නිකිණි අමාවක පෝ දා 2026-09-10

සාමය

by Test User
September 10, 2026 12:20 am 0 comment

දම්වැලක් ශක්තිමත් වන්නේ එහි පුරුක් එකිනෙක හොඳීන් සම්බන්ධ වී ඇති විටෙක ය. එවැනි දම්වැලකට ශක්තිමත් ඇතකු පවා මෙල්ල කළ හැකි ය. සමාජය ද එක්තරා ආකාරයක දම්වැලක් මෙනි. එහි සාමාජිකයන් එකිනෙකා විවිධාකාරයෙන් ඔවුනොවුන් හා බැඳී සිටී. ඒ බැම්ම සමාජයක් ලෙස, රටක් ලෙස මුහුණ දෙන ඕනෑම ප්‍රශ්නයක් ගැටලුවක් සාර්ථකව විසඳා දීමට සමත් ය. දම්වැලෙහි පුරුක් එකිනෙක ගිලිහී ගියේ නම්, සිදුරු වූයේ නම් එහි ශක්තිමත්බව ගිලිහී යන්නා සේ සමාජය නම් වූ දම්වැලෙහි පුරුක් ගිලිහී ගියේ නම් එහි විනාශය වැළැක්විය නොහැකි ය. අසමඟිය, නොඉවසීම, වෛරය, ක්‍රෝධය ආදී අවගුණ සමාජය නම් වූ දම්වැල සිදුරු කරන ධර්මයි.

අපේ තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළේ ඒ ඒ සමාජ කණ්ඩායම් අතර යුතුකම් නිවැරැදිව ඉටුවනවා නම් එහි දියුණුව, පැවැත්ම, සුරක්ෂිත බව ය.

සමාජයේ කුඩා ම ඒකකය පවුල ය. එහි සමාජිකයන් ගණන අතීතයට සාපේක්ෂව වර්තමානයේ ඉතා සීමිතය. බොහෝ පවුල්වල මවත්, පියත් ඇතුළුව තවත් දෙතුන් දෙනකුට පමණක් සීමා වී තිබේ. එහෙත් අපේ අතීත පවුල පුළුල් ය. දරුවන් පස් හය දෙනකුවත් විය. එහෙත් අදට සාපේක්ෂව එදා පවුල්වල සාමය, සතුට, සුරැකුණු අයුරු අවිවාදිත ය. දැන් හතු පිපෙන්නා සේ වැඩිහිටි නිවාස ය. ළමා නිවාසය. මේවා අන්‍යෝන්‍ය බැඳීම, ආදරය, සෙනෙහස ගිලිහී යෑමේ ප්‍රතිඵල ය.

අතීත පවුල සරල ය. අවශ්‍යතා සීමිත ය. මවුපියන්ගේ ආදර්ශය තුළ ආදරයෙන් හැදුණු වැඩුණු දරුවන් තුළ අපූරු සහෝදර බැම්මක් විය. ඒ බැඳීම් නිර්මාණය වූයේ සම්බුද්ධ දේශිතය අනුව යමිනි. ඔවුනොවුන් වෙනුවෙන් විය යුතු යුතුකම්, වගකීම් මඟ නොහැරුණු එදා පවුල සාමයේ සංකේතයක් විය.

එහෙත් කාලය ටිකෙන් ටික ගෙවීයත්ම මිනිසුන් තුළ අසීමිත තණ්හාව, ආශාව වර්ධනය වී සහෝදරකම් තබා මවුපියන් පවා මඟ හැරෙන, නොසලකන තැනට වැටුණි. ඒ තුළ කඩා වැටෙන්නේ සාමය දෙදරන්නේ ඒ පවුල් ඒකකයේ පමණක් නොවේ. සමස්ත සමාජ ව්‍යූහයේ ම ය. අද අප ජීවත් වන සමාජයේ බොහෝ මිනිසුන් තුළ ඉවසීම ඇත්තේ ම නැති තරම් ය. එහි අවසානය ජීවිත හානියක් වන තැනට දුර යන අවස්ථා ද අපි දකිමු. මෙවැනකි තත්ත්ව බෞද්ධ සමාජයකට කිසිසේත් සුදුසු නොවේ. ශාස්තෘ ගෞරවය ඇති පුද්ගලයා කිසිවිටෙක එතැනට පත් වන්නේ නැත. හෙතෙම පළමුව තමා තුළ සාමය ගොඩනඟා ගනී. වෛරී සිතුවිලි, තරහව, කෝපය සංසිඳූවා ගනී. ලෝභ, ද්වේෂ, මෝහාදී සිතුවිලි වර්ධනය වන්නට නොදී පාලනයට නතු කර ගනී. ජීවිතයේ යථාර්ථය අවබෝධයෙන් දනී. එවැනි සිතක් ප්‍රශ්න, ගැටලු හමුවේ ගිනියම් වන්නේ නැත.

ආලවක දමනය අපගේ ජීවිතයට මාහැඟි ආදර්ශයකි. බුදුරජාණන් වහන්සේ ප්‍රකෝපකාරී ආලවක දමනය කළේ ගැටුම්කාරී බවින් බැහැර වීමෙනි. ආලවකගේ වියරු, බිහිසුණු ප්‍රතිචාර බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය ඉදිරියේ දියවී ගියේ ය.

මෛත්‍රී සහගත වදන, කරුණාබර ආකල්පය, සාමකාමී හැසිරීම, මෘදු සිත කිසිවකු ඉදිරියේ දෙවැනි වීමක් නොවේ. එය ප්‍රඥාවන්තයාගේ ප්‍රතිපත්තියයි. බෞද්ධයා උත්සාහ කළ යුත්තේ එතැනට පැමිණීමට ය.

You may also like

Leave a Comment