[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

හෙළදිව උත්තම මහා මංගල්‍යය
පසඟතුරු නදින් නංවයි රාවය
ඉන්දිරාජ කරඬුව ගෙන වඩිනෙය
බඹ සුර නර දෙති සාධු නාදය

ආචාර්ය
රත්නපාල වික්‍රමසිංහ

නිකිණි පුර පසළොස්වක

අගෝස්තු 19 සඳුදා පූ.භා. 03.05 පුර පසළොස්වක ලබා එදිනම අ.භා. 11.55 ගෙවේ.
19 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු 19

Second Quarterඅව අටවක

අගෝස්තු 26

Full Moonඅමාවක

සැප්තැම්බර් 02

First Quarterපුර අටවක

සැප්තැම්බර් 11

 

 

 

 

 

 

 

 

හෙළ සංස්කෘතියේ ශ්‍රී විභූතිය ඓතිහාසික සෙංකඩගලපුර ඇසළ පෙරහර

සෙංකඩගලපුර ඇසළ පෙරහර මංගල්‍යය හෙළ සංස්කෘතියේ උදාරත්වය ප්‍රෞඪත්වය හා ශ්‍රී විභූතිය විදහා දක්වන කැඩපතක් වන් උඩරට නැටුම් කලාවේ එකම මහා වේදිකාව බඳු ය. එහි විචිත්‍රත්වය හා අභිරමණීයත්වය දෙගුණ තෙගුණ කෙරෙන උඩරට නැටුම් කලාවේ ප්‍රභවය පිළිබඳ නිශ්චිත ව කිව හැකි මූලාශ්‍ර නොමැති වුව ද රාජනුග්‍රහයන් නොමඳ ව ලබා දිගු ඉතිහාසයක් පුරා චිරාගත සාම්ප්‍රදායික පුදසිරිත් ඇසුරු කොට පවත්වා ගෙන එනු ලබයි. පූජාව හා ශාන්තිය මුල් කොට ගත්, මෙම විචිත්‍ර කලා සම්ප්‍රදාය බොහෝ දෙනා මැනවින් අධ්‍යයනය නොකොට, මහනුවර යුගයේ ඇතිවූවක් ලෙස ම අර්ථගැන්වීම යුක්ති යුක්ත නොවන බව හැඟේ. වත්මනෙහි පවත්නා සිංහල නැටුම්, ගැයුම්, වැයුම් කලාවේ ප්‍රභවය විජයාවතරණයට පෙරාතුව පටන් පැවැති කලාවන්ගෙන් ද පෝෂණය ලබා මෙරටට ම ආවේණික වූ පරිදි සැකසුණු නර්තන, වාදන, ගායන සම්ප්‍රදායන් මත ගොඩනැඟුණු බව පෙනේ. ලක්දිව රාජධානි මාරුවීමත් සමඟ රාජධානියෙන් රාජධානියට පරපුරෙන් පරපුරට පවත්වාගෙන ආ මෙම හේවිසි පූජා චාරිත්‍ර පළමුවන විමලධර්මසූරිය (ක්‍රි.ව. 1592 - 1604 ) රාජ්‍ය සමයේ සෙංකඩගලපුර වෙත දළදා වහන්සේ වැඩමවීමත් සමඟ පෙර පැවති පුද සිරිත් සමඟ එලෙසම පැවැත් වූ බව පෙනී යයි. මහනුවර රාජ සමය වන විට දඹදෙණි, කුරුණෑගල රාජධානිවල දී ගම්වර දී පත් කරන ලද හේවිසි පරම්පරාවලින් ඉහළ දොළොස්පත්තුව (කුරුණෑගල මාවතගම ඇතුළු ප්‍රදේශ) පහළ දොළොස්පත්තුව (හිරියාල හත්පත්තුව ඇතුළු ප්‍රදේශ) දුම්බර, මාතලේ ආදී ගම්වර ලැබූ හේවිසි පරම්පරාවන්ගෙන් පැවතගෙන එන අය අදටත් සෙංකඩගලපුර දළදා හේවිසි පූජාවන්හි යෙදෙති. ශ්‍රී දළදා මාළිගාවේ සතර මංගල්‍යය අතුරෙන් අසිරිමත් දළදා පෙරහර හෙවත් ඇසළ පෙරහර මංගල්‍යය චිරාගත සාම්ප්‍රදායානුකූල ව අඛණ්ඩ ව පවත්වා ගෙන නො පැමිණියේ නම් ජාතික, ආගමික, සංස්කෘතික, සෞන්දර්ය හා අලංකාරය මූර්තිමත් කොට හෙළ සංස්කෘතියේ අසිරිමත් පැතිකඩක් ලෙස ප්‍රදර්ශනය කෙරෙන උඩරට නැටුම් කලාව මුසු වූ හෙළ සංස්කෘතිය අවනතියට හා පරිහානියට පත්වීමට සෑම අතින් ම ඉඩ තිබිණ.

