සිත සැහැල්ලු වන්නේ
සරල වූ තරමට යි
බළංගොඩ
ශ්‍රී ධර්මානන්ද පිරිවෙන් විහාරාධිපති
කරගොඩ උයන්ගොඩ
මෛත්‍රී මූර්ති මහ නා හිමි
කරණීය මෙත්ත සූත්‍රයට අනුව මෛත්‍රී භාවනාව වඩන්නා විසින් පළමුකොට ම තමා තුළ ඇති
කරගත යුතු මූලික ලක්ෂණයකි සක්කෝ යන්න. මෙයින් අදහස් කරන්නේ හැකි බවයි.
මට පුළුවන්
එනම් පුළුවන් යන හැඟීමයි. බැහැ යන අදහසින් ඉවත් ව මට පුළුවන්, මට හැකියාව තිබෙනවා
යන හැඟීම භාවනාව වඩන්නට පමණක් නොව ලෞකික ජීවිතය ගත කරන්නකු තුළ ද තිබිය යුතු වැදගත්
ම ගුණාංගයකි. අලසකම, කුසීතකම වැනි පසුබසින ලක්ෂණ ජීවිතය කාලකණ්ණි බවට පත්කරයි.
සක්කෝ යන උතුම් ගුණාංගය ප්‍රකට ව ක්‍රියාත්මක කර පෙන් වූ චරිතයක් ලෙස අප මහ
බෝසතාණන් වහන්සේගේ චරිතාපදානය දක්වන්නට පුළුවන.
බෝසත් චරිතයෙන්
දීපංකර බුදුරදුන් ඉදිරිපිට සුමේධ තවුසා ලෙසින් ඉලක්ක ගත ගමනකට අධිෂ්ඨාන පූර්වක
හැඟීමක් ඇතිකර ගැනීම, ඉලක්කය සපුරා ගැනීම සඳහා ප්‍රශ්න අභියෝග,ගැටලු රාශියකට මුහුණ
දෙමින් පැමිණි වීර්යවන්ත ගමන, අවුරුදු හයක් දුෂ්කර ක්‍රියා කිරීම, එයින් අධෛර්යයට
පත් නොවී මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීම, බෝධි වෘක්ෂ මූලයේ දී මාගේ සම්, මස්,
නහර, ඇට වියළී ගියත් බුදු වී මිස නොනැඟිටිමි'යි චතුරංග සමන්නාගත වීර්යයෙන් යුක්තව
අධිෂ්ඨානයක් ඇති කර ගැනීම ‘සක්කෝ’ යන ගුණයෙහි උච්චතම අවස්ථාව පෙන්නුම් කිරීමකි.
ලෝකයේ සිටි සමහර වීර චරිතයන් දෙස බලන්න. මොන තරම් බාධක එල්ල වුණත්, ඒවාට අභීතව
මුහුණ දුන් අයුරු බලන්න. ප්‍රශ්නවලින් පසුබෑමකට ලක්වූයේ නැත.
ඉදිරි ගමනට
අද සමාජය දෙස බලන විට අධ්‍යාපන ක්ෂේත්‍ර තුළින්, ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළින්
පහසුකම්වලින් තොරව විවිධ දුෂ්කරතා මධ්‍යයේ ඉදිරියට ගිය බොහෝ චරිත දැකගන්නට පුළුවන.
එබඳු චරිත අධ්‍යයනය කිරීම, හඳුනා ගැනීම, ළමා, තරුණ ලෝකයාගේ ඉදිරිගමනට මහඟු ශක්තියක්
වනු ඇත.
විමුක්තිකාමියකු වශයෙන් ගත් විට උපන් අකුසල් නැති කිරීමටත්, උපන් කුසල් වැඩිදියුණු
කිරීමටත් උත්සාහ කළ යුතු ය. තම සිත කෙලෙස් හැඟීම්වලින් අපවිත්‍ර වන්නට නොදී ආරක්ෂා
කර ගැනීමට ක්‍රියා කළ යුතුව ඇත. භික්ෂුවක වශයෙන් ගත්විට තමා සතු වත් පිළිවෙත්
පිරීමෙහිලා උනන්දු විය යුතු ය. සිවුරු පාත්‍රා ආදිය සකසා ගැනීම, අතුපතු ගා පරිසරය
පවිත්‍රව තබා ගැනීම, අන්‍ය භික්ෂූන්ට අවශ්‍ය අවස්ථාවල උදව් උපකාර කිරීම, තම වගකීම්
ලෙස සලකා ඒ පිළිබඳ ව නිසි අවධානයෙන් ක්‍රියා කළ යුතු ය.
