අගම්භීර සභාවතා
ගාම්භීරත්වය අඩුවීමත්, සිත සොම්නස් සහගත වීමට හේතු වන කරුණක්. අගම්භීර සභාවතා කියන්නේ, නියත විවරණ ලබා ගත් බෝධිසත්ත්වයන් වහන්සේට නම්
සිත ගැඹුරුයි. ගැඹුරු නිසා උන්වහන්සේගේ සිතේ සතුටක්, සොම්නසක් ඇතිවන්නේ ගාම්භීර කුසල් නමින් හඳුන්වන්නේ, උන්වහන්සේට තමන්ගේ ඇසක් දන් දෙන්න ලැබුණා නම්, ලේ දන් දෙන්න ලැබුණා නම්, මස් දන් දෙන්න ලැබුණා නම්, හිස දන් දෙන්න ලැබුණා නම් මේ වාගේ ගැඹුරු පින්කමක් සිදු කරන කොට උන්වහන්සේගේ සිත සොම්නස් වෙනවා.
ඒ හැර සාමාන්‍ය ආහාර වේලක් දීම, වෙනත් සාමාන්‍ය දෙයක් දීම උන්වහන්සේට එපමණ ගැඹුරක් නැහැ. එසේ නමුත් නියත විවරණ ලබා නො ගත් අන් අයට ඉතා ම ස්වල්ප පින්කම් පවා සිත සොම්නස් සහගත වීමට හේතු වෙනවා. සිත නො ගැඹුරු බැවින් කුඩා පින්කමක දී පවා සොම්නස් සහගත වෙනවා. එයට කියන්නේ ‘අගම්භීර සභාවතා’ කියලයි.
සෝමනස්ස යුතා සන්ධි
සෝමනස්ස යුතා සන්ධි කියන්නේ, සොම්නස් සහගත, ප්‍රතිසන්ධියකින් ඉපදී සිටීමයි. අපේ සිත, සොම්නස් සහගත පටිසන්ධියකින් අපි ඉපදී තිබුණා නම්, අප විසින් සිදු කරනු ලබන සෑම කුසලයක් ම සොම්නස් සහගත වෙනවා.
සොම්නස් සහගත සිතකින් අපි මෙලොව, මව්කුස පිළිසිඳ ගැනීම නිසයි අද අපි වර්තමානයේ කරන සෑම කුසල ක්‍රියාවල දී ම සතුටු මුහුණින්, සතුටු සිතින් යුතු ව ඒ ඒ කුසල ක්‍රියාවල යෙදෙන්න අවස්ථාව ලැබෙන්නේ.
බොහෝ සෙයින් ම බෞද්ධයන් අතර අද කාලයේ ජීවත් වන බොහෝ දෙනා සෝමනස්ස ප්‍රතිසන්ධියකින් උපන් අය. එයට හේතුව නම්, බොහෝ දෙනා පි‍්‍රයමනාප මුහුණින්, සතුටු මුහුණින්, පි‍්‍රයමනාප සිතකින් යුතුවයි තුනුරුවන් මුදුනෙන් පිළිගෙන, ආගමානුකූලව දවස ගෙවන්නේ. බොහෝ දෙනා ඉපදී තිබෙන්නේ සෝමනස්ස සහගත කුසල විපාකයකින් බව මෙතැන සඳහන් වුණා. සිත සොම්නස් වීමට උපකාර වන කරුණු දාහතක් තිබෙනවා. මෙම කරුණු දාහතෙන් එකක් හෝ තිබෙනවා නම් ඒ කෙනා සිදු කරනු ලබන පින්කම සොම්නස් සහගත යි.
ඥාන සම්ප්‍රයුක්ත වීමටත් කරුණු දහ තුනක් අවශ්‍ය වෙනවා. ඒ කරුණු පිළිබඳ ව දැනගෙන තිබීම වටිනවා. හේතුව නම්, අප කරන කුසල් තුළින් වැඩි ආනිශංසයක්, වැඩි ඵලදාවක්, වැඩි අස්වැන්නක් ලැබෙන ආකාරයට කරන්න මේවා උපකාර වෙනවා.
කුඹුරක් කරන ගොවියා වැඩි අස්වැන්නක් ලබන්නයි, බලාපොරොත්තු වන්නේ. ඒ වාගේ කුසලයක් සිදු කළා ම, වැඩි අස්වැන්නක් ලැබෙන්නේ එම කුසල් සිත සමඟ යෙදෙන නුවණ හෙවත් ඥාන සම්ප්‍රයුක්ත බව නිසයි, කුසල් සිතේ බලගතු බව ලැබෙන්නේ. මෙහිදී
කම්මූපපත්ති තෝ චේව
තථා ඉන්ද්‍රිය පාකතෝ
කිලේස උපසමා ධම්මා
විජයස්සච හේතුයෝ
තත්ථ ධම්මේහි බුද්ධාදි
ගුණානුස්සර නේනව
සප්පඤ්ඤ සන්ධිතොචේච චිත්තං ඤාණ යුතං සියා
ඥාන සම්ප්‍රයුක්ත සඳහා කරුණු දහතුනක් තිබෙනවා. අපි ඒවා තෝරා ගනිමු.
1.කම්මුපත්තිතෝචේව
තමා කරන ලද කුසලය ඥානය වැඩෙන කුසලයක් වීම, පහන් පූජා කිරීම, ඥාන පූජා සිදු කිරීම, බුද්ධ පූජා සිදු කිරීම, බණ කීම, බණ ඇසීම, දහම් පොත් පත් මුද්‍රණය කරවා බෙදාදීම මේ සෑම පින්කමක් ම නුවණ වැඩෙන පින්කම්.
2. උප්පත්ති කියන්නේ සතර අපායෙන් මිදුණු කෙනෙක් වීම. මනුෂ්‍ය දුර්භාග්‍ය කෙනෙක් නො වීම, තිරිසන්, පේ‍්‍රත, අසුර, නරකය කියන අපායන්ගෙන් මිදී මනුලොව, දෙව්ලොව, බඹලොව, උපන්න අයට යි සිතේ ඥාන සම්ප්‍රයුක්ත ව කුසල් සිදුකර ගන්නට හැකි වෙන්නේ.
මනුෂ්‍යයන් අතර වුණත් අන්ධ, ගොළු, බිහිරි, උම්මත්තක, මන්දබුද්ධික තත්ත්වයෙන් මිදී සිටින්න ඕනෑ. මෙයට කියන්නේ සුගති ලෝකයක ඉපදී සිටීම කියායි.
මතු සම්බන්ධයි