[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

කල්ප ගණන් පසුපස එන පව් කඳු රැස් කරනු කුමට ...

කල්ප ගණන් පසුපස එන පව් කඳු රැස් කරනු කුමට ...

සියලු සත්වයෝ දඬුවමට බියවෙති. මරණයට බිය වෙති. එසේ සියලු සත්වයන්ට තමා ද අයත් බව මෙනෙහි කොට සත්වයන්ට හිංසා නො කරන්න. නොමරන්න යැයි අප බුදුරජාණන් වහන්සේ හේතු සාධක ව දේශනා කළ සේක.

එක් භවයක දී උදර පෝෂණය සඳහා ප්‍රාණඝාත අකුසලය කොට සසර අප්‍රමාණ ආත්ම භාවයන්හි දී සතර අපායේ ඉපිද මහත් දුක් වේදනා විඳින්නේ ම ය.

කලෙක ගොවිතැන් කටයුතුවලින් නිදහස් ව සිටි ගොනකු පිදුරු ගිනින් දවා මැරූ මිනිසෙක් මරණින් මතු අවීචිමහා නරකාදියෙහි ඉපිද වර්ෂ කෙළ දහසක් පැසී ඉන් මිදී සියක් අත් බැව්හි දී පිදුරු ගිනින් ම දා මළේ ය.

මෙවන් කතා සියදහස් ගණනින් ද, දේශනා උපමාවලින් ද ප්‍රකට කෙරෙන්නේ ප්‍රාණඝාත අකුසලයේ ප්‍රතිවිපාකය යි.

අදින්නාදානයේ දුර්විපාක වශයෙන් මෙලොව දී ම විවිධ දඬුවම්වලට භාජනය වනවා මෙන් ම මරණින් මතු නරක, තිරිසන්, ප්‍රේත, අසුර යන සතර අපායේ ඉපිද දුක් වේදනා විඳ යළි මිනිස් බවක් ලදුයේ ද, භවභෝග සම්පත් හීනදීන ව දුගී දුප්පත් ජීවිත ගත කරමින් දුගී මගී යාචක තත්ත්වයට පත්වන්නේ ය.

ශාස්ත්‍රයෙහි දැක්වූ පරිදි සොරකම් කළවුන්ගේ සියලු සම්පත් කුමන ක්‍රමවිධියකින් හෝ විනාශ වන්නේ ය. භෞතික සම්පත් රැස් කර ගත යුතු වන්නේ දැහැමෙන් සෙමෙන් උපයා සපයා ගැනීමෙනි. බොරුව, වංචාව, හොරකම, අල්ලස් ගැනීම, රැවටීම, අධාර්මික ජීවනෝපාය ආදියෙන් තමන් සතු කර ගැනීමෙන් තමන්ට පමණක් නොව ආශි‍්‍රත ජනතාවට ද මහත් ව්‍යසනයන්ගෙන් අවිනිශ්චිත ජීවන ගමනේ පරිහානියට ම පියවර තබන්නේ ම ය.

පරදාර සේවනය කළාහු මේ ජන්මයේ ම ධිග්දණ්ඩ, ධනදණ්ඩ, වධදණ්ඩ ආදියෙන් පරිභූත ව විවිධ ලෙඩ රෝග වේදනා සන්තාපවලින් තැවි තැවී මරණින් මතු ද නරකයෙහි ඉපිද වර්ෂ ලක්ෂ ගණන් පැසි පැසී ඉඳ ඉන් මිඳී මිනිස් ලොව උපන්නේ නම් ස්ත්‍රී ජාති වේ.

කල්ප ලක්ෂයක් පිරූ පෙරුම් ඇති ආනන්ද හිමි ද එක් ජන්මයක පර ස්ත්‍රී සමාගමක විපාක වශයෙන් නරකයෙහි පැසී එයින් මිදී මිනිසත් බව ලදින් තුදුස් වාරයක් ම ස්ත්‍රී ජාතියට ම පත්විය.

