නිවස බෞද්ධ දර්ශනයසම්බුදු රජාණන් වහන්සේ ලෝකවිදූ නම් වන සේක

සම්බුදු රජාණන් වහන්සේ ලෝකවිදූ නම් වන සේක

by Test User
September 18, 2026 1:30 am 0 comment

ලෝකය තරම් ලෝකයේ ගවේෂණයට නතු වූ වෙනත් තේමාවක් ඉතිහාසයේ ද, වර්තමානයේ ද නැහැ. කිසි කලෙක නොසිඳෙන පවසකින් ලෝකය ගවේෂණයේ යෙදෙන මානව වර්ගයා නිසාවෙන් එය අනාගතයේ ද එසේ ම වනු ඇති. ලෝකය සෑම කල්හි ම ලෝකයට අද්භූතයක්, විස්මිතයක්, අබිරහසක්.

එවන් ලෝකයක් තුළ ආධ්‍යාත්මික, බාහිර සියලු ලෝකයන් අවබෝධ කිරීම ද, ඒ සියලු ලෝකයන්ගෙන් නිදහස් වීම ද මහා ප්‍රාතිහාර්යයක් ම නො වන්නේ ද? සම්මා සම්බුදුවරු වනාහි ඒ විස්මිත ප්‍රාතිහාර්යයෙන් සියලු ලෝක ජය ගන්නා අසිරිමත් පුරුෂ රත්නයෝ යි. ලොව විනිවිද දුටු විස්මිත ප්‍රඥා ඇති, ලෝකවිදූ තථාගතයාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!

අප විසින් දක්නා ලෝකයක් අප අවට තිබෙනවා. මසැසින් දකිනු ලබන ඒ ලෝකයට ජනී ජනයා ද, සත්ත්ව වර්ගයා ද අහස, පොළොව, ඉර, හඳ, තාරකා, ග්‍රහලෝක ද, ඇළ දොළ ගංගා, සාගර ද, තුරුලතා ආදිය ද අයිතියි. අපට නො පෙනෙන ලෝකයක් ගැනත් අපි ළමා කාලයේ පටන් අසා තිබෙනවා. දෙවියන් ද, යක්ෂයන් ද, භූත පිශාචයන් ද, නිරිපල්ලන් ද අයත් වන්නේ අපට නො පෙනෙන ඒ ලෝකයට යි. මේ දේ හැර ලෝකය කියා අප දන්නා යම් හෝ සොයනා යමක් ද නැහැ. ලෝකය යනු එපමණක් ම වූයේ නම් කිසි කලෙක මේ ලෝකයේ කෙළවරක් දකින්නට අපට හැකි වන්නේ ද නැහැ. එහෙත්, ලෝකය එදා සිට අද දක්වා ම සොයා යන්නේ මෙ පමණකට සීමා කර ගත් ලෝකයේ කෙළවරයි.

මේ ලෝකයේ කෙළවරක් සොයා ඇවිද ගිය දිව්‍ය පුත්‍රයකු ගැන අපට පෙළ දහමේ මුණ ගැසෙනවා. රෝහිතස්ස නම් වූ ඔහු සම්බුදු රදුන් හමුවට පැමිණ විමසා සිටියේ නම් ලෝකයේ කෙළවරක් තිබෙනවා ද යන්නයි. එවැන්නක් නොපවතින බව සම්බුදු රජාණන් වහන්සේ වදාළා.

පෙර ගත කළ දිව්‍ය ජීවිතයක අතිශය වේගයකින් ගමන් කළ හැකි ව සිටි ඒ දිව්‍ය පුත්‍රයා ලෝකයේ කෙළවර සොයා ගමන් ඇරඹූ බවත්, එහෙත් ලෝකයේ කෙළවර නො දැක ම ආයුෂ ගෙවී තමන් ඒ දිව්‍ය ජීවිතයෙන් චුත වූ බවත් ඔහු සම්බුදු රජාණන් වහන්සේ හමුවේ එවිට ප්‍රකාශ කළා.

