ඉල් පුන් පෝ දින ප්‍රදීප පූජා මංගල්ලය
ශ්‍රී දළදා මාළිගාවේ
දේශීය බෞද්ධ කටයුතු කාර්යාංශයේ
ලේකම්
කේ. මීගහකුඹුර
මානව ඉතිහාසයේ මුල සිටම වාගේ අග්නි පූජාව සුවිශේෂී වූ පූජාවක් ව පැවතිණ. හින්දු
සමයේ අග්නි පූජාවට විශේෂ වැදගත් තැනක් හිමිවේ. දඹදිව උපත ලැබූ බුදු සමයෙහි ද ආමිෂ
පූජාවක් වශයෙන් ප්‍රදීප පූජාව ප්‍රධාන තැනක් ගනී. අවිද්‍යා අන්ධකාරය දුරු කොට
ප්‍රඥාවේ ආලෝකය දැල්වීමට ප්‍රදීප පූජාව බොහෝ සේ ඉවහල් වෙතැයි විශ්වාස කෙරේ.
අසූහාර දහසක් ධර්මස්කන්ධය සංකේතවත් කොට, අසූ හාර දහසක් පහන් පූජා පින්කම් පැවැත්වීම
මෙකල ද බෞද්ධයන් අතර ප්‍රචලිත ව පවතී.
කුරු රට ධනංජය රජු ඉල් මාසයේ දී කාර්තික නම් සැණකෙළියක් පැවැත්වූ වග කුරුධම්ම ජාතක
කථාවෙහි සඳහන් වේ. ලක්දිව අනුරපුර පණ්ඩුකාභය රජු සමයෙහි චිත්‍රරාජ හා කාලවේල යක්ෂ
නායකයන් උදෙසා කාර්තික පූජාව පැවැත්වූ බව සෙනරත් පරණවිතාන සූරින් සඳහන් කරයි.
කුරුණෑගල යුගයේ රචිත දළදා සිරිතේ හත්වන පිරිසිඳෙහි ව්‍යවස්ථාගත ව ඇති අයුරු
“අවුරුද්දේ කාත්තියේ රජ දරුවනට පඬුරු පානා නොයෙක් ධූරයෙන් පළමුවැ දළදා පඬුරු පෑ
පසුව රජ දරුවනට පඬුරු පානා ඉසා”, යනුයෙන්, පළමුව දළදා වහන්සේට පඬුරු පූජාකොට,
දෙවනුව රජතුමාට පඬුරු පිළිගැන්විය යුතු බව පවසයි.
ස්කන්ධ පුරාණයට අනුව කැති නැකතින් උපන් කාර්තිකේය හෙවත් කඳ සුරිඳු උදෙසා ඉල් මැදි
පෝය දින ප්‍රදීප පූජා පැවැත්වීම හින්දූන් තුළ දුරාතීතයේ පටන් පැවතෙන පූජා
චාරිත්‍රයකි. ස්කන්ධ හෙවත් කතරගම දෙවියන්ගේ උපත පිළිබඳ ප්‍රධාන මත දෙකක් පවතී.
ඊශ්වරගේ නළලත පිහිටි තෙවන ඇසින් නිකුත් වූ අග්නි රැස් දහරාවෙන් උපන් දරුවන් හය
දෙනකු උමා දේවිය විසින් එකට බදා ගැනීමෙන් පසු එක් දරුවෙක් බවට පත්වී කතරගම දෙවියන්
පහළ වූ බව එක් මතයකි. එම දරුවන් හය දෙනා සංකේතවත් කරමින් මුහුණු සයක් ද, අත්
දෙළොසක් ද කතරගම දෙවිඳුන්ට පිහිටා ඇත.
අනෙක් මතයෙන් කියැවෙනුයේ ඊශ්වරයා සතුව බලවත් මන්ත්‍රයක් වූ අතර, එය මතුරා කෙනෙකු
හිස මත අත තබා අළු කළ හැකි විය. එම මන්ත්‍රය ඊශ්වරගෙන් උගත් අසුරයා ඊශ්වර දවා අළු
කිරීමේ අදහසින් ඔහු පසු පස එළවාගෙන යද්දී මේ බව දුටු විෂ්ණු සිදුවීමට යන විනාශය දැක
රූමත් ස්ත්‍රී රූපයක් මවා ගෙන අසුරයා හමුවට ගොස් උපක්‍රමයෙන් අසුරයා රවටා එම
මන්ත්‍රයෙන් අසුරයා දවා අළුකොට ඊශ්වරයා බේරාගන්නා ලදී.