ගිහි සමාජය දෙස බලන විට තමා වෙත පැවැරී ඇති වගකීම්, රාජකාරී යුතුකම් සම්පූර්ණ
කිරීමට නොපසුබට විය යුතු ය. බුදු දහමෙහි උට්ඨාන සම්පදා ලෙස හැඳින් වූ ආකාරයට
ඉගෙනීමේ සිට සියලු ජීවනෝපායයන් ඵලදායී මට්ටමට ගෙන ඒම සඳහා කැපවීම මෙහිදී අත්‍යවශ්‍ය
ය.
නොමඟට ගෙන යන බලවේග
වර්තමාන සමාජය දෙස බලන විට මිනිසා නොමඟට ඇදගෙන යන බලවේග රාශියක් දැක ගන්නට පුළුවන්.
නුසුදුසු පුද්ගල ඇසුර, මත්ද්‍රව්‍ය උවදුර, සූදුව, සමහර විනෝදාත්මක සාදයන් බලා
සිටියදී ම මිනිසා ප්‍රපාතයට ඇද දමන බලවේගයන් ය. මේවාට හසු නොවී ඔබ යන ගමන ඉදිරියට
යාම ඔබ සතු වගකීමක් වනු ඇත. පංච දුෂ්චරිතයෙන් වෙන්ව, සදාචාරවත් ජීවිතයක් ගත කිරීමට
හැකියාව ඇත යන්න අප තුළ රෝපණය කර ගත යුතුව ඇත. මිනිස් ජීවිතයක් ලද අප එම ජීවිතයෙන්
උපරිම ඵල නෙළා ගැනීමට උත්සුක වීම ගිහි පැවිදි දෙපිරිස ම සතු බලවත් වගකීමක් වනු ඇත.
අනවශ්‍ය අයුරින් වැඩ කටයුතු ගොඩක් බදා ගත් විට එක වැඩක් වත් නිවැරැදිව කළ නොහැකි
වනු ඇත. ගිහි පැවිදි දෙපක්ෂයේ ම කාර්ය භාරය සංකීර්ණ අවුල් සහගත මට්ටමකට පත්වනු ඇත.
කෙළවරක් නැති, විවේකයක් නැති, තෘප්තියක් නොවන වැඩ රාශියකට යොමු වූ විට මනස අවුල්
වේ. සිත සැහැල්ලු වන්නේ සරල වූ තරමටයි. ඉටුකළ යුතු වගකීම් යුතුකම් අත්හැරීම හෝ
පැහැර හැරීම මෙයින් අදහස් නොවේ. තෝරාගත් නිවැරැදි ධාර්මික කාර්යයක කල්පනාකාරී ව
නියුක්ත වීම සාර්ථක ගමනකට මගයි.
කම්මාරාමතා, භස්සාරාමතා, ගණසංගතිකාරාමතා, නිද්දාරාමතා යන ඇලීම්වලින් භික්ෂූන්
වහන්සේ දුරස් විය යුතු බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ. ගිහි පක්ෂයට ද මේ කරුණු
ඉතා වැදගත් ය. කම්මාරාමතා යනු නොයෙක් කාර්යයන්හි නිරතවීමයි. සරල ව කියනවා නම් වැඩ
වැඩිකර ගැනීමයි. වැඩ වැඩිවන විට ඒවායෙය් පිළිවෙළක් නැත.
‘භස්සාරාමතා’ යනු නිතර කතාවේ ඇලීමයි.
දියුණුවේ රහස
වැඩි කතාව කාලය කා දැමීමකි. ‘මිතභාණී’ යනු බුදුදහමෙහි ඉගැන්වෙන වැදගත් වචනයකි.
තමන්ටත්, අනුන්ටත් වැඩ ඇති යහපත් ඵලදායී දේ පමණක් කතා කළ යුතු ය. දෙතිස් කතාවෙන්
කල් ගෙවීම වටිනා කාලය විනාශ කර දැමීමකි. එක් අවස්ථාවක මාධ්‍යවේදියෙක් ජපන්
ජාතිකයකුගෙන් ඔබගේ රට ඉක්මණින් දියුණු වූයේ කෙසේදැයි ප්‍රශ්න කළ විට ජපන් ජාතිකයා
දුන් පිළිතුර වූයේ කරුණු තුනකි.එනම්, අපේ රටේ මිනිසුන් අපේ රටට ආදරය කරනවා, අපේ රටේ
මිනිස්සු වෙලාවට වැඩ කරනවා, වැඩ කරන වෙලාවට ඔවුන් වැඩ යනුවෙනි.
