දුක නිවන දහම් පදයක
මිහිර විඳගන්න
නයනා නිල්මිණී
කාලය වේගයෙන් ගෙවී යනවා. අපටත් නො දැනීම රාත්‍රිය ගෙවී අලුයම උදාවෙනවා. අපගේ වයසත්
අනුපිළිවෙලින් ගෙවෙනවා.
ජලය සිඳීගෙන යන දොළක ජලය සිඳී යන්නාක් මෙන් ආයුෂ ගෙවෙනවා. සිඳීගෙන යන දොළ පහරේ ජලය
අඩුවෙමින් ඈතට ඈතට ගොස් යම් දවසක් එනවා සම්පූර්ණයෙන් ම සිඳී යන.
අප හැමගේ ම ජීවිත ඒ වගෙයි. අප සෑම වසරක ම උපන්දින සමරමින් ඉදිරියට යනවා. එවිට
කියනවා දැන් මෝරපු වයස කියලා. ඒත් ඇත්තට ම සිදු වන්නේ කුමක් ද? කෙනෙක් අවුරුදු 25ක්
ජීවිතය ගත කළා නම් මනුස්ස ලෝකයේ ජීවත්වීමට තිබූ අවුරුදු 25ක් අඩු වුණා. හරියට දුරට
යන්න යන්න දොළ පාරේ වතුර සිඳෙනවා වගේ තමයි අපේ මේ ජීවිතේ ගෙවී යන්නේ.
එවැනි මිනිස් ලෝකයක උපන් අපට භාග්‍යවතුන් වහන්සේ නමකගේ ධර්මය මුණ ගැසුණොත් ඒ
ජීවිතවලට යහපතක් උදාවෙනවා. භාග්‍යවතුන් වහන්සේ ජීවිතයේ ඇති වන ශෝකය නිවීම පිණිස
දහම් වදාළා. බොහෝ දුක් නිවෙන ඒ දහම් පද දුකට තැවුලට පත් කෙනකුට අහන්න ලැබෙනවා නම් ඒ
දුක් පීඩා සිඳී යන්නේ මහා ජල පාරක් දැඩි නියඟයකට හසුවී සිඳී යනවා වගේ.
අපගේ සිතට යම් දුකක්, පීඩාවක්, ශෝකයක් ඇතිවූ විට මේ සිතේ පුරුද්ද තමයි, ඒ ශෝක කළ
කාරණාව නැවත නැවත සිහිපත් වීම. අපට පි‍්‍රය ඥාතියෙක් වෙන් වුණොත් ඒ ගැන ම
සිහිකරනවා. මා සමඟ මෙහෙමයි ජීවත් වුණේ. මට සැලකුවේ මෙහෙම යි කියමින් නැවත නැවත ශෝකය
තුළට රිංගා ගන්නා ස්වභාවයක් මේ සිත් තුළ තිබෙනවා. බලාපොරොත්තු, ප්‍රාර්ථනා, සිහින
ඇතැම්විට මායාවක් ලෙස ම තිබෙන්නට පුළුවන්. යථාර්ථය ඊට වඩා
බොහෝ වෙනස් වෙන්නත් පුළුවන්. එක එක හේතු නිසා මේ ජීවිතයට වද වේදනා එනවා. කර්ම දෝෂ
නිසාත්, විවාහ වූ ස්වාමි – භාර්යා, දරුවන් නිසාත්, අසල්වැසියන් නිසාත් දුක් විඳින්න
වෙනවා.
ඇතැම් විට රාජකාරි කරන ස්ථානය තමාගේ සිතට දුක් පීඩා ගෙන දෙන තැනක් වෙන්න පුළුවන්.
එක එක හේතුන් නිසා විවිධ ආකාරයට අපගේ සිත් ගිනි ගන්නවා. ඒ ගින්න අස්සේ ම අපට ජීවිතය
ගෙන යන්නත් සිදු වෙලා.
