[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සියලු දේ අත්හළ සිත ශාන්තයි සුවදායකයි

පොඩි හාමුදුරුවන්ගේ භාවනා සටහන් - 05:

සියලු දේ අත්හළ සිත ශාන්තයි සුවදායකයි

ප්‍රධාන භාවනාවට පෙර සිදු කැරෙන චතුරාරක්ඛ භාවනාවේ පළමුවැන්න වූ බුදුගුණ භාවනාවේත්, දෙවැන්න වූ මෛත්‍රී භාවනාවේත්, තෙවැන්න වූ පිළිකුල් භාවනාවේත් යෙදුණු මට පියවරෙන් පියවර මගේ සිත ගැඹුරු ශාන්ත ස්වභාවයට පත්වනු දැනිණ. පිළිකුල් භාවනාව නිසා ශරීරය පිළිබඳ ව ඇති ආශාව, ඇලීම, රාගය දුරු ව, එහි අනිත්‍ය ස්වභාවය ද සිතට මුසු විය.

යම් දිනෙක මේ ශරීරය මුළුමනින් ම විනාශයට පත් වෙයි. ඒ අවස්ථාව මරණය යි.

මම චතුරාරක්ඛ භාවනාවේ සිව්වැන්න වූ මරණ සති භාවනාවේ යෙදෙමි. දෑස තදින් පියැවිණ.

මරණය නියත යි. ජීවිතය අනියත යි.

මරණය නියත යි. ජිවිතය අනියත යි.

මරණය නියත යි.

ජීවිතය අනියත යි.

මරණය නියත යි. ජීවිතය අනියත යි.

මරණ නියතයි.

ස්ථිර ව ම, නිසැක ව ම මගේ මරණය සිදු වෙනවා. මා දැන් භාවනාවේ යෙදෙන මේ කුටිය තුළ මේ කොට්ටය මත මගේ මරණය මේ මොහොතේ ම සිදු විය හැකි යි. හිසේ නහරයක් පුපුරා හෝ හදවතේ නහරයක් පුපුරා හෝ මේ මොහොතේ ම මගේ මරණය සිදු විය හැකි යි. මා භාවනාව අවසන් කොට නැඟිට පිටතට යන විට පඩිපෙළෙන් වැටී හිස ගල් පඩියක වැදී මගේ මරණය සිදුවිය හැකි යි. මා මුහුණ සෝදන්නට පොකුණ ළඟට යන විට ගලක් මත ලිස්සා ගොස් වැටී මා මරණයට පත් විය හැකි යි. මා වතුර අදින විට පොකුණට වැටී දියෙහි ගිලී මගේ මරණය සිදුවිය හැකි යි. රාත්‍රියේ මා මළුවේ ඇවිදින විට තණකොළ පඳුරු අතර සිටින සර්පයකු දෂ්ට කොට මා මරණයට පත් විය හැකි යි.

පාරේ ගමන් කරන විට වාහනයකට යට වී හෝ මරණයට පත් විය හැකි යි.

රෝගයකට ගොදුරු වී දීර්ඝ කාලයක් පණුවන් පිරුණුූ ශරීරයෙන් යුතු ව අනන්ත දුක් විඳිමින් උඩුකුරු ව ඇඳක සිට මා මරණයට පත් වීමට ද ඉඩ තිබෙනවා.

කෙසේ හෝ කවදා හෝ මගේ මරණය ඒකාන්ත වශයෙන් ම සිදුවෙනවා. එය ස්ථිර යි. නියත යි. මරණය නියත යි - ජීවිතය අනියත යි.

ලොව දිනූ, සසර දිසූ ලොවුතුරා බුදුපියාණන් වහන්සේටත් මරණය උරුම වුණා. සක්විති රජවරුන්, මහ රජවරුන්, ජනාධිපතිවරුන් පවා මේ මරණයට ගොදුරු වෙනවා. ලොකු කුඩා වෙනසක් නැති ව, දුප්පත් - පොහොසත් භේදයක් නැති ව මේ මරණය සියලු සත්ත්වයාට ම උරුම වෙනවා.

මරණය නියත යි, ජීවිතය අනියත යි.

මේ මරණයත් සමඟ ඇලීමෙන්, බැඳීමෙන්, ආසාවෙන් බදාගෙන සිටි සියලු දෙයින් ම මා මිදෙනවා. මගේ නෑදෑයන්, මිතුරන්, පොත - පත, ඉඩම්, ගෙවල් මේ සියල්ල මට නැති වෙනවා. ශරීරය නිකම් අප්‍රාණික දඬුකඳක් බවට පත් වෙනවා.

සියලු දේ මේ මරණයත් සමඟ අත්හරින්නට සිදු වෙනවා. මේ අත්හැරීමට මා මරණයට පත් වන තුරු ඉන්නේ නැහැ. ඊට පෙර, මරණය සිදු වීමට පෙර, මම මේ මොහොතේ ම මා ඇලී බැඳී සිටි සියලු දේ අත්හරිනවා.

සියලු දේ සිතින් අත්හරිනවා.

අත්හරිනවා - අත්හරිනවා

අත්හරිනවා - අත්හරිනවා

මම දිගින් දිගට ම අත්හැරීම පිළිබඳ ව සිතමි.

දැන් මට ඇත්තේ සියලු දේ අත්හළ අතිශාන්ත සිතක්.... සුවදායක සිතක්.... සැහැල්ලු සුන්දර සිතක්..... කිසිවකට නො ඇලුණු, රමණීය සිතක්.

නිකිණි පුර පසළොස්වක

අගෝස්තු 19 සඳුදා පූ.භා. 03.05 පුර පසළොස්වක ලබා එදිනම අ.භා. 11.55 ගෙවේ.
19 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු 19

Second Quarterඅව අටවක

අගෝස්තු 26

Full Moonඅමාවක

සැප්තැම්බර් 02

First Quarterපුර අටවක

සැප්තැම්බර් 11

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]