අදීන දේශයක පුණ්‍යවන්ත උරුමය අපේ දළදා හාමුදුරුවෝ

සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවීමෙන් පසු උන්වහන්සේ ආදාහනය කළ කුසිනාරා නුවර මල්ලව රජදරුවන්ගේ උපවර්තන සල් උයනේ දී අකු ධාතූන් වහන්සේ දෙනමත්, ලලාට ධාතූන් වහන්සේ, ග්‍රීවා ධාතූන් වහන්සේ හා සතර දළදා වහන්සේ පමණක් ඉතිරිවී සෙසු ධාතූන් වහන්සේ අබ පියල් මුන් පියල් ප්‍රමාණයට කැඩී ඉතිරිවූ බව මහා පරිණිබ්බාණ සූත්‍රය ආදී ඓතිහාසික වාර්තා අනුව සඳහන් වේ. එම සතර දළදා වහන්සේ එක නමක් තව්තිසා දෙව්ලොව ද, එකනමක් නාගපුරයෙහි (නාග ලෝකය හෝ වර්තමාන නාග්පූර්), එකනමක් ගන්ධාර දේශයේ ද, එකනමක් කලිඟුරටේ ද වැඩ වසති. සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පා වසර 218 ක් ගතවන මොහොතේ මහා භාරතයේ අධිරාජයා බවට පත්වූ ධර්‍මාශෝක මහ රජතුමා ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව යුද්ධයෙන් මියගිය නිසා අසීමිත සංවේගයට හා දුක්‍ඛදෝමනස්සයටන්ට පත්විය. නව හැවිරිදි නිග්‍රෝධ රහතන් වහන්සේ දැක ඉමහත් සතුටට පත්විය. මහකෙළ නාගරාජයා විසින් මවා පෙන්වන ලද සම්බුද්ධ ශරීරය හෙවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සම්බුද්ධ කාය දැක ඉමහත් බුද්ධාලම්භන ප්‍රීතියට පත්වීය. මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේගෙන් ධර්‍මය පිළිබඳ අවබෝධයක් ලබා ගත් රජතුමා අසූහාරදහසක් ධර්මස්ඛන්ධය පිළිබඳ අසා වෙහෙර විහාර අසූහාරදහසක් සාදවා එකම දිනයේ ඒවායේ නිධානොත්සව ආදිය සිදු කරවිය. ඉන් අනතුරුව, 3 වන ධර්‍ම සංගායනාව ද පවත්වා සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය සැලසූ ආකාරයත්, ස්වකීය පුතණුවන් වන මිහිඳු මහරහතන් වහන්සේ, දියණිය වන සංඝමිත්තා තෙරණියත් ශ්‍රී ලංකාද්වීපයට එවා සම්බුද්ධ ශාසනය පිහිටුවීමට මූලාධාර වීම ද ධර්‍මාශෝක මහරජතුමන්ගේ සුවිශේෂී උදාරතම ශාශනික සද්ක්‍රියාවයි.ඉන් අනතුරුව රජතුමා සම්බුද්ධ දේහය සියැසින් දැක අපමණ බුද්ධාලම්භන ප්‍රීතියට පත්වූයේ සම්බුද්ධ රූපය ප්‍රතිමාවකට නඟා බුදුරජාණන් වහන්සේ උදෙසා පෙරහර පාඨලී පුත්‍ර, ඉසිපතන, ලුම්බිණි, කුසිනාරා, සාංචි ආදී බෞද්ධ සිද්ධස්ථානවල පවත්වා තිබේ.

