[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධර්ම ප්‍රචාරය ඇරඹුණ වගයි
සිතුවම - හර්ෂ ගුණවර්ධන

  ඉල් පුර
පසළොස්වක 

නොවැම්බර් 29 ඉරිදා අපරභාග 12.47 න් පසළොස්වක ලබා 30 සඳුදා අපරභාර 2.59 න් ගෙවේ.

ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 29

Second Quarterඅව අටවක

දෙසැම්බර් 08

Full Moonඅමාවක

දෙසැම්බර් 14

First Quarterපුර අටවක

දෙසැම්බර් 21

අති පූජ්‍ය නාපානේ පේමසිරි මහ නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව

සුපේෂල,ශික්ෂාකාමි සංඝ පීතෘන් වහන්සේ නමක් ලෙස ලෝක වාසි බෞද්ධ ජනතාවගේ ගෞරවයට පාත්‍රව අවුරුදු 98 ක් ආයූ වළඳා අපවත් වී වදාළ ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිගරු මහා නායක,අග්ගමහා පණ්ඩිත නාපානේ පේමසිරි මහා නා හිමිපාණන් වහන්සේ පසු ගිය 22 දින දහස් සංඛ්‍යාත ජනතාවගේ සෝ සුසුම් මධ්‍යයේ දැයෙන් සමුගත් හ. තෛ‍්‍ර නිකායික මහා සංඝරත්නයේත්, සෙසු ආගමික නායකයින්ගේත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රමුඛ මැති ඇමැතිවරු හා රාජ්‍ය නිලධාරීන්ගේත්, පොදු ජනතාවගේත් සහභාගිත්වයෙන් ආදාහන පූජෝත්සවය පල්ලේකැලේ බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි. උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරවය සහිතව පැවැත්විණි.

 

ධර්ම දේශනාව:

ජීවිතය තේරුම් ගැනීමට අප්‍රමාදී වන්න

තියුණු ප්‍රඥාවක් ඇති කර ගැනීම සඳහා භාවිත කළ හැකි ක්‍රමවේදයක් අංගුත්තර නිකායේ, ඡක්ක නිපාතයේ, නිබ්බේධික සූත්‍රයෙන් විස්තර කෙරේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද යම් ධර්මයක් තිබේ නම්, සෑම විටම එම ධර්මය තුළින් අතිදීර්ඝ භයානක සංසාර එක ජීවිතයක් උරුම වී ඇති සත්ත්ව සන්තානය තුළ ඇති ගැටලු විසඳාගැනීම සඳහා භාවිත කළ යුතු ඉතා ප්‍රායෝගික ක්‍රමවේදයන් සාකච්ඡා කෙරේ. ගැටලුවත්, එම ගැටලුවට හේතුවත්, එය නැති කිරීමත් නැති කරන මාර්ගයත් මොනවට පැහැදිලි කරන ධර්මය ඉතා දුස්සීලකම් කරන්නට පෙළඹෙන, විෂම සිතිවිලි ඇති සන්තානයක් ජීවිත අවබෝධය සහිත ඉතා සාන්ත තත්ත්වයකට පත් කරයි. ජීවිතයේ සත්‍ය තත්වය ඇති සැටියෙන් අවබෝධ වන විට විෂම සිතිවිලි ඉවත් වන්නේ, ලෝභ ද්වේෂ මෝහ ඇතිවන්නට, තදින් අල්වා ගන්නට ලොවෙහි සාරවත් යමක් නැති බව තේරුම් ගන්නා බැවිනි. මෙම නිබ්බේධික සූත්‍රය තුළින් ද ඉතා තියුණු ආකාරයකින් අප ජීවිත තුළ ක්‍රියාත්මක වන ක්‍රියාදාමයන් අවබෝධ කරගන්නා ක්‍රම වේදයක් විස්තර කර ඇත. ජීවිතයට අතිශයින් ම සම්බන්ධ කරුණු හයත්, හය ආකාරයකින් විවිධ වශයෙන් බෙදා දක්වන මෙම සූත්‍ර ධර්මය එම කරුණු තුළින් ජීවිතය විනිවිද දකින්නට මඟ සලසයි. කාමය, වේදනාව, සංඥාව, ආශ්‍රව, කර්මය සහ දුක යන අපේ ජීවිතයට අතිශයින්ම සම්බන්ධ ඉතාම වැදගත් ධර්මතාවයන් හයක් පිළිබඳව මෙසේ හය ආකාරයකින් මෙම සූත්‍ර ධර්මය තියුණු නුවණක් ඇති කර ගැනීම පිළිබඳව ධර්ම පරියාය නමින් හඳුන්වයි. නිබ්බේධික ධර්ම පරියාය යනු එය යි. ඒ ධර්මතාවයන්හි සැබෑ ස්වරූපයත්, ඒවා උපදින්නට හේතු වෙන නිධාන කාරණාවත්, එහි විවිධත්වයත්, ඒ වගේම ඒ තුළින් උපදින විපාකත්, එහි නිරෝධයත්, නිරෝධ ගාමිධෑ පටිපදාවත් යන ආකාර හයකින් ඉහත සඳහන් සෑම ධර්මතාවයක් පිළිබඳව ම විස්තර කර ඇත.

