[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සැබෑ මිත්‍රත්වය හඳුනාගන්නේ කෙසේද?

සැබෑ මිත්‍රත්වය හඳුනාගන්නේ කෙසේද?


2020 වසරේ ජූලි මස දිනුම් ඇදි පවර්බෝල් ජැක්පොට් ලොතරැයිය කැලිෆෝනියාවේ ටොම් කුක් මහතා විසින් දිනාගනු ලැබිණි. අතිශය පී‍්‍රතියට පත් හෙතෙම මුලින්ම කළේ වහාම සිය කුඩා කල පටන් අතිජාත මිතුරා වූ ජෝසෆ් ෆිනි මහතාට දුරකතනයෙන් ඇමතීම ය.

‘ජෝ මම පවර්බෝල් ලොතරැයිය දින්නා.’

‘මොනවා ටොම්, කොච්චර සතුටක් ද? මගේ උණුසුම් සුබපැතුම්. ජෝසෆ් මහතා සිය මිතුරාට සුබ පැතීය. ‘ජෝ මම කතාකළේ සුබපතන්න නෙවෙයි.’

‘එහෙනම් ටොම්? ජෝසෆ් මහතා කුතුහලයෙන් ඇසී ය. ටොම් මහතාගේ පිළිතුර හෙතෙම අදහාගත නොහැකි විස්මයකට පත් කළ එකක් විය.

‘ජෝ මම කතා කළේ මම ඔයාට එයින් බාගයක් ම දෙනවා කියන්නයි. මතකද අපි විස්කොන්සින්වල ඉන්න කාලෙ 1992 අවුරුද්දෙ පොරොන්දු වුණා දෙන්නගෙන් කවුරුහරි පවර්බෝල් ලොතරැයිය දින්නොත් බාගෙට බාගෙ බෙදාගන්නවා කියලා. දැන් වෙලාව හරි ඒක ඉෂ්ට කරන්න.’

‘ටොම් ඔයා කීයක් ද දින්න ගාණ?’

‘අමෙරිකන් ඩොලර් මිලියන 22ක්’

මෙම මිත්‍රත්වයේ කතාව අමෙරිකානු රූපවාහිනී, ගුවන්විදුලි හා පුවත්පත් සේ ම සමාජ මාධ්‍ය ඉහළින් ම වර්ණනා කළ සිදුවීමක් විය.

දුකේ දී පිහිට වන මිතුරා සැපේ දී අතහැර දමන ලෝකයකට මේ මිත්‍රත්වය අරුමයක් නොවන්නේ කෙලෙස ද?

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තරම් පැහැදිලිව සැබෑ මිත්‍රත්වය නිර්වචනය කළ ශාස්තෘවරයකු මේ තාක් ඉතිහාසය තුළ හමු වී නොමැත.

ලෞකික මිත්‍රත්වයේ සිට ලෝකෝත්තර කල්‍යාණ මිත්‍රත්වය දක්වාම භාග්‍යවතුන් වහන්සේ මනා විස්තරයන් ඉදිරිපත් කොට තිබේ. ලෞකික මිත්‍රත්වය මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීමට ඉවහල් වන අතර, ලෝකෝත්තර මිත්‍රත්වය පරලොව දිවියත්, සාංසාරික නිර්වාණගාමී ප්‍රතිපදාවත් සාර්ථක කර ගැනීමට අත්‍යවශ්‍ය වෙයි.

ලෞකික මිත්‍රත්වය අද බහුලව ඇතිවනු දැකිය හැකි ය. ජ්චජඥ ඡධධඬ, ඊඹඪබබඥප, ඹ්ඪදඬඤඪද ආදී සමාජ මාධ්‍ය හරහා මිනිසුන් ඇති කර ගන්නා ඇතැම් මිත්‍රයින් කිසිදා නුදුටු අයයි. එසේ සම්බන්ධ වූ පමණින් කෙනෙකු සැබෑ ලෞකික මිතුරකු ලෙස සැලකිය නොහැක. සැබෑ ලෞකික මිතුරෙක් ලෙස යමකු ගිණිය හැක්කේ තම මිතුරාට පරිත්‍යාගශීලී බවින් යුත්, පි‍්‍රය වචනයෙන් සිත සනසන හා උද්‍යෝගිමත් කරන, කටයුතුවලදී සිය සහයෝගය වාචික ව සේ ම කායිකව ද මනාව සලසා දෙන, පි‍්‍රයශීලී, සමානාත්මතාවයෙන් තමාට සලකන කෙනෙකු පමණි. අවශේෂ නාමික මිතුරුකම් දියේ ඇඳි ඉරක් බඳු ය. අද තිබේ. හෙට නො පවතී. අප තේරුම්ගත යුතු සැබෑ යථාව එයයි.

