සඟ සසුන එකලු කළ උදාර සංඝනේතෘන් වහන්සේ ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ
ස්වකීය ගිහි කුලයත්, ස්වකීය පැවිදි සඟ පරපුරත් සම්භාවනාවට ලක්කළ උදාර සංඝ නේතෘන්
වහන්සේ නමක ලෙස නොබෝදා අපවත්වී වදාළ හුණුපිටිය ගංගාරාමාධිපති ව වැඩ විසූ කොළඹ නව
කෝරළයේ ප්‍රධාන සංඝනායක පදවිය හෙබවූ ගෞරවාර්හ ගල්බොඩ ඥානිස්සර නායක ස්වාමින්ද්‍රයන්
වහන්සේ නම් කළ හැකි ය.
1954 නොවැම්බර් මස 08වැනි දින කොළඹ හුණුපිටිය ගංගාරාමයේ දී උතුම් පැවිදිබිමට
පත්වීමට උන්වහන්සේට භාග්‍ය උදාවුණි. ඒ එවකට තත්විහාරාධිපති ව වැඩ විසූ ගෞරවාර්හ
දෙවුන්දර ශ්‍රී වාචිස්සර නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ හා දෙවුන්දර ශ්‍රී රතනජෝති
නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙනි.
1984 මැයි මස 16 වැනි දින දෙවුන්දර වාචිස්සර නාහිමියන් අපවත්වන තුරු පුරා වසර
විසිතුනක් ස්වකීය ගුරුදේවයන් වහන්සේ රැක බලා ගනිමින් උන්වහන්සේ සිදුකළ ඒ මහා
පුණ්‍යකර්මය උන්වහන්සේගේ මේ ජීවිතයේ සාර්ථකත්වයට බලපෑ මහා ශක්තියක් වන්නට
ඇත.ගුරුදේවයන් වහන්සේගේ අපවත්වීමෙන් අනතුරුව ගංගාරාම විහාරස්ථානයේ ආධිපත්‍යයට පත්
වූ උන්වහන්සේ ගංගාරාමය කොළඹ නගරයේ පමණක් නොව මුළු සිරිලක ම, එමතු ද නොව මුළුමහත්
බෞද්ධ ලෝකයාගේ ම ගෞරවාදරයට ලක්වූ පූජ්‍ය ස්ථානයක් බවට පත් කිරීමට සුවිශේෂී මෙහෙවරක්
සිදු කළහ.
සිය ගුරුදේවයන් වහන්සේ වැඩසිටි යුගයේ සිටම ගංගාරාමයේ සංවර්ධනය ආරම්භ කළ උන්වහන්සේ
1976 වර්ෂයේ දී ගරා වැටුණු සීමා මන්දිරය විශිෂ්ට ගෘහ නිර්මාණයක් ලෙස නැවත නිර්මාණය
කළහ.
එමෙන්ම තරුණ පරම්පරාවේ අනාගතය සවිමත් කරලීමේ අභිලාෂයෙන් 1979 වර්ෂයේ දී ආරම්භ කළ
ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලය ද දහස් ගණනක් තරුණ ප්‍රජාවට අනාගත ජීවිතය සවිමත්
කරලීමට අවශ්‍ය අත්වැල සපයා දුනි. මෙ මඟින් වෘත්තීය පාඨමාලා 50ක් පමණ නොමිලේ
ක්‍රියාත්මක කරමින් දෙස් විදෙස් රැකියාවන්ට යාමට ලබා දෙන අනුග්‍රහය ඉමහත් ය.
ගංගාරාමය සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයට අයත් විහාරස්ථානයක් වුව ද එහි නිකාය
බෙදීමක් නොවීය. ප්‍රාචීන අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේ වෙනුවෙන් අරමුදලක්
පිහිටවූහ. ගංගාරාමය කේන්ද්‍ර කර ගනිමින් උන්වහන්සේ සසුනෙහි ජීවනාලිය වන භික්ෂු
ප්‍රජාව වෙත මහත් මෙහෙවරක් ඉටු කළහ.
හුණුපිටිය කී පමණින් ගංගාරාමය යන නාමය ඕනෑම අයකුගේ සිතට එන්නේ නිරායාසයෙනි. ඒ
ගංගාරාමය හුදු විහාරස්ථානයක් පමණක් ම නිසා නොවෙයි. එය විහාරස්ථානයක් වශයෙන් ද,
කෞතුකාගාරයක් වශයෙන් ද, කලාගාරයක් වශයෙන් ද,අධ්‍යාපනික ආයතනයක් වශයෙන් ද,මහත්
සංස්කෘතික අගයකින් සමන්විත ආයතනයක් වශයෙන් ද ප්‍රකට නිසා ය.
ගංගාරාමය පිහිටා ඇත්තේ බහුආගමික, බහුජාතික පිරිසක් සිටින ප්‍රදේශයක ය. ගංගාරාමයේ
පොඩිහාමුදුරුවෝ නිරන්තරයෙන් ම ජාති ආගම් භේදයකින් තොරව කාසමඟත් මිත්‍රශීලි වූහ.
කාහටත් උපකාර කළහ. කාගේත් දුකට පිහිටවූහ. එනිසා ම කා තුළත් උන්වහන්සේ කෙරෙහි
පැවතියේ අප්‍රමාණ ගෞරවාදරයකි.ගංගාරාමය කේන්ද්‍ර කර ගනිමින් සිදුකෙරෙන සෑම කාර්යයකට
ම එනිසා කාගේත් සහාය නො අඩුව ලැබුණි.
