[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කාලයකට වරක් හෝ ගොඩවන සසර ගමනේ අඳුරු නවාතැන

කාලයකට වරක් හෝ ගොඩවන සසර ගමනේ අඳුරු නවාතැන

අප සසර තුළ කොතරම් කාලයක් සැරිසරමින් පැමිණියේ ද යන්න පිළිබඳ ව සංයුක්ත නිකායාගත මාතුඤ්ඤ, අස්සු සහ පඨවි යන සූත‍‍්‍ර තුළින් වටහාගත හැකි ය. සාමාන්‍යයෙන් ගැඩවිල්, මත්ස්‍ය ආදී භවවල දී මව්කිරි නොබොයි. එහෙත් මනුෂ්‍ය, එළු, ගව ආදී වූ නානාප‍‍්‍රකාර භවයන්හි දී බොන ලද මව්කිරි ප‍‍්‍රමාණය සතර මහා සාගරය පරයන බව මාතුඤ්ඤ සූත‍‍්‍රය පෙන්වා දෙයි.

‘සංසාර‘ යන්න වචනාර්ථ වශයෙන් ”දිගටම සැරිසැරීම” යනුවෙන් අර්ථවත් වේ. සංසාරය ‘සාගරය‘ යන්නෙන් සංකේතවත් කරන අතර, එසේ සංකේතවත් කරනුයේ එහි ඇති කැළඹෙන හා උස් පහත් වන ස්වභාවය හේතුවෙනි.

”සංසාරෝඝා මහබ්භයා” යනුවෙන් ධර්මය තුළ දක්වනුයේ ද සසර යනු ඕඝයක් හෙවත් සැඩ පහරක් බඳු හෙයිනි. සැඩ පහරකට හසු වූවකුට පහසුවෙන් මිදිය නොහැක්කේ යම් සේ ද, එසේම සංසාරයට බැඳුණු පුද්ගලයකුට ඉන් මිදීම ද ඉතා අසීරු වන බැවින් එය ඉතා බියජනක ය.

නැවත නැවත ඉපදෙමින්, වයසට යමින්, ලෙඩ වෙමින්, දුක් විඳීමින්, මිය යමින් පවතින මේ අඛණ්ඩ වූ පැවැත්ම සසරෙහි ක‍ි‍්‍රයාපටිපාටියයි.

සංයුත්ත නිකායාගත තිණකට්ඨ සූත‍්‍රය තුළ ද බුදුරජාණන් වහන්සේ සංසාරය පිළිබඳව පැහැදිලි කරති. මහණෙනි, අවිජ්ජාවෙන් වැසී, තණ්හාවෙන් බැඳී, ගමන් කරන්නා වූ, සැරිසරන්නා වූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග (කෙළවර) ඇත්තේ ය, මුල් කොනත් නොපෙනෙන්නේ ය. එනම් මුළාව කරණකොටගෙන භවයේ පැවැත්මට ඇති ආශාව හෙවත් භවරාගය පිළිබඳව තමා තුළ ඇති නොදැනීමෙන් වැසුණු සත්වයා කාම වස්තූන් කෙරෙහි තෘෂ්ණාවෙන් බැඳීම සංසාරයයි.

අප සසර තුළ කොතරම් කාලයක් සැරිසරමින් පැමිණියේ ද යන්න පිළිබඳ ව සංයුක්ත නිකායාගත මාතුඤ්ඤ, අස්සු සහ පඨවි යන සූත‍‍්‍ර තුළින් වටහාගත හැකි ය. සාමාන්‍යයෙන් ගැඩවිල්, මත්ස්‍ය ආදී භවවල දී මව්කිරි නොබොයි. එහෙත් මනුෂ්‍ය, එළු, ගව ආදී වූ නානාප‍‍්‍රකාර භවයන්හි දී බොන ලද මව්කිරි ප‍‍්‍රමාණය සතර මහා සාගරය පරයන බව මාතුඤ්ඤ සූත‍‍්‍රය පෙන්වා දෙයි. තවද, අස්සු සූත‍‍්‍රයට අනුව අමනාප දෑ සමඟ එකතුවීමත්, මනාප දෙයින් වෙන්වීමත් කරණකොටගෙන ඒ ඒ භවයන්හි හෙළන ලද කඳුළු ප‍‍්‍රමාණය ද සතර මහා සාගරයේ ජලකඳ පරයයි.