ලෞකික මිත්‍රයකු තුළ තිබිය යුතු ගුණ හතක් භාග්‍යවතුන් වහන්සේ අංගුත්තර නිකායෙහි දක්වා ඇත. (අං.නි. 33, 43)

හෙතෙම දීමට අපහසු දේ දෙයි.

හෙතෙම කිරීමට අපහසු දෑ මිතුරා වෙනුවෙන් කරයි.

මිතුරා වෙනුවෙන් ඉවසීමට අපහසු දේ ඉවසයි.

තමාගේ රහස් මිතුරාට පවසයි.

මිතුරාගේ රහස් රකියි.

දුෂ්කර අවස්ථාවල දී ඔබ තනි නොකරයි.

දුප්පත්බවට හෙවත් ධන හානියට පත් වූ කල මඟ නොහරියි.

යමෙකු ලෝභී නම්, විපතේ දී මිතුරා මඟහැරයා නම්, වහා කුපිතවන සුළු නම්, කේලාම් කීමට ඇබ්බැහි වී සිටී නම්, දුප්පත් පුද්ගලයා තලා පෙලා කතා කරයි නම්, හේ මිතුරකුවීමට අවශ්‍ය ලක්ෂණ නැත්තකු සේ ම මිතුරන් රහිත හෝ ඉතා කුඩා මිතුරන් සංඛ්‍යාවක් සහිත කෙනෙකු බවට පත් වෙයි.

එසේම මිතුරකුට මේ ගුණ සිත පැවතිය ද හෙතෙම දුශ්චරිතයෙන් යුක්ත වේ නම්, එබඳු අය අතේ දුරින් ආශ්‍රය කිරීම කටයුතු ය. යමෙක් සතුන්ට හිංසා කරයි නම්, හෝ ඝාතනයෙහි යෙදේ නම්, නුදුන් දේ සොරකම් කරයි නම්, කාමයේ වරදවා හැසිරේ නම්, බොරු කියනුයේ නම්, මත්ද්‍රව්‍ය භාවිතයේ යෙදේ නම්, පරුෂ වචන හෝ හිස් වචන නිතර කතා කරයි නම් ඒ පුද්ගලයා ලෞකික මිත්‍ර ලක්ෂණවලින් යුතු වුව ද ප්‍රවේශමෙන් ආශ්‍රය කළ යුතු ය. මන්ද යත් එවැන්නන් නිසා කරදර ද, පීඩා ද, උපද්‍රව ද, ජීවන ගැටලු ද, නැති දුර්ගුණ ද අප කීර්තිය ද, අකාරණේ වන නින්දාවන් ද අනපේක්ෂිත ව තමාවෙත ආ හැකි බැවිනි. ඌරන් සමඟ ළඟිනා කල නැඟිටීමට සිදුවන්නේ මඩ සමඟ බව පැරැන්නන් කියා ඇත්තේ මෙකරුණ මූලිකකොටය.

ලෞකික මිත්‍රත්වයට වඩා භාග්‍යවතුන් වහන්සේ ලෝකෝත්තර මිත්‍රත්වය ඉහළින් අගය කළහ. සත්පුරුෂ ආශ්‍රය, පණ්ඩිත සේවනය, කල්‍යාණ මිත්‍රතාව වැනි යෙදුම් ඔවුන් විශේෂකොට දැක්වීමට බුදුරජාණන් වහන්සේ භාවිත කළ සේක.

කල්‍යාණ මිත්‍රයෙකු හඳුනාගත හැකි ක්‍රම 07ක් භාග්‍යවතුන් වහන්සේ දක්වා ඇත.

