඡන්න හාමුදුරුවෝ සමඟ අනෙක් හාමුදුරුවරුන් හිනා වුණේ නැහැ. කතා කළේ නැහැ. මුහුණ බැලුවේ නැහැ. අතහැර දැම්මා. මෙහිදී සමහරකුට සිතෙන්න පුළුවන් බ්‍රහ්ම දණ්ඩනය මනෝ කර්මයට ගැනෙන්නේ නැද්ද? කරන රිදවීමක් වෙන්නේ නැද්ද? කියලා.

අපි කරන දේ නරක දෙයක් ද, හොඳ දෙයක් ද කියන එක තීරණය කරන්න ඕනෙ අපිමයි. ඒ අපේ සිත අවබෝධ කර ගැනීමෙනි. සතර සතිපට්ඨානයේ චිත්තානුපස්සනා වඩන විට ‘සදෝසං වා චිත්තං – සදෝසං චිත්තන්ති පජානාති – වීතදෝසං වා චිත්තං – වීතදෝසං චිත්තන්ති පජානාති’ ලෙස උගන්වනවා.

මගේ ළඟ මේ ක්‍රියාත්මක වෙන්නේ ද්වේෂ මූලික සිතක් ද, එසේ නැත්නම් ද්වේෂ සහගත මෝහ සිතක් ද කියලා. තමන්මයි තමන්ගේ සිත දෙස බලා මෙය අවබෝධ කර ගත යුත්තේ. සමහර විට අම්මත් නැති තාත්තා කෙනෙක් දරුවන්ට දඬුවම් දෙනවා. අම්මා, තාත්තා දරුවන්ට දඬුවම් දෙන්නේ ද්වේෂයක් නිසා නොව මෛත්‍රිය සහ කරුණාව නිසා වෙන්න පුළුවන්.

කරුණාව කියන්නේ බොහෝ වෙලාවට දැඩි භාවයක්. බුදුරජාණන් වහන්සේ කරුණාව නිසා බොහොම දැඩි කෙනෙක් යැයි ඇතැමුන් පවසනවා. නමුත් මහා ප්‍රඥාව නිසා බුදුරජාණන් වහන්සේ උඩඟු කෙනෙක් නොවේ.

බුදුරජාණන් වහන්සේ දඬුවම් කරන්නේ අහිතකින් නොවේ. උන්වහන්සේ සත්ත්වයන්ගේ ආශය, අංශ, අධිමුක්තිය දැක යහපත දකිනවා නම් එහිදී ඍජු වෙනවා. කල්‍යාණ මිත්‍රත්වයේ දී වුවත් තමන්ගේ යහළුවා වැරැදි දෙයක් කරනවා නම් ඍජු ව ඉන්න. එරෙහි වෙන්න. ඒ තැන්වල දී ඒවාට අනුබල දෙන්න එපා. ඒක තමයි කරුණාව කියන්නේ. ඒ නිසා අපි කරන දේ ද්වේෂ සිතින් කරන දෙයක් ද, යහපත් සිතින් කරන දෙයක් ද කියලා අපිමයි අපේ සිත අනුව බලන්න ඕනේ. ඒකට චිත්තානුපස්සනා වඩන්න.

(කන්දෙගෙදර සෝභිත හිමියන්ගේ ධර්ම දේශනාවක් ඇසුරිනි.)

දිල්හානි ජයවර්ධන

You may also like

Leave a Comment