වස්සාන කාලයට පින් සිතින් එක්වන්න

‘අයං වස්සානකාලො’ මේ වස්සාන සමයයි. ඇසළ පුර පසළොස්වක දායින් පසුව බුද්ධ නියමයට අනුව සමස්ත බෞද්ධ ලෝකයේ ම වස් කාලය හෙවත් වස්සාන සමය ආරම්භ වී දැන් නිකිණි පුර පසළොස්වක දා වන විට එක් වස් මාසයක් ගෙවීමට ආසන්න සමයයි. ඉතින් තවත් මාස දෙකක් ඉක්මවා ගොස් වස්සාන සමය නිමාවට පත් වන්නේ චීවර මාසය ආරම්භ කරමින්.  මේ කාලය තුළ විශේෂයෙන් වස් වසා වැඩවාසය කරන උපසම්පන්න භික්ෂූන් වහන්සේ සතිය වඩාත් මුවහත් කර ගන්නා කාලයක් ලෙසයි සටහන් වන්නේ. නිවනට හෙවත් විමුක්තියට මඟ සිහිය පිහිටුවා ක්‍රියා කිරිමට හුරුවීම යි. සැබැවින් ම එදා සංචාරක ජිවිතයක් ගත කරමින් දනව් සැරිසරමින් ගමින් ගමට පා ගමනින් වැඩම කර චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය, බහුජන සුඛාය අත්ථාය හිතාය ලෝකානුකම්පාය යන මේ බුද්ධ නියමය හැට නමක් වූ ප්‍රථම රහත් ධර්ම දූත පිරිස අමතා ප්‍රකාශ කිරීමෙන් බුදුරජාණන් වහන්සේ අපේක්ෂා කළේ මහත් දුෂ්කරත්වයෙන් අවබෝධ කර ගත් ලෝක තත්වය දුක් විඳීන ජනතාවට පහදා දීමටයි. වඩාත් වේගයෙන් බුදුදහම දඹදිව මධ්‍ය දේශය පුර ව්‍යාප්ත කරලීමට යි. ඉතින්, ඒ නියමයට අනුව ඒ හැට නම ක්‍රමයෙන් සංඛ්‍යාත්මක ව වැඩි වුණා. තවතවත් එම උතුම් කාර්යය ඉටු කිරීමට දහස් ගණනින් භික්ෂූන් වහන්සේ දනව් සැරිසැරුවා.  බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් වසර විස්සක් ඇවෑමෙන් නියම කළේ දනව් සැරිසැරීම නවතා එක්තැන් වී ඒ ස්ථානයේ දායක පිරිස් විසින් කුටියක් සෙනසුනක් පූජා කරයි නම් ඒ ස්ථානවල නැවතී තමන් වහන්සේගේ මෙලොව පරලොව වැඩ සාදා ගෙන සසර විමුක්තිය උදා කර ගන්නා ලෙසයි. ඉතින් ඒ ආශ්‍රීත දායක සමූහයා සෙනසුනක් සකස් කර දී වස් විසීමට ආරාධනා කරත් නම්, ඒ පිරිස උන්වහන්සේට සිවුපසයෙන් ඇප උපස්ථාන කරමින්, ඒ අයත් පින් සිදු කර ගන්නා බවයි අදහස් කරන්නේ. ඉතින් ඒ පිළිවෙත අනුව වස්කාලය ආසන්න වෙත් ම අදත් දායක පින්වතුන් වස් විසූ භික්ෂූන් වහන්සේට ඉදිරි වස් තුන් මාසය වස් ඉටා වැඩ සිටිමට ආරාධනා කරනවා. ඒ වගේම චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානපච්ච යන සිවුපසයෙන් උපස්ථාන කරන්නට අදිටන් කර ගන්නවා.