සැබැවින් ම මේ ලෝකයේ කෙළවරක් ඇවිද යාමෙන් දැකිය නො හැකි නමුත් විශිෂ්ට ඥානයෙන් යුතු ව උපදවා ගන්නා අවබෝධය තුළින් නාම රූප ප්‍රත්‍යයෙන් හට ගන්නා ඇස නම් වූ ලෝකයේ ද, කන නම් වූ ලෝකයේ ද, නාසය නම් වූ ලෝකයේ ද, දිව නම් වූ ලෝකයේ ද, කය නම් වූ ලෝකයේ ද, මනස නම් වූ ලෝකයේ ද කෙළවර දැකිය හැකි බවට සම්බුදු රජාණන් වහන්සේ එහි දී ධර්මය දේශනා

බීජයකින් ගසක් හට ගත් පසු ඒ ගසෙන් යළි බීජ ඇතිවනවා. මේ ආකාරයෙන් බීජ පරම්පරා හා ගස් පරම්පරා ඉදිරියට නො සිඳී පවතිනවා. ඒ ආකාරයෙන් ම පෙර පහළ වූ සංස්කාර නිසා පසු සංස්කාර ද ඇති වීමෙන් ඒ අනුව සත්ත්ව ලෝක, සංස්කාර ලෝක, අවකාශ ලෝක යන ලෝක තුන ඇති වන බව සම්බුදු රදුන් වහන්සේ දේශනා කොට වදාළා.

හේතුවකින් සකස් වන ඵල අනුව යන ගමනක් මෙහි ඇති බව දේශනා කළේ ඒ සියලු ලෝකයන් අවබෝධ කළ සම්බුදු රජාණන් වහන්සේ ම යි. හේතු පවතින තාක් කල් මේ ඵලයන් සකස් වනවා. තණ්හාව සහිත වූ සිතින්, කයින්, වචනයෙන් කළ කර්මයන්ගේ විපාක වශයෙන් නැවත නැවත ඉපදීම් සිදු වෙමිනුයි අප සියල්ලෝ ම මේ ගමනේ පැමිණියේ.

යම් දෙයක් තිබෙනවා නම් එහි පටන් ගැනීමකුත් තිබිය යුතුයි, කියන මතය බොහෝ දෙනකු තුළ තිබෙනවා. නමුත් මේ න්‍යාය සියලු දෙයට සාධාරණ වන්නේ නැහැ. හොඳ ම නිදසුනක් තමයි අහස. අහස තිබෙන බව අප දකිනවා. සැකයකින් තොරව ම අප එය පිළිගන්නවා. එහෙත් ඒ අහසේ පටන්ගැනීමක්, අගක්, මුලක් පනවන්නට බැහැ නේද? එසේ පටන් ගැනීමක්, අගක් මුලක් පනවන්නට බැරි වුණා කියා අහස කියා දෙයක් නො පවතිනවා වන්නේ නැහැ.

ඒ ආකාරයෙන් ම යි, ලෝක සත්ත්වයා සසර සැරිසරා පැමිණෙන මේ අති දීර්ඝ ගමනේ ආරම්භක කෙළවරක්. අගක්, මුලක් පනවන්නට පුළුවන්කමක් නැති බව සම්බුදු රජාණන් වහන්සේ දේශනා කොට වදාළා. සත්ත්වයන් සසරේ ගෙන ආ සංස්කාර පටන් ගත් තැන මෙතැනයි කියා පෙන්වන්නට හැකියාවක් නැහැ. එය අතිශයින් පැරැණි, අතිශයින් දීර්ඝ ගමනක්. ඇති වෙමින්, නැති වෙමින්, පවතින දෙය තුළ ම වෙනස් වෙමින් යන මේ ජීවිත ස්වභාවයන් තුළ සෑම විට ම අලුත් වීමක්, වෙනස් වීමක් තිබෙන බව සැබෑවක්. මිනිසුන් හා සතුන් පමණක් නොවෙයි, අහස, ඉර, හඳ, තාරකා සහිත මේ සකල ලෝක ධාතූන් පවා කලෙක දී විනාශ වී නැවත හට ගැනෙනවා.

