උතුම් ශ්‍රී සද්ධර්මයෙන් නිවී සැනසෙමු
මහමෙව්නා භාවනා අසපු සංචිතයේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ
ඤාණානන්ද හිමි
සාරාසැකි කල්ප ලක්ෂයක් සමතිස් පෙරුම්දම් සපුරා, දෙතිස් මහා පුරිස ලකුණින් සමලංකෘත ව
අප මහා බෝසතාණෝ වෙසක් පුන් පොහෝ දිනක මෙලොව උපත ලද සේක.
සීලයෙන්, සමාධියෙන් හා ප්‍රඥාවෙන් සුසැදි අරිඅටඟි මඟ පිළිවෙත් සපුරා ගුරූපදේශ රහිතව
චතුරාර්ය සත්‍ය පරිපූර්ණ වශයෙන් අවබෝධ කොට සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කළ සේක.
නිකෙලෙස් හද මඬලෙහි උපන් ශ්‍රී සද්ධර්මය බරණැස ඉසිපතන මිගදායේ දී ලොවට විවරණය කළ
සේක. අතිශයින් ම දුර්ලභ වූ සම්මා සම්බුදුවරයකුගේ පහළ වීම සම්බුදු මුවින් ම මෙසේ
වදාරණ ලද්දේ ය.
“පින්වත් මහණෙනි, එකම පුද්ගලයකුගේ පහළ වීම වනාහී මහා ප්‍රඥා ඇසක පහළවීම ය. මහා
ආලෝකයක පහළ වීම ය. මහා එළියක පහළ වීම ය. සය වැදෑරුම් අනුත්තරීය ධර්මයන්ගේ පහළ වීම
ය. සිව් පිළිසිඹියා ධර්මයන්ගේ සාක්ෂාත් කිරීම ය. අනේක ධාතූන් පිළිබඳ අවබෝධ කිරීම ය.
විද්‍යා විමුක්ති ඵල සාක්ෂාත් කිරීම ය. සෝතාපත්ති ඵලය සාක්ෂාත් කිරීම ය. සකෘදාගාමී
ඵලය සාක්ෂාත් කිරීම ය. අනාගාමී ඵලය සාක්ෂාත් කිරීම ය. අරහත් ඵලය සාක්ෂාත් කිරීම ය.
ඒ කවර පුද්ගලයකුගේ පහළ වීම නිසා ද යත් තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ
පහළ වීම නිසා ය.”යනුවෙනි.
දෙව් මිනිස් ලෝකයාට අමා නිවන් මඟ විවර කර දීමට පහළ වුන සම්මා සම්බුදුරජාණන් වහන්සේ
ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නේ විශිෂ්ට වූ ප්‍රඥාවකින් සහ අපරිමිත කරුණාවකිනි. තමන්
වහන්සේ විසින් වෙනත් කිසිවෙක් නූපදවන ලද නිවන් මාර්ගය උපදවන ලද බවටත් (අනුප්පාදස්ස
මග්ගස්ස උප්පාදේතා), කිසිවෙකු විසින් ප්‍රකාශ නොකළ නිවන් මඟ දේශනා කරන බවටත්
(අනක්ඛාතස්ස මග්ගස්ස අක්ඛාතා), භාග්‍යවතුන් වහන්සේ සිංහනාදයක් කළ සේක. එමෙන් ම එසේ
ධර්මය දේශනා කරන්නේ කුමන අර්ථයක් පිණිස දැයි බුදු මුවින් ම වදාළ සේක.
බුද්ධෝ සෝ භගවා බෝධාය ධම්මං දේසේති
චතුරාර්ය සත්‍ය අවබෝධ කළ භාග්‍යවතුන් වහන්සේ අන් අයට ද ධර්මාවබෝධය පිණිස ධර්මය
දේශනා කරන සේක.
දන්තෝ සෝ භගවා දමතාය ධම්මං දේසේති
පරිපූර්ණ වශයෙන් දමනය වූ භාග්‍යවතුන් වහන්සේ දමනය වීම පිණිස ධර්මය දේශනා කරන සේක.
සන්තෝ සෝ භගවා සමථාය ධම්මං දේසේති
සංසිඳුනා වූ භාග්‍යවතුන් වහන්සේ සංසිඳීම පිණිස ධර්මය දේශනා කරන සේක.
තිණ්ණෝ සෝ භගවා තරණාය ධම්මං දේසේති
සතර අපායෙන් ද, සසර කතරින් ද එතෙර වූ භාග්‍යවතුන් වහන්සේ අන් අයට ද එතෙර වීම පිණිස
දහම් දෙසනා කරන සේක.