ත්‍රිවිධ නර්තන සම්ප්‍රදායෙන් විචිත්‍රවත් වූ බෙල්ලන්විල  ඇසළ මහා පෙරහර පූජෝත්සවය

ඉතිහාසයේ පමණක් නොව වර්තමානයේ ද හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස මහනුවර දළදා පෙරහරට හිමි වන්නේ ගෞරවය මුසු අභිමානයකි. එවැනි ගෞරවනීය අභිමානනීය පෙරහර කීපයක් ම මේ රටේ ඇති අතර ඉන් ප්‍රමුඛතම සුවිශේෂ පෙරහරක් ලෙස බෙල්ලන්විල ඇසළ මහා පෙරහරට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි. බෙල්ලන්විල ඇසළ මහා පෙරහර පූජෝත්සවයේ නිර්මාතෘවරයාණෝ අපවත් වී වදාළ අති පූජ්‍ය බෙල්ලන්විල සෝමරතන යතීශ්වරයාණෝ ය. ඒ යතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් හා අනුශාසකත්වයෙන් වර්ෂ 1950 දී ආරම්භ වූ මේ මහා පෙරහර මෙවර පැවැත්වෙන්නේ 74 වැනි වරට ය. බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති පදවියට වර්ෂ 1946 දී පත්වන්නේ බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමිපාණන් ය. උන්වහන්සේට අපගේ සංස්කෘතිය හා සංස්කෘතිකාංග පිළිබඳ ගැඹුරු අවබෝධයක් තිබුණි. නාහිමියන් නිසා බෙල්ලන්විල විහාරස්ථානය පමණක් නොව ඒ අවට සියලු ප්‍රදේශ දියුණු විය. ආලෝකවත් විය. ප්‍රදේශයේ නිවාස හා වැසියන්ගේ ආර්ථිකය ද සෞභාග්‍ය සම්පන්න විය. බෙල්ලන්විල පෙරහර ද ඒ සඳහා බලපෑ සුවිශේෂ සාධකයකි. සෝමරතන නාහිමියන් 1950 දී බෙල්ලන්විල පෙරහර ආරම්භ කර ඇත්තේ සාම්ප්‍රදායික පෙරහරක් පැවැත්වීමේ අරමුණින් නොව ප්‍රදේශයත් එහි වැසියනුත් දියුණු කරලීමේ අරමුණින් යුතුව ය. සෝමරතන නාහිමියන් බෙල්ලන්විල විහාරයේ චිත්‍රණය සඳහා ගුරුකමට ගෙන ඇත්තේ ඒ වන විට ජනප්‍රිය වී තිබූ මහනුවර චිත්‍ර සම්ප්‍රදාය නොව පොළොන්නරු චිත්‍ර සම්ප්‍රදාය යි. මේ කරුණු නිසා පසුගිය වසර හැත්තෑ ගණනක් පුරාවට බෙල්ලන්විල රාජ මහා විහාරය ජන හද තුළ නිරතුරු ගෞරව බහුමානයට ලක් වී පවතින බව අතිශයෝක්තියක් නො වේ. ශ්‍රී දළදා සමිඳුන්ට පූද පූජා පැවැත්වීමේ අරමුණින් මහනුවර ශ්‍රී දළදා පෙරහර ඇරඹුණු අතර, ඊට වෙනස් සංස්කෘතික හා සාමාජිය අරමුණු වෙතට පෙරහර ගමන් කළ සැටි නිරීක්ෂණයට ඇති හොඳ ම නිදසුන “ අගනුවර මහ පෙරහර” සේ සැලකිය හැකි බෙල්ලන්විල ඇසළ මහා පෙරහරයි.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]