නෛතික වශයෙන් මෙන්ම ආගමික සාමාජික වශයෙන් ද මුසාවාදය මහා අකුසලයකි. වංචනික අදහස් ඇතියවුන්ට කළ නොහැකි පාපයක් නැත. අප බුදුරජාණන් වහන්සේ රාහුල හිමිට අවවාද දෙන සේක්,

දිය බඳුන මුනින් අතට හරවා ජලය වත් කළත් දිය බිඳුවක්වත් නො රඳන්නා සේ මුසාවාදයෙන් චිත්ත සන්තානයේ සියලු කුසල් අහෝසි වන්නේ ය. එවිට එම හිස් සන්තානයට ඇතුළු වන්නේ තණ්හාදී අකුසල් චේතනාවන් ය.

භාජනය ජලයෙන් හිස් වුව ද සන්තානය කුසල් පක්ෂයෙන් හිස්වන විට එම රික්තයට අකුසල චේතනා ඇතුළුවීම චිත්ත නියාමයයි. එබැවින් චිත්ත සන්තානය බුද්ධාදී තෙරුවන් අරමුණු කර ගත්විට එම ආරම්මන චිත්ත විථි කුල වශයෙන් හදවත පිරී ඉතිරී යන්නේ කුසල් සිතිවිලි ය.

සුරාපානය කළෝ ද මරණින් මතු නරකයෙහි ඉපිද වර්ෂ කෙළගණන් පැසී එයින් මිදී මිනිසත් බව ලදින් උම්මත්තක වේ. ලජ්ජා බිය දුරුවේ.

ආදී නයින් දේශිත බුද්ධ දේශනාව අනුව සුරාපානය කරන්නාගේ ක්‍රියාකාරීත්වය විවිධාකාර පාප ධර්මයන් කරා ව්‍යාප්ත වන්නේ ය.

ප්‍රකෘති ලෝකයෙන් මිඳී විකෘති ලෝකයක් මවාගෙන එහි රජ වන්නට තනන්නේ සමාජයට යටිහිතේ ඇති ඊර්ෂ්‍යාව හා පළිගැනීම වැනි චේතනා බලපාන බැවිනි.

ස්ත්‍රී දූෂණය හා සූදුව සමස්ත ලෝක සදාචාරයට, මෙන් ම මානව සම්පත්වලට වන හානිය අපමණ ය. මිනිසාගෙන් මිනිසාට බියෙන් සැකෙන් ජීවත් වන්නට සිදුවන්නේ ද, මානව කුසලතා මඟින් අනර්ඝ නිර්මාණ අහිමි වන්නේ ද, යාන්ත්‍රික ලෝකයේ අතිභයාක අතුරු ආන්තරා වැඩි වන්නේ ද, ගෙදරක කුඩා පවුලේ පටන් සමස්ත මානව සමාජය ද මෙතරම් ධන සම්පතක්, ශ්‍රමයක්, කාලයක් අපතේ යවන්නේ මත්පැන් පානය නමැති අශෝභන ක්‍රියාවට පුරුදුවීම නිසා ම ය.

මෙසේ ප්‍රාණඝාතාදී දුශ්චරිතයන් දුරින් ම දුරු කොට පන්සිල් ආරක්ෂා කරන්නේ නම්, එම සීලමය ගුණයෙන් ලබන යහපත අපමණ වන්නේ ය.

නිකිණි පුර පසළොස්වක

අගෝස්තු 19 සඳුදා පූ.භා. 03.05 පුර පසළොස්වක ලබා එදිනම අ.භා. 11.55 ගෙවේ.
19 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු 19

Second Quarterඅව අටවක

අගෝස්තු 26

Full Moonඅමාවක

සැප්තැම්බර් 02

First Quarterපුර අටවක

සැප්තැම්බර් 11

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]