පරිනිබ්බුතෝ සෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති
රාග, ද්වේෂ, මෝහ ප්‍රහාණය කොට කෙලෙස් පිරිනිවීමට පත් වූ භාග්‍යවතුන් වහන්සේ
ශ්‍රාවකයන්ට ද කෙලෙසුන් ප්‍රහාණය කිරීම පිණිස, පිරිනිවන් පෑම පිණිස දහම් දෙසනා සේක.
මේ අර්ථයන් පිණිස පන්සාළිස් වසක් මුළුල්ලේ ශාස්තෘන් වහන්සේ අමා දහම් වැසි වැස්ස වූ
සේක.
තමන් වහන්සේ ධර්මය ලෙස දේශනා කරන්නේ කුමක්ද යන්නත් භාග්‍යවතුන් වහන්සේ මැනවින් පහදා
දුන්නේ මෙලෙසිනි. “පින්වත් මහණෙනි, මා විසින් ප්‍රත්‍යක්ෂ වශයෙන් ඇති කරගත් අවබෝධ
ඥානය තුළින් මේ සද්ධර්මය දේශනා කරනු ලබන්නේ. එමෙන් ම බොහෝ දෙව් මිනිස් ජනයා කෙරෙහි
හිත සුව පිණිස, සියලු ලෝකවාසීන් කෙරෙහි මහත් අනුකම්පාවෙනුයි දේශනා කරනු ලබන්නේ. මේ
‘සද්ධර්මය’ ලෙස මා විසින් විස්තර කර දක්වනු ලබන්නේ කුමක් ද? මේ සතර සතිපට්ඨානය ය.
සතර සම්‍යක්පධාන වීර්ය ය. සතර ඍද්ධිපාදය ය. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා යන
අවබෝධය පිණිස තමා තුළ පිහිටන ඉන්ද්‍රිය ධර්ම පස ය. බල ධර්ම පසය. බොජ්ඣංග ධර්ම හත ය.
අංග අටකින් සමන්විත ආර්ය මාර්ගය ය.” වශයෙනි.
එසේ වදාරණ ලද සද්ධර්මය සත්වයන්ගේ පිරිසිදුභාවය පිණිස (සත්තානං විසුද්ධියා), සෝක
කිරීම් වැළපීම්වලින් අත්මිදීම පිණිස (සෝක පරිද්දවානං සමතික්කමාය), කායික මානසික
දුක්වලින් නිදහස්වීම පිණිස (දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය), පරම සත්‍යය කුමක්දැයි
අවබෝධ කරගැනීම පිණිස (ඤායස්ස අධිගමාය), අමාමහ නිවන සාක්ෂාත් කරගැනීම පිණිස
(නිබ්බානස්ස සච්ඡිකිරියාය) පවතින බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක.
භාග්‍යවතුන් වහන්සේ සදහම් ප්‍රචාරය ආරම්භ කරන ලද්දේ පස්වග භික්ෂූන් වහන්සේලා අරබයා
දම්සක ප්‍රවර්තනය කරමින් ය. මංගල දම් දෙසුම අවසන දී කොණ්ඩඤ්ඤයන් වහන්සේ දහම් ඇස පහළ
කරගනිද්දී, අසූ කෝටියක් බඹුන් ද, ගණනින් අතික්‍රාන්ත දේව සමූහයා ද මඟ-ඵල ලබා ගත්හ.
ඉක්බිති ඉසිපතන මිගදායේ දී ම වදහළ අනන්තලක්ඛණ සුතුරින් ඒ වනවිට සෝතාපන්න ව සිටි
පස්වග භික්ෂූන් වහන්සේලාගේ සිත්සතන් නිකෙලෙස් වී අරහත් මුනිවරුන් පස්නමක් ලෝකයට
බිහිවූ සේක. අනතුරුව යසකුල පුත්‍රයා ප්‍රමුඛ යහළුවන් පනස්පස් දෙනා පැවිදි ව
අරහත්වයට පත්වීමත් සමඟ ලෝකයෙහි රහතන් වහන්සේලා හැටනමක් බිහිවූ සේක.
