නිවස කතුවැකියසැබෑ වත්කම
බිනර පුර අටවක පෝ දා 2026-09-18

සැබෑ වත්කම

by Test User
September 18, 2026 1:30 am 0 comment

මිනිසුන් අතර සිල්වතුන් හා දුසිල්වතුන් යැයි දෙපිරිසකි. සිල්වතා කාටත් පි‍්‍රය ය. ඔහුගෙන් අනුන්ට අයහපතක්, අනර්ථයක් වේ යැයි බියක් නොවේ. සැකයක් නොවේ. කීර්ති, ප්‍රශංසා ඔහු වෙත ගලා එන්නේ මිනිසුන්ගේ හදවතින් ම ය. දුසිල්වතා සමාජයට අපි‍්‍රය ය. නිලය නිසා හෝ බලය නිසා හෝ දුශ්ශීලයාට ද විටෙක ගරුනම්බු ලැබිය හැකි ය. එහෙත් ඒ නාමිකව ය. අවංකව අන්‍යයන්ගේ සිතින් උපදින ස්වභාවයක් නොවේ. එය ඔහුගෙන් විය හැකි යැයි සිතෙන අනර්ථයන්ගෙන්, අලාභයන්ගෙන් වැළකීමට විය හැකි ය.

සම්බුදු දහම අපට උගන්වන්නේ සිල්වත් වන ලෙසට ය. යම් පුද්ගලයෙක් සිල් ආරක්ෂා නොකරන්නේ නම්, පාප ධර්මයන්හි නියැළෙන්නේ නම් හේ දුශ්ශීලයෙකි. එවැනි අය සමාජයේ බොහෝ ය. ඔවුන්ගේ රංගනයෙහි රැවටී, ඔවුන් අනුකරණය කරන්නෝ ද බොහෝ ය. එහෙත් සීලයේ අනුසස් දන්නෝ දුසිල් බවෙන් මිදෙති. ඒ තමන්ගේ ජීවිතයට ආදරය කරන්නෝ ය. නුවණැත්තෝ ය. ඔවුහු තමන්ගේ දරු මුනුපුරන්ට ද, අවවාද, උපදෙස් ලබන්නන්ට ද ඒ අපූර්ව මඟ පෙන්වා දෙති.

කෙනෙක් අස්වනු ලෙස ලබන්නේ හෙතෙම වපුරන දෙය ම ය. අනෙකක් නොවේ. අප කරන කියන දෙය තුළ ලැබෙන අවසන් ඵලය ද එවැනි ය. දුශ්චරිතවත් හැසිරීම් ප්‍රගුණ කරන්නාට ලැබෙන ඵලය මිහිරි නැත. එහෙත් සිල්වත් වීමේ ඵලය මිහිරි ය. ජීවිතය ඉහළට ඔසවා තබන්නේ ය. අපේ බාල පරපුරට ඒත්තු ගැන්විය යුතු ම ධර්මයකි එය.

සීලයේ අපූර්ව අනුසස් පිළිබඳ එක් අවස්ථාවක ‘සීලව‘ මහරහතන් වහන්සේ ගාථා පෙළකින් ඉදිරිපත් කළහ.

‘සීලමේවිධ සික්ඛෙථ
අස්මිං ලෝකේ සුසික්ඛිතං
සීලං හි සබ්බසම්පත්තිං
උපනාමේති සේවිතං’

මේ ගාථා ධර්මයට අනුව ලෞකික, ලෝකෝත්තර සම්පත්තීන් ගෙන දෙන්නේ මැනවින් පවත්වන ලද සීලය ම ය. එහෙත් බෞද්ධ යැයි පවසන අය අතර පවා සම්පත් සොයනු පිණිස සීලය අමතක කරන අවස්ථා තිබෙන බව ඇතැම් අවස්ථාවන්හි අපි දකිමු.

කෙනෙක් සැප ලබමි’යි, රැස්කරමි’යි සිතා දහදිය මහන්සියෙන්, වීර්යයෙන්, අනලස් බවින් කටයුතු කරනවා වෙනුවට ධනය උපයනු පිණිස පහසු මාර්ග සොයති. සොරකම, අල්ලස, වංචාව ඒ මාර්ග අතර ප්‍රධාන ය. එහෙත් සොරකම ජීවිතය කර ගත් ඇත්තන්ගේ් සිත සැම මොහොතක ම බියෙන්, සැකයෙන් පිරී පවතී. සොරකමින් ලද ධනයෙන් රසමසවුළු අනුභව කළ ද, තමන්ගේ අඹුදරුවන් පෝෂණය කළ ද, මහා මන්දිර ඉදිකළ ද, මහාර්ඝ යාන වාහන පරිහරණය කළ ද සිතට සතුට අහිමි ය. තමන් කළ වරදට දඬුවම කවර මොහොතක හෝ ලැබේ යැයි ඔහුට බියක් නොවේ යැයි සිතිය නොහැකි ය. යම් හෙයකින් බියක් නොවුණද, නීතියෙන් ගැලවුණ ද සොබාදහම නඩු අසන දිිනෙක ඔහුට ගැලවිය නොහැකි ය. එය මෙලොවට ද පරලොවට ද පොදු ය. මේ එක් දුසිල්වත්කමෙක් පමණි. ඒ වන් දුසිල්වතා, නොහික්මුණු පුද්ගලයා මෙලොව නින්දා ලබන්නේ ය. පරලොව ද නින්දා ලබන්නේ ය. අපායගාමී වන්නේ ය.

එහෙයින් සීලවන්ත ව ජීවිතය ගෙවා දෙලොව ජීවිතය සුවපත් කර ගන්නට අපගේ සිත පුරුදු පුහුණු කරමු. එය අප ලබන සැබෑ ධනයයි. වත්කමයි.

You may also like

Leave a Comment