පි‍්‍රය බව. කල්‍යාණ මිත්‍රයාගේ ශීල සමාධි ගුණ නිසාම හෙතෙම සැමට පි‍්‍රය කෙනෙකු වෙයි. අවිහිංසාවාදී, සොරකමින් තොර, කාමයෙහි වරදවා නොහැසිරෙන, රහමෙරින් වැළකුණ පුද්ගලයා ආශ්‍රයට ලැබීම ම මොනතරම් සුන්දර ආශිර්වාදයක් ද?

ගරුකටයුතු බව

සීල, සමාධි, ප්‍රඥා ගුණ වැඩීම ඉතා අපහසු කටයුත්තකි. යමෙක් එය වඩනවා යනු ගඟ උඩුගම් බලා පිහිනීමක් සේ ය. එහෙයින් එබඳු උතුම් මිනිසුන් ලොව දුර්ලභ ය. නුවණැත්තන් විසින් ගරු කට යුතු ය. කල්‍යාණ මිතුරා එබන්ඳෙකි.

ප්‍රශංසාවට සුදුසු බව

සැමට මෙත් සිතින් යුක්තව කායිකව, වාචිකව සේ ම මානසිකව හැසිරෙන කල්‍යාණ මිතුරා ප්‍රශංසනීය වේ.

සුදුසු කතාවට දක්ෂ බව

කල්‍යාණ මිතුරා බොරුව, කේලම, පරුෂ වචනය හා තේරුමක් නැති දේ කතා නොකරන, සැනසිලිමත්, සමදිදායක හා දිරිය වඩන, සත්‍ය වූ ද, මිහිරි වූද, සෘජු වූ ද කතා ඇත්තෙකි. ඇත්තක් වුව ද මෙය සුදුසු කාලය ද, ඒකාන්ත සත්‍යයක් ද, කිවහොත් පලක් වේද, සුමුදු හෝ රළු බසින් කිවයුතු ද, කියන්නේ මෙත් සිතින් ද , තරහින්දැයි තෝරා බේරා කතා කරන්නෙකි. යහපත් අවවාද කරන්නෙකි.

වදන් ඉවසන බව

කලණ මිතුරා හොඳ සවන් දෙන්නෙකි. ඉවසීමට අපහසු කටුක බස් ඉවසන්නෙකි. සියවදන ඉක්මවා නොයන්නෙකි. කියන දේ කරන, කරන දේ කියන පුද්ගලයෙකි.

ගැඹුරු දහමට යොමු කිරීම

කලණ මිතුරා දහම දන්නෙකි. තමා දහම් ගැඹුරට යන සේ ම සිය මිතුරා ද වෙරළේ සිට මුහුද මැද දක්වා දිවෙන ගමනක් සෙයින් සරල දහමේ සිට ගැඹුරු වූ චතුරාර්ය සත්‍ය අවබෝධය දක්වා පුහුණුවට උද්‍යෝගයෙන් උපකාර කරයි.

සුදුසු තැන යෙදවීම

කලණ මිතුරා සිය මිතුරා ඇති වරදින් මුදවයි. නැති වරදින් දුරින් ම දුරුව සිටීමට අවවාද කරයි. නැති යහපත ඇතිකර ගැනීමටත්, ඇති යහපත වැඩිදියුණු කොට පවත්වාගෙන යාමට කැමැත්ත, වීර්යය, වෑයම, සිත පහදා ගැනීම හා පුහුණු වීමටත් නිසිලෙස මිතුරා යොදවයි.

කලණ මිතුරකු සමඟ යම් මිත්‍රත්වයක් ඇත් ද ඒ මිත්‍රත්වය ඇති තැන දිනෙන් දින ලෞකික හා ආධ්‍යාත්මික දියුණුවක් මිස පරිහානියක් කිසිදා නොවන හෙයින් දුලබ වුව ද නුවණැත්තෝ සැබෑ කලණ මිතුරන් ම සොය සොයා ඇසුරු කළ යුතු ය.

  ඉල් පුර
පසළොස්වක 

නොවැම්බර් 29 ඉරිදා අපරභාග 12.47 න් පසළොස්වක ලබා 30 සඳුදා අපරභාර 2.59 න් ගෙවේ.

ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 29

Second Quarterඅව අටවක

දෙසැම්බර් 08

Full Moonඅමාවක

දෙසැම්බර් 14

First Quarterපුර අටවක

දෙසැම්බර් 21

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]