නොකඩ කොට රැකිය යුතු පොරොන්දුව
කයින් හා වචනයෙන් කෙරෙන වැරැදි ක්‍රියාවලින් වැළකීම ශීලයයි. ශීලයේ බීජය නම් එය
වැළකීමේ චෛතසිකයයි. විරතියයි. විරමනයයි. සාමාන්‍යයෙන් ඒවායින් වැළකීමට පොරොන්දුවක්
තිබිය යුතු ය. ප්‍රාණීන් ඝාතනය කිරීම, නුදුන් දේ ගැනීම, කාමයන්හි වරදවා හැසිරීම යන
දුසිරිත් තුන කයින් ද, බොරුකීම් ආදි වාග් දුෂ්චරිත හතර වචනයෙන් ද කෙරෙන වැරැදි ය.
මේවායින් වැළකෙන බවට තමා විසින් ම හෝ වෙනත් උතුමකු වෙත එළඹ හෝ චෛත්‍ය ස්ථානයක දී හෝ
වචනයෙන් කියා පොරොන්දු වීම සමාදානයයි. අන් උසස් කෙනකු වෙත එළඹ පොරොන්දුවීම හෙවත්
සමාදන්වීම නිසා එය ආරක්ෂා කිරීමේ වගකීම දැඩි වන හෙයින් එසේ කිරීම වඩාත් ම සුදුසුයි.
පංචශීලය, අෂ්ටාංග ශීල ආදිය මෙසේ සමාදන් වෙති.
සමාදන් වූ ශික්ෂා පද්ධතිය අතට ගත් දෙයක් නොවිසිරෙන්නට, නොබිඳෙන්නට, නොවැටෙන්නට
අල්ලාගෙන පරිහරණය කරන්නාක් මෙන් රැක ගැනීම ශීලයේ ලක්ෂණයයි. සමාදන් වූ සිකපද නොකඩවා
රකින විට පුහුණුවක්, අභ්‍යාසයක් ඇති වේ. ඉබේම සිදුවෙන ස්වභාවයක් ඇති වේ. එවිට ඔහු
සිල් ඇත්තේ, ශීලවන්තයෙක් වේ.
සතුන් නොමැරීම ආදි පස්කම් නොකරන ස්වභාවයක් ඇත්තා සීලවන්තයකු ලෙස සලකනු ලැබේ.
සිල්වත්හු පොරොන්දු කඩ නොකරති. බැරිකමට, නැතිකමට අවකාශ නොලැබෙනකමට පවින් වැළකීම
ශීලයක් නොවේ. සිරගතවූවෝ ඉඩ නැති නිසා පවෙන් වැළකී සිටිති. එය සිල් රැකීමක් නොවේ.
ශීලය අර්ථවත් වන්නේ සමාදාන වශයෙන් රකින විටය. ශීලය ආරක්ෂාවීමේ පදනම, ආසන්න කාරණය,
නැතුව ම බැරි කාරණය – හිරිඔතප් දෙකයි. එනම් පව්කිරීමට ඇති ලැජ්ජාව හා බියයි. රහසින්
වුවද පවක් කෙරෙන්නේ හිරි ඔතප් නැති වීමෙනි. කර්මවිපාක විශ්වාස කිරීමේ
සම්‍යග්දෘෂ්ටියෙන් යුක්තවීම ද සිල් ආරක්ෂාවීමට හේතු වේ. ආදීනව දන්නා නිසා පව් නොකරන
හෙයිනි. හැඳගත් වස්ත්‍රයක් හෝ පැළඳ ගත් ආභරණයක් හෝ නොකැඩී, සිදුරු නොවී කිලිටි
නොවී, තිබෙන විට එය පැලඳ සිටින අය ශෝභමාන වන්නාහ. ලස්සන වන්නාහ. කිලිටි වී කැඩී
බිඳී තිබේ නම් එය ඔහුට මෙන් ම දකින්නන්ට ද අප්‍රසන්න ය. එමෙන් ම සිල් නැත්තන් මෙන්
ම, දූෂිත සිල් ඇත්තන් ද හැමට ම අප්‍රසන්නයි. තමන්ටත් අප්‍රසන්නයි.