එසේම පඨවි සූත‍‍්‍රය දක්වනුයේ යමකු මහ පොළොවෙහි පස් ගුලි වශයෙන් සාදා මේ මාගේ මව, පියා ආදී වශයෙන් දක්වතත් මහ පොළවෙහි පස් ඉවර වනවා මිස සසර පුරා තම තමන් ලැබූ මවුපියන්ගේ ප‍‍්‍රමාණය අවසන් නොවන බවයි.

”සකගෙහ සදිසං” යන උපමාවෙන් ධර්මය තුළ දැක්වෙනුයේ සතර අපාය යන්න පුද්ගලයකුට තම මහගෙදර වැනිය යන්නයි. මහගෙදර යනු සියල්ලන්ම කාලයකට වතාවක් හෝ එකට එකතු වන ස්ථානයකි. මේ අයුරින් ම ධර්මයට අනුකූල ව, සසර තුළ ගමන් කරන ඕනෑම අයකුට සතර අපායට ද, කලකට වරක් හෝ එළඹීමට සිදු වේ. එබැවින් කුමන භවයක විසුවත් සෝතාපන්න මග ඵලයට මෙහා වූ සියලූ සත්ත්වයන් මෙකී කාරණාවට යටත් බව අමතක නොකළ යුතු ය.

සසර පිළිබඳ ව පූර්ව නිගමනයන්ට එළඹීම අසීරු ය. එනම් එහි ඇති අස්ථිරසාර වූ ස්වභාවය හේතුවෙනි. එසේ වනුයේ මේ භවයේ දී ඊළඟ භවය පිළිබඳ ව නිශ්චිත ව උපකල්පනය කළ නොහැකි හෙයිනි. ඒ අයුරින් සිතන කල සසර පිළිබඳ ව අප තුළ තිබිය යුත්තේ ඇලීමක්, ගැලීමක් හෝ වෙලීමක් නොව කළකිරීමකි.

බුදුන් වහන්සේගේ අග‍‍්‍ර උපස්ථායක වූ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහ රහතන් වහන්සේ පෙර භවයක රන්කරුවකු වී ඉපිද කළා වූ පාප කි‍්‍රයාවක ප‍‍්‍රතිඵලයක් ලෙස රෞරව නම් වූ මහා නිරයේ දුක් විඳී ආකාරයත්, එහි විපාක විඳ ඉන් චුත වූ කල එළුවකු ව ද, ඉන් අනතුරුව වඳුරකු ලෙස ද, අනතුරුව ගොනෙකු ලෙස ද උපන්හ. මේ සියල්ලට ම පසුව මිනිසකු වී ඉපදුණත් නපුංසකයකු වී ද පසුව තව්තිසා දෙව්ලොව දෙවඟනක් වී ද, උපන් අයුරු නාරද කාශ්‍යප ජාතකය තුළ විස්තර කෙරේ. ඉන් අවබෝධ කර ගත යුත්තේ පාරමී පුරන්නා වූ උත්තරීතර පුද්ගලයකු විසින් වුව ද කරනු ලැබූ පාප ක‍ි‍්‍රයාව විපාක දුන් ආකාරයෙහි ස්වභාවයයි.

සසරට අයත් සත්වයන්ගේ ප‍‍්‍රමාණය අප‍‍්‍රමාණ ය. මනුෂ්‍ය, තිරිසන්,පේ‍‍්‍රත මෙන්ම දිව්‍ය හා බ‍‍්‍රහ්ම ලෝකවල වෙසෙන සියලූ සත්ත්වයන් සසර ට අයත්ය. මේ ආදී අනන්ත වූ සත්වයා තම තමන්ගේ සුදුසුකම් අනුව ඒ ඒ භවවල නැවත නැවතත් උපදිමින් මැරෙමින් ගමන් කරයි. සත්වයාගේ උත්පත්තිය පිළිබඳ ව සුදුසුකම් තම තමා විසින් ම සකස් කරගන්නා බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.