තමා පසුපස එළවාගෙන ආ අසුරයා වෙනුවට ඊශ්වරට රූමත් ස්ත්‍රියක් දක්නට ලැබිණ. මෙසේ
දක්නට ලැබුණු රූමත් ස්ත්‍රිය කෙරේ බැදුණු ඊශ්වර ඇය විවාහ කරගැනීමට කැමැත්ත පළ කළේ
ය. මෙහිදී එම ස්ත්‍රී රූපය ගෙන සිටි විෂ්ණු, දරුවන් හය දෙ නකු දක්වා දරුවන් ඇති
ස්ත්‍රියක විවාහ කරගැනීමට උමා දේවියන්ගෙන් අවසර ලබාගෙන එන ලෙස වරින් වර ඊශ්වර ආපසු
හරවා යවන ලදී.
මෙය විෂ්ණුගේ මායාවක් බව දැනගත් උමා දේවිය දරුවන් ළඟට ගොස් කුමාර ස්කන්ධ කියා
දරුවන් හය දෙනාම එකට බදා ගත්තා ය. එම කුමාරවරුන් හයදෙනා එක්වීමෙන් කතරගම දෙවියන්
බිහිවූ බව දෙවන මතය වේ.
මේ ආකාරයෙන් බිහි වූ කඳ සුරිඳු සිහිපත් කොට ඉල් මස ප්‍රදීප පූජා පැවැත්වීමේ සිරිත
දුරාතීතයේ සිට ම හින්දූන් අතර පවතින චාරිත්‍රයකි.
මහනුවර යුගයේ දී දෙවන රාජසිංහ රජ තුමාගේ සමයෙහි ද ප්‍රදීප පූජා - කාර්තික උත්සවය
පැවති බව රොබට් නොක්ස්ගේ වාර්තාවෙහි සඳහන්වේ. කන්ද උඩරට නායක්කාර වංශික රජ දරුවන්
යටතේ, කාර්තිකයෙහි ප්‍රදීප පූජෝත්සවය පැවැත්වීම වඩාත් ප්‍රචලිත වූවායැයි සිතිය හැකි
ය. මහාවංසයේ සඳහන්වන අයුරින් ශ්‍රී විජය රාජසිංහ රජතුමා “ස්වකීය පුරයෙහි ද රටවල ද ඒ
ඒ තැන චෛත්‍යයන්හි එක දවසින් ම පහන් පුද කෙරෙත්වායි ආඥා කොට, එක රෑම ජන සමූහයා රැස්
කරවා එක් ලක්ෂ අනූදහස් සත් සියයක් පහනින් පූජාවක් ද කෙළේය.
මෙසේ එකල්හි, රජ තෙමේ ලංකාද්වීප භූමිය උස්ව බබළන පහනින් තාරකාවන් විසින් ගැවසුණු
අහස සේ කෙළේ ය” යනුවෙන් විචිත්‍ර ප්‍රදීප පූජාවක් පැවැත්වූ බව සඳහන් වේ.
මෙසේ කලින් කලට රජ වූ ඒ ඒ රජදරුවන් විසින් ඉෂ්ට සිද්ධ කළා වූ දිනපතා, සතිපතා,
මාසික, හා වාර්ෂික විවිධ බුද්ධෝපස්ථාන, වත් පිළිවෙත් පූජා චාරිත්‍ර රාශියක් චිරාගත
සම්ප්‍රදායික ඉපැරණි චාරිත්‍ර වශයෙන් අදත් පවතී. පසු භාගයේ පත් වූ දියවඩන
නිලමේවරුන් ද, වත්මන් දියවඩන නිලමේතුමන් විසින් ද එකී චිරාගත සාම්ප්‍රදායික
පුදසිරිත් අඛණ්ඩ ව පවත්වාගෙන ඒම, අපේ ආගමික, ජාතික සංස්කෘතික උරුමයන් වඩ වඩාත්
ඔපවත් කොට ආරක්ෂා කරගැනීමට ඉවහල් වේ.
සිංහලේ අවසන් රාජධානිය වූ මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වැඩ සිටින අති උත්තම ශ්‍රී
දළදා වහන්සේ උදෙසා පූජා චාරිත්‍ර වශයෙන් පැවැත්වෙන වාර්ෂික ප්‍රධාන මංගල්ලයන්
සතරකි.