ලෝකය ප්‍රමාණයෙන් මෙතෙකැයි කියා කියන්නට සමත් වූවෙක් නැහැ. අභ්‍යවකාශ තාක්ෂණය සහ ශිල්පීය ඥානය බොහෝ දියුණු මේ යුගයේ පවා ලෝකයේ ප්‍රමාණය පිළිබඳ මතවාද වරින් වර වෙනස් වෙනවා. අප ජීවත්වන ක්ෂීරපථය නම් වූ මේ මන්දාකිණිය වැනි තවත් මන්දාකිණි ලක්ෂ ගණනක් අප වටා පවතින බව මෑතක දී නාසා ආයතනය පවසා සිටියා. තම තම නැණ පමණින් සහ යන්ත්‍ර සූත්‍රවල දියුණු බවේ තරමින් තමයි ඔවුන් මේ අදහස් ඉදිරිපත් කරන්නේ. ඒ පිරිසට සිතින් සිතා ගන්නටවත් නො හැකි ආකාරයේ විස්මිත හෙළිදරව්වක් ලෝකය ගැන සිදු කෙරුණේ මෙවැනි යන්ත්‍ර සූත්‍ර, ශිල්පීය කුසලතා කිසිවක් ම නො වු යුගයක. සියලු ලෝක අවබෝධ කළ සම්බුදුවරයකුට ම පමණක් විෂය වූ ඒ හෙළිදරව්ව අපට දරා ගත හැක්කේ ශ්‍රද්ධාවෙන්. මන්ද, ප්‍රඥාවෙන් එය දකින්නට හැක්කේ ද සම්මා සම්බුදුවරයකුට ම පමණක් නිසාවෙන්.

අපට ආලෝකය ගෙන එන මේ සූර්යයාගෙන් සහ චන්ද්‍රයාගෙන් ආලෝකවත් කෙරෙන අපාය භූමි හතරත්, මිනිස් ලොව, සදෙව් ලොව යන කාම සුගති ලෝක හතත්, ප්‍රථම ධ්‍යාන භූමි තුනත්, දෙවැනි ධ්‍යාන භූමි තුනත්, තුන්වැනි ධ්‍යාන භූමි තුනත්, සතරවැනි ධ්‍යාන භූමි හතත් යන දහසයක් වූ රූපාවචර භූමීනුත්, අරූපාවචර භූමි හතරත් යන භූමි තිස් එකකින් යුතු වන තැන එක ලෝක ධාතුවක් ලෙස හැඳින්වෙනවා.

එවැනි ලෝක ධාතු දහසක් සහශ්‍රී/ චූලනිකා ලෝක ධාතුව කියා හඳුන්වනවා. චූලනිකා ලෝක ධාතු දහසක්, දහසකින් ගුණ කිරීමෙන් ලැබෙන චූලනිකා ලෝක ධාතු දස ලක්ෂය, ද්වීසහශ්‍රී/ මධ්‍යම ලෝක ධාතුව ලෙස නම් කෙරෙනවා. දස ලක්ෂයක් වූ ඒ ලෝක ධාතු යළිත් දහසකින් ගුණ කළ විට කෝටි ලක්ෂයක් ලෝක ධාතු ලැබෙනවා. ඒ කෝටි ලක්ෂයක් සක්වළ ත්‍රිසහශ්‍රී/ මහ සහශ්‍රී ලෝක ධාතුව කියා හැඳින්වෙනවා.

සම්බුදු රදුන්ගේ සෘද්ධිබල සම්පන්න ශ්‍රාවකයන්ට චූලනිකා ලෝක ධාතුව විෂය වනවා. උන්වහන්සේට ඒ ලෝක ධාතු දහසට ඇසෙන්නට කතා කරන්නට හැකියි. ඒ තුළ ආලෝකය හෝ අන්ධකාරය හෝ පතුරාලන්නට ද හැකියි.

ද්වීසහශ්‍රී මධ්‍යම ලෝක ධාතුව හැඳින්වෙන්නේ සම්බුදුවරුන්ගේ ජාති ක්ෂේත්‍රය කියලයි. මහ බෝසතාණන් වහන්සේ මව්කුස පිළිසිඳ ගැනීම, මව්කුසින් බිහි වීම, අබිනික්මන් කිරීම, සම්මා සම්බුද්ධත්වයට පත්වීම, දම්සක පැතිරවීම, ආයු සංස්කාරය අත්හැරීම, පිරිනිවන් පෑම යන අවස්ථාවල දී ඒ මධ්‍යම ලෝක ධාතුව කම්පා වන බව අංගුත්තර නිකාය අටුවාවේ දැක්වෙනවා.

ත්‍රිසහශ්‍රී, මහා සහශ්‍රී ලෝක ධාතුව හැඳින්වෙන්නේ සම්බුදුවරුන්ගේ ආඥා ක්ෂේත්‍රය ලෙසිනුයි. සම්බුදු මුවින් දේශිත පිරිත් ධර්මයන්ගේ බලය එහි පවතින බව පැවසෙනවා.