ගෘහස්ථ ශීල, ප්‍රව්‍රජිත ශීල වශයෙන් දෙයාකාරයකින් බෞද්ධයෝ සිල් ආරක්ෂා කරති.
බෝසත්වරු මේ දෙයාකාරයෙන් ම සසරදී සීල පාරමිතාව සම්පූර්ණ කොට සම්බුදු බවට පත්වෙති.
ශීලයක් සමාදන් වූ තැනැත්තා එය ආරක්ෂා කිරීමේ දී ඇතැම් සික පද කැඩී ගියොත් නැවත
සමාදන් වීමෙන් පිළියම් කර ගනිති. (කැඩුණුු බඳුනක් පිළියම් කර ගන්නාක් මෙන් ද ඉරුණු
වස්ත්‍රයක් මසාගෙන පාවිච්චි කරන්නාක් මෙන් ද) එහෙත් නැණවත් සැදැහැවතා සිකපද
නොසැලකිල්ලෙන් කඩා බිඳ සමාදන් වෙමින් පිළියම් කර නොගනී. තම වස්ත්‍රය ඕනෑකමින්
ඉරාගෙන මසා පාවිච්චි කරන්නේ මුග්ධයෝ ය. පන්සිල්, අටසිල්, දසසිල්, ගිහියන් විසින්
සමාදන් වන සිල් වන අතර, සාමණේර දසසිල් හා සතර සංවර සිල් පැවිදි සිල් වේ.
තමන් සමාදන් වන ශීලයේ ශික්ෂා පද නොකැඩෙන්නට, නොබිඳෙන්නන්ට රැකගත හැක්කේ ඒවා පිළිබඳ
මනා දැනීමක් ඇති විට ය. බිඳෙන සුලු කැඩෙන සුලු භාණ්ඩ නොබිඳී, නොකැඩී බොහෝ කලක්
පාවිච්චි කළ හැකි වන්නේ ඒ ඒ භාණ්ඩ ගැන මනා වැටහීමක් ඇති විටය.
කායික, වාචසික අකුසල කර්මයන් පිළිබඳ පමණක් නොව මනෝකර්මයන් (තුන) පිළිබඳව ද පාපය
සිදුවන්නේ අංග සම්පූර්ණ වීමෙනි. බොහෝ සෙයින් ශීලවන්තයායි, සැලකෙන්නේ පාපයන්ගෙන්
වැළකී සිටින අය ය. ඔවුහු “වාරිත්‍ර ශීලයෙන්” යුත් තැනැත්තෝ ය. කළ යුතු හොඳ දේ
කිරීමත් ශීලයකි. එය “චාරිත්‍ර ශීලය” යන නමින් හැඳින්වේ. දන්දීම, සිල් සමාදන් වීම
ආදිය ඊට ඇතුළත් වේ. ඒ ඒ සිරිත් විරිත් “ (චාරිත්‍ර වාරිත්‍ර) අනුගමනය කිරිම ශීලයයි.
සිරිත් වශයෙන් සිදුකරන සෑම සමාජ යුතුකමක් ම පාහේ චාරිත්‍ර ශීලයට ඇතුළත් වන්නේ ය.
ලාභ සත්කාර නොතකා කරන ඒ ක්‍රියා පුණ්‍ය ක්‍රියා වස්තු වශයෙන් දස ආකාර වේ. එනම්,
දන්දීම, සිල් සමාදන්වීම, භාවනා කිරීම, පින්දීම, පින් අනුමෝදන් වීම, වතාවත් කිරීම,
වැඩිහිටියන්ට සැලකීම, බණ කීම, බණ ඇසීම, දෘෂ්ටිය ඍජු කිරීම යන මේවා ය. කවර හෝ යහපත්
ක්‍රියාවක් ලාභ ප්‍රයෝජන නොතකා කළා ම මෙයින් එකකට අයත් වන්නේ ය.
රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපි ලේඛන
ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.
- හේමමාලා රන්දුනු |