උපෝසථයෙහි අරුත
ශාස්ත්‍රපති
ගලගෙදර රතනවංස හිමි
බුදුරජාණන් වහන්සේ ලොව පහළ වන වකවානුව තුළ පොහොය දිනය වනාහි අන්‍යාගමිකයින්
සීලවෘතවල යෙදෙමින් ආගමික මෙහෙයන් පවත්වන දිනයක් ලෙස පිළිගෙන තිබුණි. බුදුරජාණන්
වහන්සේ ද, බිම්බිසාර මහ රජතුමාගේ ඉල්ලීම පරිදි බෞද්ධයන්ගේ ද ආගමානුකූල පිළිවෙත්
පිළිපැදීමේ හා පුද පූජා පැවැතවීමේ දිනය ලෙසට පොහොය දිනය සුදුසු බව අනුදැන වදාළහ.
විශේෂයෙන් සතර පෝය උපාසක උපාසිකාවන්ගේ උපෝසථ දිනය හෙවත්, ප්‍රතිපත්ති පූජාවේ යෙදිය
යුතු දිනය ලෙසත්, චාතුද්දසී, පණ්ණරසී හෙවත් මාසෙ පෝය, පසළොස්වක යන උපෝසථ දෙක භික්ෂු
භික්ෂුණීන්ගේ උපෝසථ දින ලෙසත් අනුදැන වදාළහ. තුනුරුවන්ට හා ආගම ධර්මයට ඉතා සමීප ව
වාසය කිරීම උපෝසථ යන්නෙහි අර්ථය යි.
උපෝසථ දිනයෙහි කළ යුතු මූලික කටයුතු වන්නේ ආගමික සිද්ධස්ථාන කරා ගොස් පන්සිල්, ආජීව
අෂ්ටමක සිල්, ගෘහස්ථ දසසිල් ආදී සීලයන් සමාදන්වීම, බණ භාවනාවල යෙදීම, චෛත්‍ය පූජා,
බුද්ධ පූජා පවත්වමින් තුනුරුවන්ගේ සුවිසි මහා ගුණයන් මෙනෙහි කිරීම් ආදී උතුම්
ක්‍රියා ධර්ම යි.
මේ ආකාරයේ ආගමික දැනීමක් හා ආභාෂයක් සතර පෝය දිනවල දී පමණක් මහජනයාට ලබා දීම අපහසු
බැවින් ”වස් කාලය”එයට ඉතාමත් සුදුසු කාලය ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ. එකල
භික්ෂූන් වහන්සේ අවුරුද්ද පුරා මාස නවයක් ම ගමින් ගමට වැඩම කරමින් මහජනයාට
අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කරමින්, ඉතාමත් වෙහෙසකාරී අවිවේකී ජීවිත ගත කළහ.
එබඳු භික්ෂූන් වහන්සේ උදෙසා තුන් මසක් එක් ප්‍රදේශයක, එක් තැනක වසමින් කායික
විවේකයක් හා මානසික සහනයක් ලබා ගැනීම් වස් ”වස් විසීම” අනුදැන වදාළහ. මෙසේ අනුදැන
වදාළේ බුදුවීමෙන් විසි වසරකට පසුවයි. එසේ වුව ද, ඇසළ පෝදා දම්සක් පැවතුම් සූත්‍රය
දේශනා කොට පසුදා පස්වග මහණුන් සමඟ බරණැස ඉසිපතනාරාමයෙහි බුදුරජාණන් වහන්සේ වස් විසූ
බව සඳහන් වේ.
පෙර වස් විසීමට නියමිත ඇසළ අව පෑලවිය ද යම්කිසි උපසම්පන්න භික්ෂුවකට නො වැළැක්විය
හැකි හේතුවක් නිසා වස් වසන්නට නොහැකි වී නම්, නිකිණි පෝය දා පොහොය කොට පසුදා හෙවත්
අවපෑලවියදා,” පසු වස්”සමාදන් විය හැකි ය. මේ අන්දමට පෙරවස් විසීම, පසුවස් විසීම
කියා දෙයාකාරයකින් යුක්ත වූ මෙම වස් කාලය තුළ ගිහි පැවිදි දෙපක්ෂය තුළ ම සීල,
සමාධි, ප්‍රඥා දී උසස් ගුණ ධර්ම සංවර්ධනය වීමත්, සත්පුරුෂ ඇසුර වර්ධනය වීමත්
ආගමානුකූල කටයුතුවල බහුල ව යෙදීමත් ඒ තුළින් ගිහි පැවිදි සම්බන්ධතාව තව තවත් වැඩි
දියුණු වීමත් මෙම නිකිණි පෝය තුළ සිදුවෙන සුවිශේෂී ක්‍රියාවලියකි.
නිකිණි පෝය මුල්කොට ගෙන “පසුවස් විසූ භික්ෂුවකට කඨින චීවරයක් හෝ කඨින වස්ත්‍රයක්
පිළිගැනීමට නොහැකි වුවත් වස්සාවාසික නමින් හැඳීන්වෙන සිවුරක් පිළිගැනීමට හැකියාවක්
ඇත. පසුවස් විසූ භික්ෂුවක් මුල් කොටගෙන අටමහා කුසල්වලින් පළමුවැනි කුසලය වන කඨින
පින්කම් කිරීමට හැකියාවක් නොමැත. එසේ වුවත් පසු වස් විසූ සිල්වත් භික්ෂුවකට ඒ ඒ
විහාරස්ථානයන්හි වසමින්, මිනිසුන්ට අවවාද අනුශාසනා කරමින් බොහෝ කුසල් රැස් කර ගත
හැකි බව බුදුරජාණන් වහන්සේ වදාළහ.
මේ අනුව සලකා බැලීමේ දී වස් කාලය ගිහි පැවිදි දෙ පක්ෂයේ ම පුණ්‍ය කාලය ලෙසත්, ගිහි
පැවිදි සම්බන්ධතාව වැඩිදියුණු වන කාල ලෙසත් බණ භාවනා වර්ධනය වීමෙන් ගිහි පැවිදි
දෙපක්ෂයේ ම මෙලොව පරලොව අභිවෘද්ධිය මල්ඵල ගැන්වෙන බවත් සැලකීමට පුළුවන.
එම කාලය තුළ සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂාවන් සංවර්ධනය කර ගැනීම සඳහා ගිහි
පැවිදි දෙපක්ෂය ම උත්සාහයෙන් ක්‍රියාකිරීමෙන් සෝවාන් ආදී මාර්ගඵල ලබා නිවන් සුවයෙන්
සැනසීමටත් හැකියාව, වීර්යය, ශ්‍රාවකයාට ලැබේ.
|