ත්‍රිසහශ්‍රී ලෝක ධාතුවෙන් ඔබ්බෙහි ඇති සියලු සක්වළ සම්බුදුවරුන්ගේ විෂය ක්ෂේත්‍රය ලෙසයි හැඳින්වෙන්නේ. එහි ප්‍රමාණයක් දක්වන්නට පුළුවන්කමක් නෑ. සම්බුදු රජාණන් වහන්සේට ඒ අනන්ත සක්වළ පුරා ආලෝකය හෝ අන්ධකාරය හෝ පතුරාලන්නට පුළුවනි. ඒ කවර තැනක වුවත් වෙසෙන සත්ත්වයන්ට ඇසෙන සේ කතා කරන්නට ද පුළුවනි.

අප සරණ ගිය සම්බුදු රජාණන් වහන්සේගේ ලෝකය පිළිබඳ ව වූ ඒ අවබෝධය සම වන්නේ තවත් සම්බුදු රජාණන් වහන්සේ නමකට ම පමණයි. සම්මා සම්බුදු රජාණන් වහන්සේ එපමණ ම මහානුභාව සම්පන්නයි.

කිසි කලෙක අසත්‍ය වචන නො පවසන සම්බුදුරදුන් වහන්සේ දෙව් මිනිස් ලෝකය ඉදිරියේ මෙසේ නිර්භය ව, අභීත ව, විසාරද ව සිංහනාද කරනවා.

“පින්වත් මහණෙනි, දෙවියන් සහිත වූ, මරුන් සහිත වූ, බඹුන් සහිත වූ, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ මේ ලෝකයා විසින් ද, දෙව් මිනිස් ප්‍රජාව විසින් ද දක්නා ලද යමක් ඇද්ද, අසනා ලද යමක් ඇද්ද, ආඝ්‍රාණය කරන ලද යමක් ඇද්ද, රස විඳින ලද යමක් ඇද්ද, පහස ලැබුවා වූ යමක් ඇද්ද, සිතින් දැන ගන්නා ලද යමක් ඇද්ද, ලබා ගත් යමක් ඇද්ද, සොයා ගත් යමක් ඇද්ද, සිතින් විමසන ලද යමක් ඇද්ද ඒ සියල්ල ම තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද්දේ වෙයි ද, එම නිසා තථාගත යැයි කියනු ලබන්නේ ය.”

තථාගතයන් වහන්සේගේ අවබෝධයට අභියෝග කළ හැකි කිසිවෙක් තුන් ලෝකයේ ම නැහැ. දුක නම් වූ ලෝකය උන්වහන්සේ විසින් අවබෝධ කරනු ලැබුවා. දුකෙහි හේතු උන්වහන්සේ විසින් නසනු ලැබුවා. දුක් නැති කිරීම උන්වහන්සේ විසින් සාක්ෂාත් කරනු ලැබුවා. දුක් නැති කරන ප්‍රතිපදාව උන්වහන්සේ විසින් ප්‍රගුණ කරනු ලැබුවා. අවබෝධය ලබා ලෝකයෙන් එතෙර වූ උන්වහන්සේ අවබෝධය ලබා ලෝකයෙන් එතෙර වීම පිණිස ධර්මය දේශනා කොට වදාළා. ඒ ධර්මයම යි, අප සියලු ලෝකයන් තුළ ශ්‍රේෂ්ඨ කරවන්නේ. ඒ ධර්මය ම යි අපට සියලු ලෝකවලින් නිදහස් වන්නට උපකාරක වන්නේ.

“පින්වත් වාසෙට්ඨයෙනි, මෙලොවෙහිත්, පරලොවෙහිත් ජනයා අතර ධර්මය ම ශ්‍රේෂ්ඨ වෙයි.”

දෙලොවෙහි ම ශ්‍රේෂ්ඨ වූ ඒ ශ්‍රී සද්ධර්මය ම පිළිසරණ කර ගනිමින්, ලොව දුටු, සියලු ලෝකයන්ගෙන් නිදහස් වූ, ලෝකවිදූ ගුණයෙන් යුතු වූ, අපගේ ශාස්තෘ වූ ගෞතම සම්මා සම්බුදු රදුන් වහන්සේගේ බුද්ධ රාජ්‍ය තුළ දී ම මිසදිටු බිඳ හෙළා ලෝකයෙන් නිදහස් වන්නට අපට උතුම් තෙරුවනේ ආශීර්වාදය වේවා!

You may also like

Leave a Comment