‘නිද්දාරාමතා’ යනු නින්දට පුරුදු වීමයි. උදෑසන අට නවය වන තුරු නිදා ගන්නා තරුණ
දරුවො මොනතරම් සිටිනවා ද? මේ යන ගමන පරිහානියට මිස දියුණුවට නොවන බව තේරුම් ගන්නා
විට ඔවුන්ට තමන් විසින් විනාශ කරන ලද ගෙවුන කාලය ඇතුන් ලවාවත් අද්දවා ගත නොහැකි ය.
දිනකට පැය හත අටක් නිදාගැනීම නිරෝගී ජීවිතයකට ප්‍රමාණවත් ය. නින්දට වැඩි කාලයක්
ගෙව්වේ නම් ජීවිකාවක් කර ගන්නට කාලය සොයා ගන්නේ කෙසේද? සුළු කාලයකින් වැඩි වැඩක්
කරන්නට යෑම අවුල් ජාලාවකට මුල ය. හිත අවුල් වූ විට අන්‍යයන් සමග ද ප්‍රශ්න ඇතිවේ.
සතුට පලායාම එහි ප්‍රතිඵලයයි. එම ජීවිතය අතෘප්ති කරයි. මේ නිසා වැඩ අඩු කරගෙන කළ
යුතු දේ හොඳට කිරීමට අදිටන් කරගන්න. මානසික සුවයට, සතුටට හා සැහැල්ලුවට මග එයයි.
තැනට සුදුසු නුවණ
අප හැම දෙනාම තැනට සුදුසු නුවණින් බුද්ධියෙන් කටයුතු කිරීමට හුරු පුරුදු විය යුතු
ය. විශේෂයෙන් අධ්‍යාපනය ලබන දරුවාට තම ඉගෙනුම සඵල කර ගන්නට නම් ස්ථානෝචිත
ප්‍රඥාවෙන් කටයුතු කිරීම, අත්‍යවශ්‍ය කලණ මිතුරන් හඳුනාගැනීම, වීර්ය වන්ත බව, තම
ජීවිතයට අවශ්‍ය උපදේශන ලබා ගැනීම, ඉගෙනුම් කාරක උපකරණ සම්පාදනය, පරිසරය පිළිබඳ
සැලකිලිමත්වීම වැනි කරුණු වැදගත් වනු ඇත.
බොහෝ දෙනකුට එදිනෙදා ජීවිතයේ කටයුතු පිළිබඳ සැලසුමක් නැත. උදෑසනින් පිබිදී එදා කළ
යුතු කාර්යයන් ගැන මොහොතක් සිතන්න. තමන් අදහස් කරන දේ ක්‍රියාත්මක කිරීමෙන්
බලාපොරොත්තු වන ප්‍රතිඵලය කුමක්ද? ඒ සඳහා අවශ්‍ය කරන දේ මොනවාද? මතුවන ගැටලු විසඳා
ගැනීමට අවශ්‍ය කරන දේ මොනවාද?තම ක්‍රියාදාමයට බාධක, වැටකඩොලු මොනවා ද? ඒවා විසඳා
ගැනීමට කළ යුත්තේ කුමක් ද? මේ අයුරින් හිතන්න. මේ ආකාරයෙන් අවධානය යොමු නොකර කරන ලද
කාර්යයන් සාර්ථක වූයේ ද? අසාර්ථක වූයේ ද? මේ අයුරින් ද සිතන්නට පුරුදු වන්න. ඒවා
බොහොමයක් අසාර්ථක වී ඇති බව ඔබට ම ප්‍රත්‍යක්ෂ වනු ඇත. විවාහයට පෙර සහකරු හෝ
සහකාරිය ගැන ඔබ අධ්‍යනය කළා ද? හිතුමතේ දුරදිග නොබලා නොවිමසා කළ විවාහ නිසා මොනතරම්
පවුල් ජීවිත අවුල් වී ඇත්ද?
ඉලක්කයක් ඕනෑ
ළිං මැඩියාට ලෝකය නොපෙනේ. ඌ දකින්නේ ළිං පතුළ පමණි. ළිං මැඩියෙකු සේ ගෙවන ජීවිතයේ
ඵලය කුමක්ද? එහි ප්‍රතිඵලය අනතුරු, අවදානම, අසාර්ථක බව පමණි.
ලොව සිදුවන සිදුවීම් වැදගත් චරිත අධ්‍යයනය කරන්න. ඒවා දෙස විමසීමෙන් බලන්න. පොත පත
කියවන්න. අභියෝග ජයගත් ආකාරය තේරුම් ගන්න. ස්ථානෝචිත ප්‍රඥාව මානසික හා කායික
සුවයටත්, ජයග්‍රාහී ඉලක්කගත ගමනටත් මාර්ගය පාදා දෙනු ඇත. |