නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඌව පරණගම සහ කන්දපොල අතර මනරම් කඳු පන්තියේ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ව දිවාගුහාව පිහිටා තිබේ. බටතොට ලෙන ලෙස ද දිවාගුහාව හැඳීන්වේ. දිවාගුහාව වර්තමානයේ හඳුනාගෙන ඇත්තේ සිරිපා මළුවේ සිට මහගිරිදඹය පසුකොට මඳ දුරක් පැමිණි විට වම්පසින් දක්නට ලැබෙන භගවා ලෙන ලෙසයි.
භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයෙන් නව වැනි වසරේ ශශ්‍රී ලංකා ද්වීපයට වැඩම කළ අවස්ථාවේ සමන්තකූට පර්වතයට අධිපති සුමන සමන් දෙවියන්ගේ ආරාධනාවකට අනුව පන්සියයක් මහ රහතුන් සමඟ බුදුරජාණන් වහන්සේ අහසින් සමන්ගිරට වැඩම කළ බවත්, තමන්ට වැඳුම් පිදුම් කිරීමට යමක් ලබා දෙන ලෙස සමන් දෙවියන් කළ ඉල්ලීමකට අනුව උන්වහන්සේ සිය වම් ශශ්‍රී පාදය අදිටන් බලයෙන් පිහිට වූ බවත්, පසුව බුදුරජාණන් වහන්සේ තමන්ගේ දිවා කාලය සමවත් සුවයෙන් වැඩ හි¼දීමට ඒ අඩවියේ පිහිටා තිබෙන ගල් ලෙනකට වැඩම කළ බවත් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. මේ ගල් ලෙන බුදුරදුන් ඇතුළු තවත් පන්සියයක් මහ රහතුන්ට විවේකී සුවයෙන් ගත කිරීමට තරම් විශාල ස්ථානයකි.
මේ ලෙන දිවාගුහාව ලෙස හැඳීන්වීම පිළිබඳ මත දෙකක් පවතී. එනම් සූර්යාලෝකය දහවල් කාලයේ ලෙන ඇතුළට වැටී දහවල් කාලයේ වගේම එළියක් රාත්‍රී කාලයේ ද තිබෙන නිසා මෙය දිවාගුහාව ලෙස හැඳීන්වූ බවත්, බුදුන් වහන්සේ දිවා කාලය ගත කළ නිසා දිවාගුහාව ලෙස නම් කළ බවත් ය. එමෙන් ම භාග්‍යවතුන් වහන්සේ මෙම ලෙනේ සමවත් සුවයෙන් වැඩ සිටි නිසා භගවා ලෙන ලෙසත් මෙය හඳුන්වා තිබේ.
දිවාගුහාව පිහිටා ඇත්තේ ශශ්‍රී පාද කන්ද පාමුල බව සිතීමට හැකි සාක්ෂි බොහොමයක් පවතී. මහාවංශය පවසන්නේ සංඝයා සහිත වූ සේක් ඒ පර්වත පාදයෙහි සැප සේ දිවා විහරණය කොට………. ආදී වශයෙනි. පූජාවලියට අනුව සමනොල ශශ්‍රී පාදය ඔබා එගල් පා විට භගවත් නම් ලෙන වැඩ හිඳ සමවත් සුවයෙන් දිවා විහාර කොට……ලෙස සඳහන් වෙයි.
වේදේහ මහා ස්ථවීරයන් වහන්සේ විසින් රචිත සමන්තකූට වර්ණනා ගාථාවලින් ද සමන්කුල පාමුල දිවාගුහාව පිහිටා ඇති බව පැවසේ.
කීර්ති ශශ්‍රී නිශ්ශංක රජු සිරිපා වැඳී ආකාරය දැක්වෙන රේඛාමය රූ සටහනත්, පේළි හතරකින් යුතු අඟල් 10ක් දිග අඟල් 9ක් පළල සෙල් ලිපියත්, ඊට දකුණු පසින් ඇති අඩි 5යි අඟල් 6ක් දිග සහ අඩියයි අඟල් 10ක් පළල පේලි 14කින් යුතු සෙල් ලිපියත් මේ ගුහාවේ ඉදිරියේ වන ගල් බිත්තියේ සටහන් ව තිබේ.
කාලයක් පුරාවට අවිනිශ්චිත ව තිබුණත් අවසානයේ බටතොට ලෙන දිවාගුහාව ලෙස නිල වශයෙන් නම් කළේ 1995 වර්ෂයේ දී ය.
අග්ගමහා පණ්ඩිත බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමිපාණන් වහන්සේ 1995 මක්තෝම්බර් මස 15 වැනි දා වල් බිහිවී තිබූ බටතොට පුරාණ ගල් ලෙන් විහාරය දිවාගුහාව හෙවත් භගවා ලෙන ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව බටතොට පුරාණ ගල් ලෙන් රාජමහා විහාරය හෙවත් දිවාගුහාව වර්ෂ 2001 සිට බැතිමතුන්ගේ පූජනීය ස්ථානයක් බවට පත් විණි. සැබෑ දිවාගුහාව ලෙස බටතොට ලෙන පිළිගැනෙන්නේ උන්වහන්සේගේ ප්‍රකාශයෙන් අනතුරුවයි.
තවද බස්නාගොඩ විමලරතන නාහිමියන්ගේ උපදෙස්වලට අනුව 1999 අගෝස්තු මාසයේ පසළොස්වක පොහොය දින දිවාගුහාවේ පින්කම් පවත්වා ඇති අතර, එයින් පසුව දිවාගුහාව මිනිසුන්ට වැඳුම් පිදුම් කිරීමට සුදුසු ස්ථානයක් ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබේ.
දිල්හානි ජයවර්ධන