මජ්ක්‍ධිමනිකාය ගත කුක්කුරවතිය සූත‍‍්‍රය ඒ පිළිබඳව කදිම නිදසුනක් දක්වයි. ඒ අනුව දිනක් ගෝව‍‍්‍රතය (ගවයකු ලෙස තම දිවිපෙවෙත ගෙවනුයේ ආහාර ගැනීම, නිදා ගැනීම ආදී සියල්ල ගවයකු මෙන් සිදුකරයි) රකින පුණ්ණ නම් තැනැත්තා ද, කුක්කුර ව‍‍්‍රතය (බල්ලකු මෙන් තම දිවි පෙවෙත ගෙවනුයේ ආහාර ගැනීම්, නිදා ගැනීම් ආදී සියල්ල බල්ලෙකු මෙන් සිදු කරයි) රකින සේනිය නම් තැනැත්තා ද බුදුන් සමීපයට පැමිණ ”කුක්කුර ව‍‍්‍රතය රැකීමෙන් ලැබෙන ඵලය කුමක්දැ”යි විමසූහ. එකවරම එයට පිළිතුරු ලබාදීමට බුදුහිමියෝ අකමැති වූහ.

කෙසේ වුවද, දැඩි ඇවටිලි කිරීම නිසාම බුදු හිමියෝ ”කුක්කුර ව්‍රතය පරිපූර්ණ ලෙස වඩා බල්ලකුට සමාන වූ සිතක් හා හැසිරීමක් වැඩිදියුණු කරගෙන එහි ඵලය ලෙස මරණින් මතු බල්ලකු වී ඉපදීමට සුදුසුකම් ලබයි” යනුවෙන් පිළිතුරු දුන්හ.

මෙයින් වඩාත් අවධාරණයට ගත යුතු කාරණාවක් වේ. එනම්, පුද්ගලයකු ජීවත් වනුයේ තිරිසන් සත්වයකු ලෙස නම්, ඔහු එසේ ඉපදීමට සුදුසුකම් ලබයි. යමකු ප්‍රේතයකු ලෙස කටයුතු කරයි ද හේ පේ‍‍්‍රතයකු ව ඉපදීමට සුදුසුකම් සපුරයි.

කෙසේ වුවද, සසර තුළ භවය සකස් කර ගනුයේ තමාම බව නම්, මොනවට පැහැදිලි ය. ජීවත් වන කෙටි කාලය තුළදී කා බී සතුටින් සිටිය යුතු බවට ඇතැමෙක් පවසති. එය පෘථජ්ජනයා සසර තුළ දුක් විඳීමින් ඒවා සැප ලෙස ගැනීමක් බව ඛුද්දක නිකායාගත සුප්පවාසා සූත‍‍්‍රය දක්වයි (දුක්ඛං සුඛස්ස රූපේන). එවැනි ප‍‍්‍රකාශ සිදු කරනුයේ හුදෙක් ම ධර්මයෙහි පහස නොලද අන්ධ පෘථජ්ජනයන් විසිනි. ඉන් අපේක්ෂා කරනුයේ පුද්ගලයකු නොකා නොබී ඉතාම දුකසේ ජීවත් විය යුතු යැයි නොවේ.

පුද්ගලයකුට අහිත පිණිස පවතිනුයේ යථාර්ථය අමතක කොට මායාකාරී මිථ්‍යා ලෝකයක ජීවත් වීමයි. සාමාන්‍ය පරිසරය දෙස වුව ද ඉතා කල්පනාකාරී ව සහ විමර්ශනශීලීව නෙත් යොමා බලන්නේ නම් මේ සසරේ ඇති ජුගුප්සාජනක ස්වභාවය අවබෝධ වනු නියත ය.

  ඉල් පුර
පසළොස්වක 

නොවැම්බර් 29 ඉරිදා අපරභාග 12.47 න් පසළොස්වක ලබා 30 සඳුදා අපරභාර 2.59 න් ගෙවේ.

ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 29

Second Quarterඅව අටවක

දෙසැම්බර් 08

Full Moonඅමාවක

දෙසැම්බර් 14

First Quarterපුර අටවක

දෙසැම්බර් 21

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]