 

ප්‍රථම ධර්ම දූත සේවාව ඇරැඹි ඉල් පොහොය

වස්සාන සෘතුවේ අවසාන දිනය ඉල් පුර පසළොස්වක පොහොය දිනය යි. සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහි ඓතිහාසික සිදුවීම් කිහිපයක් ම මෙම දිනය මූලික කරගෙන සිදු වී තිබේ. ඒ අතර ප්‍රථම ධර්ම දූත සේවාව ඇරඹීම, මෛත්‍රෙය බෝසතාණන් වහන්සේ අප ගෞතම බුදුරජාණන් වහන්සේ හමුවෙහි දී නියත විවරණ ලැබීම, තුන් බෑ ජටිල පිරිස දමනය කිරීම, සැරියුත් මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑම, පසුවස් පවාරණය කළ යුතු දිනය වීම, චීවර මාසයේ අවසන් පොහොය දිනය වීම නොහොත් කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය සිදු කළ හැකි අවසාන දිනය වීම යන සිදුවීම් වඩාත් වැදගත් තැනක් ගනියි. සම්බුද්ධ ශාසනය තුළ පස් නමකගෙන් ඇරැඹි භික්ෂු සමාජය පසුව පැවිද්ද ලබා ගත් යස කුල පුත්‍රයා ප්‍රමුඛ යහළුවන් පනස් හතර දෙනා ද එකතුව රහතන් වහන්සේලා සැට නමක් බවට පත්වුණි. බරණැස ඉසිපතනයෙහි වස් කාලය ගත කළ බුදුරජාණන් වහන්සේ වස් කාලය නිමවීමෙන් පසුව ඉල් පොහොය දිනෙක එකී රහතන් වහන්සේලා සැට නම හෙවත් ප්‍රථම ධර්ම දූත පිරිස අමතා මෙසේ වදාළ හ. මහණෙනි, ලොවට අනුකම්පා පිණිස, දෙව් මිනිසුන්ගේ හිත සුව පිණිස, දියුණුව පිණිස චාරිකාවෙහි හැසිරෙන්න. දෙදෙනකු එක මඟ නො යන්න. මෙම දහම මුල, මැද, අග යහපත් වූවකි. අර්ථ සහිත වූ, හාත්පසින් සම්පූර්ණ වූ, පිරිසුදු වූ, සසුන් බඹසර ලොවට ප්‍රකාශ කරන්න. මෙසේ ප්‍රථම රහතන් වහන්සේලා සැට නම ධර්ම දූත චාරිකාවෙහි පිටත් කොට බුදුරජාණන් වහන්සේ උරුවේලාවට වැඩම කළහ. එකල උරුවෙල් දනව්වෙහි ජටිල සොහොයුරෝ තිදෙනෙක් විසූහ. මේ අතුරෙන් උරුවේල කාශ්‍යපට පන්සියයක් පිරිවර ද, නදී කාශ්‍යපට තුන් සියයක් පිරිවර ද ගයා කාශ්‍යපට දෙසීයක පිරිවර ද සිටියහ. උරුවේලාවේ නේරංජනා නදිය සමීපයේ අසපු ඉදිකරවා ගෙන විසූ ඔවුහු මානයෙන් උදම් ව සිටියහ. බුදුරජාණන් වහන්සේ උරුවේල කාශ්‍යප ගේ අසපුවට වැඩම කොට එහි රැය පහන් කිරීමට නවාතැනක් ඉල්ලා සිටියහ. එහෙත් එහි නවාතැන්දීමට අකැමැති බව උරුවේල කාශ්‍යප බුදුරදුන්ට ප්‍රකාශ කළේ ඊට හේතු ද දක්වමිනි. එනම් ඉඩකඩ ඇති එකම ස්ථානය ගිනිහල් ගෙය පමණක් වීමත් එහි දරුණු නාගයකු වාසය කිරීමත් ය.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]