මේ ජීවිතයට කායික ව වගේ ම මානසිකවත් ගැටගැසීම් උරුම වෙනවා. ඒ මානසික ගැටගැසීම් ඉතා
දරුණුයි. මවුපියන් දරුවන්ට බැඳෙන්නේ සිතේ ගැටය නිසයි. දරුවෝ මවුපියන්ට බැඳෙන්නේ
සිතේ ගැටය නිසයි. ස්වාමි භාර්යා, සහෝදර හැම දෙනා ම බැඳෙන්නේ සිතේ ගැටවලින්. ඒ හේතුව
නිසා ම විවිධ වදවේදනා, දුක් පීඩා සිතට ඇතුළු වෙනවා. දරුවෝ, ස්වාමි, භාර්යා,
හිතවතුන් මරණයට පත්වෙන විට, නො සිතූ දුක් කරදර හිස මතට කඩා වැටෙන විට අපගේ සන්තාන
සොවින් පෙළෙනවා.
භාග්‍යවතුන් වහන්සේ වදාළා ශෝකය හඳුනාගත යුත්තේ ගඩුවක්, හුලක්, කටුවක් ලෙසයි කියලා.
කටුවක් අපගේ ශරීරයට ඇනුණොත් අප දන්නවා එහි තිබෙන වේදනාව. ඒ කුඩා කටුව ශරීරය තුළ
තිබෙන තාක් කැක්කුම් දෙනවා. ඇදුම් දෙනවා. පැසවනවා. ඒ ස්ථානයේ විස පැතිරෙනවා. ආසාදනය
ඇති කරනවා. ඇතැම්විට ඒ කටුව නිසා කැළලක් පවා හිටිනවා. එනිසා කටුවක් ඇණුන ගමන් අප කළ
යුත්තේ වහා එය ශරීරයෙන් ඉවත් කිරීමයි.
ඒ වගේ අපගේ සන්තානය තුළ යම්තාක් ශෝකී කටු ඇණී තිබේ ද? ඒ සියල්ල ගලවා දමන්නට ඇති එකම
මඟ උතුම් දහම්පද ශ්‍රවණය කිරීම යි. ඒ ධර්මය නුවණින් විමසීම යි. ඒ අනුව ජීවිතය
හැඩගස්වා ගැනීම යි.
එනිසා ජීවිතයට එන දුක් පීඩා ප්‍රශ්න ඉදිරියේ හඬා වැටෙමින් හෝ දුක්වෙමින් හෝ හූල්ලා
වැඩක් නැහැ. කුමන ප්‍රශ්න ආවත් හැඬීමෙන්, වැලපීමෙන්, සුසුම් හෙළීමෙන්, ලතවීම ඒ
ප්‍රශ්නයට විසඳුම නොවෙයි කියන පණිවිඩය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස ලෙස අපි
තේරුම් ගත යුතු ව තිබෙනවා. එවිටයි ජීවිතයට එන ගිනි නිවා ගැනීමට ශක්තිය උදාවෙන්නේ.
ඒ සඳහා ජීවිතයට අවශ්‍ය වන්නේ ධර්මය යි. ඒ ධර්මය ජීවිතයට ආරක්ෂාව, පිහිට, පිළිසරණ
උදාකර දෙනවා. ධර්මය තුළින් ජීවිතයට ප්‍රඥාව උදා වෙනවා. ඒ ප්‍රඥාවයි අප මේ සසර
දුකෙන් එතෙර කරවන්නේ. දුක් සැඩ පහරින් ඉහළට ඔසවා තබන්නේත් ප්‍රඥාවයි. එනිසා අපගේ
ජීවිතවලට ලැබුණ වටිනා ම දේ මේ ශ්‍රී සද්ධර්මය යි. ඒ දහම් මඟ යන්නට උට්ඨාන වීර්යය
ඇති කර ගනිමු.
|