නිකිණි පුර පසළොස්වක පෝ දා
2024-08-19
විනය රැකීම
සමාජ සාරධර්ම නිර්මාණය වී තිබෙන්නේ එහි ජීවත්වන සියලු දෙනාගේ සුරක්ෂිතතාව පිණිස ය.
යම් පුද්ගලයකු තුළ විනය, හික්මීම එසේත් නැතිනම් ශික්ෂණය ඇති තරමට ඔහු සාරධර්ම ගරු
කරන්නෙක් බවට ද පත් වේ. එවිට,
ඔහු හෝ ඇය හෝ ජීවත්වන නිවෙසේ අම්මා තාත්තා සුරැකේ. ඔවුන් මහලු නිවාසයන්හි තනි නොවේ.
කුසට අහරක් නොමැති ව, ලෙඩට බෙහෙතක් නොමැති ව අසරණ නොවේ. නොසලකා හැරීමට ලක් නොවේ. එම
නිවසේ දරු දැරියන් මානසික, කායික සුවයෙන් වැඩේ.
ඇය ස්වාමි දියණිය නම් කිසිම හේතුවක් නිසා සැමියා ඉක්මවා නො යයි. ඔහුට නිගරුවන ලෙස
ජීවත් නො වෙයි. ඔහු සැමියෙක් නම් සිය බිරිඳගේ ගෞරවය රකියි. ඇයට නිති රැකවරණය ලබා
දෙයි. මෙවැනි කුටුම්බයක් මොන තරම් වාසනාවන්ත ද? සාමය සතුට මිස එහි යුද ගිනි නැත.
ඒ විනය ගරුකබව, හික්මීම සමාජය තුළ ද ඔවුන් කෙරෙන් ඉස්මතු වේ. පාසල තුළ දී
ශිෂ්‍යයෙක් නම් ගුරුවරුන්ට, සහෝදර සිසු සිසුවියන්ට, මිතුරු මිතුරියන්ට අගෞරවයක්,
අකටයුත්තක්, අයහපතක් වන ලෙස නො හැසිරේ. ගුරු මවක් නම්, ගුරු පියෙක් නම් කිසිදු
දරුවකු නො සලකා නො හරී. පටු චේතනාවෙන් කිසිවකුගේ වැරැදි නො සඟවයි. දැනුමෙන් සේ ම
ශික්ෂාකාමීබවෙන් ද දරුවන් පොහොසත් කරවයි. සියලු දෙනා ගැන දයාවෙන් කරුණාවෙන් කටයුතු
කිරීම, සමානාත්මතාව එවැනි පාසලක සුවිශේෂත්වය යි.
යම් කෙනකු තුළ විනය ශික්ෂණය වේ නම් යන එන මහ මඟ තුළ ද ඔහු සංවර ය. පදිකයෙක් නම්
පදිකවේදිකාව අවිනීත ලෙස පරිහරණය නො කරයි. රියදුරෙක් නම් අවිනීත නොවෙයි.
ශික්ෂණයෙන් පොහොසත් පුද්ගලයා රැකියා ආයතනයට ආලෝකයකි. බොරුව, වංචාව, කපටිකම, අලසබව
ඔහු කෙරෙන් විද්‍යමාන නොවේ. තම සහෝදර සේවක සේවිකාවන් සමඟ ආයතනයේ දියුණුවට මිස
පරිහානියට කටයුතු නො කරයි. කිසිවකුගේ සිත නො රිදවයි. කෙනකු හෙළා දකින්නට, පාගා
දමන්නට කේළාම් නො කියයි. ඕපාදූප දොඩවමින් කල් නො හරියි. එවැනි ආයතනයක දියුණුව මිස
පරිහානියක් නොවේ.
නිවස, පාසල, රැකියා ස්ථානය මහමඟ සේ ම ඕනෑම කණ්ඩායමක් වෙසෙන තැනක, ගමක, රටක,
සුරක්ෂිත බව, ගෞරවනීය බව සුරැකෙන්නට නම් සියලු දෙනා තුළ මේ විනය, හික්මීම තිබිය
යුතු ම ය.
එය පුද්ගලයකු කෙරෙහි වර්ධනය කළ යුතු කඩා කල සිට ම ය. පවුල් පරිසරයේ හැදී වැඩෙන
සිඟිත්තා අනුකරණය කරන්නේ වැඩිහිටියන් ය. ඔවුන් අවිනීත නම්, දරුවන් විනීත වන්නේ
කෙසේද? මේ ගැන මව්පියන් විශේෂයෙන් අවධානය යොමු කළ යුතු ය.
පන්සල සේ ම පාසල ද දරුවන් තුළ විනය ශික්ෂණය වර්ධනය කරන තෝතැන්නකි. පන්සලේ
හාමුදුරුවන් වහන්සේ සේ ම පාසලේ ගුරු භවතුන් ද එහිලා අගය කළ යුතු ම ය. එහෙත් ඉතා
කලාතුරකින් දුසිල්වත්, අසංවර දරුවන් තමාගේ චරිතය ගැන ද නො සිතා, පාසලේ ගෞරවය නොතකා
අවිනීත ව හැසිරෙනු දක්නට ලැබේ. පසුගිය දා පාසලක සිසුන් දාහතරදෙනකු පමණ සම්බන්ධ ව
එවැනි කනගාටුදායක පුවතක් අසන්නට ලැබුණි. එය වඩාත් බරපතළ ය. වැඩිහිටියන් ව සමාජගත වූ
පසු මේ දරුවන් මොනතරම් අශික්ෂිත ක්‍රියාකාරකම් හි නියැළේ දැයි අපි නො දනිමු. අනෙක්
පසින් දියණියගේ චරිතයට වූ හානියයි.
වරදින්නට පෙර නිවැරැදි මඟ යැවීමටත්, ළමයින්ගේ වැරැදි නො සඟවා, නැවත වැරැදි නොකරන
තැනට ඔවුන් නිවැරැදි කරන්නටත්, හික්මීම ඇති කරන්නටත් දැඩි අවධානය යොමු කළ යුතු බව
අන් කවරදාටත් වඩා මෙකල දැනේ. |