වසරේ පළමු මාසය වන ජනවාරි මාසයේ දී අලුත් සහල් මංගල්ලයත්, අප්‍රේල් මාසයේ දී අලුත්
අවුරුදු මංගල්ලයත්, ජූලි/ අගෝස්තු මාසයන්හි ඇසළ පෙරහර මංගල්ලයත්, වර්ෂයේ අවසාන
භාගයේ ඉල් පොහොයට කාර්තික පෙරහර මංගල්ලයත්, චිරාගත සම්ප්‍රදායානුකූල ව පැවැත්වෙන එම
සතර මංගල්ලයන් වේ.
එම මංගල්ලයන් සතර අතුරෙන් ඉල් මාසයට යෙදෙන කාර්තික මංගල්‍යය ශ්‍රී දළදා මාළිගාවේ
නැකැත් මෙහොට්ටාල විසින් සාදා දෙනු ලබන සුබ නැකැත් මුහුර්තිය අනුව (නොවැම්බර් මස)
ඉල් පුර පසළොස්වක පෝය දිනයේ දී ප්‍රදීප පූජා පැවැත්වීම හා පෙරහර මංගල්ලය සිදුකිරීම
සාමාන්‍ය සිරිත ය.
ඉල්පෝය දිනට පෙර දින ගම් දහයේ විදානේවරු ලවා ශ්‍රී දළදා මාළිගාව සරසවනු ලැබේ. පුර
පෝය දින සුබ මුහුර්තියට අනුව පහන් දල්වා මාළිගා චතුරශ්‍රය වටා කුඩා පෙරහරක්
පැවැත්වීම මෙහිදී සිදුකෙරේ. මෙම පෙරහරට දියවඩන නිලමේතුමා ගමන් නොකරන අතර, කාරියකරවන
කෝරාළ පෙරහරේ ගමන් කරයි. මෙ දිනම කාර්තික වට්ටෝරුවේ සඳහන් අනෙකුත් විහාරස්ථාන හා
දේවාලවල ද ප්‍රදීප පූජා පැවැත්වීම සිදුවේ.
කාර්තික මංගල්ලය දින පහන් දැල්වීමට අවශ්‍ය තෙල් බෙදා දීම සිදු කෙරෙනුයේ ශ්‍රී දළදා
මාළිගාවෙනි. කාර්තිකේය දිනට දින දෙකකට පමණ පෙර පෙරහරකින් තෙල් නැලි 103 ක් පමණ
ශ්‍රී දළදා මාළිගාවේ සිට නාථ දේවාල භූමියට රැගෙන ගොස් එහිදී කාරියකරවනකෝරාළ ඇතුළු
නිල කරුවන් විසින් කාර්තික වට්ටෝරුව අනුව සතර දේවාලය ඇතුළු අනෙකුත් සිද්ධස්ථාන හා
දේවාලවලට තෙල් බෙදාදීම සිදුකෙරේ.
රාජ්‍ය වර්ෂ 2020 ක් වූ නොවැම්බර් මස 29 වන දා අපරභාග 6.08 ට නැඟෙනහිර දිශාභිමුඛ ව
ශ්‍රී දංෂ්ට්‍රා ධාතු මන්දිරය ප්‍රමුඛ කොට ඇති විහාර දේවාලයන්හි එකී වේලාවට ප්‍රදීප
පූජාව පැවැත්වීමටත්, එදින ඔරලෝසු වේලාවෙන් පස්වරු 2.22 ට ගිණිකොන බලා ශ්‍රී
දංෂ්ට්‍රා ධාතු මන්දිරයෙහි කාර්තික පෙරහර මංගලෝත්සවය පැවැත්වීමටත් මෙවර කටයුතු
සම්පාදනය කොට ඇත.
මෙවර ද චිරාගත සම්ප්‍රදායානුකූල ව පැවැත්වෙන වාර්ෂික කාර්තික පෙරහර මංගලෝත්සවය,
ශ්‍රී දළදා වහන්සේ උදෙසා සිදු කෙරෙන උත්තම වාර්ෂික පූජාවක් වශයෙන් අති උත්කර්ෂවත්
ලෙස පැවැත්වීමට වත්මන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මැතිතුමා විසින් සියලු
පියවර ගෙන තිබීම බෞද්ධ ජනයාගේ ඉමහත් ප්‍රසාද සංවේගයට හේතු වේ. |