වසර 90ක් පුරා අවුරුදු උදාව සමඟ සිදුකරන සතිපිරිත් පින්කම, වාර්ෂික නවම් මහා පෙරහර
වැනි සුවිශේෂී පින්කම්වල දී හැම දෙනාගෙන් ම ලැබෙන්නේ මහා සහයෝගයකි. ඒ පොඩි
හාමුදුරුවන්ගේ නිහතමානී ගුණයත්,මනා පෞරුෂත්වයත්, පොදු ජනනායකත්වයත් නිසා ය.
උන්වහන්සේගේ සුවිශේෂී දක්ෂතාව ලොවට ප්‍රදර්ශනය වූයේ විශේෂයෙන් ගංගාරාම නවම් මහා
පෙරහරත් සමඟ ය. කලක් නැවතී පැවති මෙම පෙරහර 1979 වර්ෂයේ දී රාජ්‍ය අනුග්‍රහය ද
ලබමින් නැවත ආරම්භ කළ අතර, අද එය ලක්දිව ඉතා උසස් ම ගණයේ පෙරහරක් බවට පත්ව තිබීම
උන්වහන්සේගේ කැපවීමේ ප්‍රතිඵල සනාථ කරයි.
එසේම බුද්ධරශ්මි වෙසක් කලාපය ද ගංගාරාමය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලක්දිව
සුවිශේෂිතම වෙසක් කලාපයකි. මේ සෑම කාර්යයක දී ම එහි සාර්ථකත්වය ලබා ගැනීම උදෙසා
පොඩි හාමුදුරුවන්ගේ සංකල්ප හා නායකත්වය ප්‍රබලතම සාධකය වූ බව ගෞරවයෙන් සිහිපත් කරනු
කැමැත්තෙමි.
ගහ කොළ රැක ගැනීමට කැපවූ උන්වහන්සේ ගස් බැංකුව නම් ව්‍යාපෘතියක් ආරම්භ කොට සිය
ගණනක් නොව ලක්ෂ ගණනක් ගස් සිටවූහ. අන්‍යයන්ට ගස් සිටුවීමට අනුබල දෙමින් පැළ බෙදා
දුන්හ.
සූරියවැව ආදී දුෂ්කර ගම්මානයන්හි කෘෂිකාර්මික සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක
කරමින් ජන ජීවිතය ස්වෝත්සාහයෙන් ගොඩනඟා ගැනීමටත් ලබා දුන් ප්‍රජා නායකත්වය සුවිශේෂි
ය.
මෙලෙස ශාසනයේත් පොදු මහත් සමාජයේත් උන්නතිය උදෙසා සුවිශේෂී මෙහෙවරක් කළ
පොඩිහාමුදුරුවෝ තමන් වහන්සේගෙන් පසුව එම මහා මෙහෙවර සිදුකිරීමට ශක්තිමත්
ප්‍රතිබලසම්පන්න ශිෂ්‍ය ප්‍රජාවක් බිහිකර තැබීම උන්වහන්සේගේ සසුන් දිවියෙහි වඩාත්ම
වටිනා සේවාව වන්නේ ය.
ආචාර්ය විතාරන්දෙණියේ කස්සප නාහිමි, සියාඹලාගොඩ ආනන්ද නාහිමි, දේවාලේගම සුමංගල
මාහිමි, හින්බුන්නේ කොණ්ඩඤ්ඤ හිමි, ගංගාරාම විහාරාධිකාරී,ආචාර්ය කිරින්දේ අස්සජි
හිමි, ආචාර්ය පල්ලේගම රතනසාර හිමි යන ස්වාමින්ද්‍රයන් වහන්සේ උන්වහන්සේගේ දයාබර
ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ වන අතර උන්වහන්සේගෙන් අප රටට පමණක් නොව සමස්ත බෞද්ධ ලෝකයාට
ම සිදුවන්නේ මහා සේවාවකි. උන්වහන්සේගේ සසුන් මෙහෙවර දැක නාහිමියන් ගුරු පියකු ලෙස
අප්‍රමාණ සතුටක් ලබන්නට ඇත.
උන්වහන්සේ සෘජු ය. කිවයුත්ත නොවළහා කිවයුතු තැනදී කීහ. කළ යුතු දේ නිසිකලට
කළහ.උන්වහන්සේගේ වැඩවල වේගය වේගවත් ය. සමහරු උන්වහන්සේට ප්‍රශංසා කළහ. සමහරු දොස්
නැගුහ. මේ කිසිවකින් උන්වහන්සේ පසුබට නො වූහ. නමුත් මෙවන් යතිවරයකුගේ වටිනාකම අදට
වඩා අනාගතයට වඩාත් වුවමනා වන බව නම් පැහැදිලි ය.
සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ද, පොදු මහත් සමාජයේ ම යහපත වෙනුවෙන් ද ඉටුකළ
වටිනාකම්වලින් සියදිවිය ඔපවත් කර ගනිමින් මුළු මහත් සමාජය ම ආලෝකවත් කළ ගංගාරාමයේ
පොඩි හාමුදුරුවෝ ලොව අනියත බව පසක් කරමින් 2024 අගෝස්තු මස 02 වැනි දින අපවත් වූහ.
උන්වහන්සේට උතුම් නිවන්සුව අත්වේවා!
- මහියංගණයේ පඤ්ඤානන්ද හිමි |