ගෞතම බුදු සසුනේ පළමු රහත් හැටනම ඇමතු දසබලයන් වහන්සේ මෙසේ විධාන කළ සේක. “මහණෙනි,
මම දෙවියන් පිළිබඳ වූ යම් ක්ලේෂ බන්ධන ඇද්ද, මිනිසුන් පිළිබඳ වූ යම් ක්ලේෂ බන්ධන
ඇද්ද ඒ සියලු ක්ලේෂ බන්ධනයන්ගෙන් මිදුනෙමි. මහණෙනි, ඔබ ද දෙවියන් පිළිබඳ වූ ද,
මිනිසුන් පිළිබඳ වූ ද යම් ක්ලේෂ බන්ධනයක් ඇද්ද ඒ සියලු ක්ලේෂ බන්ධනයන්ගෙන් මිදුනාහු
ය. (මුත්තෝහං භික්ඛවේ සබ්බපාසේහි යේ දිබ්බා යේ ච මානුසා. තුම්හේපි භික්ඛවේ මුත්තා
සබ්බපාසේහි යේ දිබ්බා යේ ච මානුසා). මහණෙනි, බොහෝ දෙනාට හිත පිණිස ද,
බොහෝ දෙනාට සැප පිණිස ද, ලොවට අනුකම්පා පිණිස ද, දෙවිමිනිසුන්ට යහපත පිණිස ද, හිත
පිණිස ද, සැප පිණිස ද චාරිකාවෙහි හැසිරෙව්. එක මඟකින් දෙනමක් නොවඩිව්. (චරථ භික්ඛවේ
චාරිකං බහුජනහිතාය, බහුජනසුඛාය, අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං, මා ඒකේන ද්වේ
අගමිත්ථ). මහණෙනි, මුල මැද අග යහපත් වූ, පැහැදිලි අර්ථ සහිත, පැහැදිලි වචන සහිත
සම්පූර්ණයෙන් පිරිපුන් වූ පිරිසිදු නිවන්මඟ ප්‍රකාශ කරව්. කෙලෙස් අඩු සත්වයෝ
සිටිති. ඔවුහු දහම් අසන්නට නොලැබීමෙන් පිරිහී යන්නාහ. ධර්මය අසන්නට ලැබුණොත් අවබෝධ
කරන්නාහ.
මහණෙනි, මම ද උරුවෙල් දනව්වෙහි සේනානි නියම් ගමට දහම් දෙසනු පිණිස වඩින්නෙමි.
තථාගතයන් වහන්සේත් ඒ උත්තම රහතන් වහන්සේලාත් සිදුකළ සදහම් ප්‍රචාරය කොතරම් සාර්ථකවී
ද යත්, වසරක් ඇතුළත දඹදිව් තලයෙන් රහතන් වහන්සේලා විසි දහසක් බිහිවූ සේක.
භාග්‍යවතුන් වහන්සේ සම්බුද්ධත්වයෙන් වසරක් ගත වූ කල්හි ශාක්‍ය දේශයට ඥාති සංග්‍රහය
පිණිස වැඩම කරන ලද්දේ නිකෙලෙස් හද මඬලක් දරාගත් ඒ අරහත් මුනිවරුන් විසිදහස
පිරිවරාගෙන ය. ඉක්බිති දඹදිව් තලය කසාවතින් බැබළී ගිය සේක් විය. දහස් ගණනින් පැවිදි
ශ්‍රාවකයන් බිහිවූහ. මහා ප්‍රජාපති දේවිය ප්‍රමුඛ ශාක්‍ය කුලංගනාවන්ගේ අප්‍රතිහත
ධෛර්යය නිසා වනිතාවන්ට ද කසාවතේ උරුමය ලැබිණි. එසේ ම කෝටි සංඛ්‍යාත උපාසක උපාසිකාවෝ
ද අමා සදහම් අසා ගෞතම බුදු සසුනේ සනාතන රැකවරණය සලසා ගත්හ.
දඹදිව් තලයට පමණක් සීමා වී තිබූ ඒ අසිරිමත් සදහම් සන්දේශය තුන්වෙනි ධර්ම
සංගායනාවෙන් පසු අප මාතෘ භූමිය ඇතුළු අපරන්ත දේශයන් කරා ද ව්‍යාප්ත විය. දීපප්පසාදක
අනුබුදු මිහිඳු හිමියන්ගේ වැඩමවීම නිසා ඒ අසිරිමත් සදහම් දායාදය අපට ද උරුම විය.
රන් බඳුනක සිංහ තෙල් බහා තබන්නා සේ ඒ අසිරිමත් ශ්‍රී සද්ධර්මය වනපොත් කරමින්
හදමඬලෙහි දරාගත් රහතන් වහන්සේලා ප්‍රමුඛ උත්තම සඟ පරපුර අලුලෙන් වෙහෙරෙහි දී
සම්බුද්ධ භාෂිතයන් සංගෘහිත ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කොට සුරක්ෂිත කළ සේක.
ශාස්තෘ දායාදය වූ ඒ අමිල නිමල ධර්ම-විනය අප ජාතියේ ජීවනාලියයි. සනාතන රැකවරණයේ
මාර්ගෝපදේශකත්වයයි. ඒ උතුම් සද්ධර්මයෙන් අපගේ ජීවිත නිවා සනසා ගන්නට අප කාටත්
වාසනාව උදාවේවා..! |