[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සියලු රෝගයන්ට මුල කුසගින්නයි

සියලු රෝගයන්ට මුල කුසගින්නයි


අප තිලෝගුරු සර්වඥයන් වහන්සේ ධම්මපද පාලියේ දී ‘ජිගච්ඡා පරමා රොගා’ සියලු රෝගයෝ කුසගින්න ප්‍රධාන කොට, කුසගින්න ම මුල් කොට ඇත්තාහයි දේශනා කළහ. මෙහි ‘ජිඝච්ඡා’ යනු ආහාර කෑමෙහි ඇති කැමැත්තයි.

ආහාර කෑමට කැමැත්තක් ඇති වන්නේ කුසගින්නක් ඇති වූ විටය. කුසගින්න දැනුණු විට ආහාර ගැනීම සිදු කරයි. එවිට ඒ මොහොතේ යම් අස්වැසිල්ලක් ලැබේ. එහෙත් තවත් ස්වල්ප වෙලාවකින් නැවතත්

කුසගින්නක් ඇති වේ. එය සංසිඳුවාලීමට නම් නැවතත් ආහාර ගත යුතු ය. මෙසේ එක් දිනක් තුළ මිනිස්සු ප්‍රධාන ආහාර වේල් තුනක් ද, එයට අමතරව කෙටි ආහාර සමඟ යම් යම් බීම ජාති ද කිහිප වතාවක් ගැනීමට හුරුපුරුදුව සිටින්නේ කුසගින්න එක් ආහාර ගැනීමකින් නොසංසිඳෙන හෙයිනි.

සත්වයා යම්තාක් සසර උපදී ද ඒතාක් කල් ජිගච්ඡා හෙවත් කුසගින්න නම් රෝගය ඔහු පසු පස්සේ පැමිණෙයි. අන් රෝගයන් ස්ථිරව ම සුවපත් කිරීමට ඖෂධ ඇතත් කුසගින්න ස්ථීරව සුවපත් කිරීමට ඖෂධයක් නැත්තේ ම ය.

සර්වඥයන් වහන්සේ ජිඝච්ඡා රෝගය පිළිබඳ දේශනා කළේ අලව්නුවර වාසය කළ එක්තරා දුප්පත් මනුෂ්‍යයෙක් මුල් කර ගනිමින් ය. අලව්නුවර වාසය කළ මේ මනුෂ්‍යයා දුප්පත් වුවත් සෝවාන් වීමට හේතු සම්පත් ඇති බව දුටු සර්වඥයන් වහන්සේ ඔහු වෙනුවෙන් ම සැවැත්නුවර සිට යොදුන් තිහක් අලව්නුවරට වැඩම කළ සේක.

මේ දිනයෙහි ම මෙම මනුෂ්‍යයාගේ ගොනෙක් නැති වී ඔහු උදෑසනින් ම ගොනු සෙවීම සඳහා කැළයට ගියේ ය. අලව්නුවර මිනිස්සු ද සර්වඥයන් වහන්සේට දන් පූජා කොට බණ ඇසීමට කැමැත්තෙන් රැස්ව සිටියත් ‘මම යමකු බලා තිස් යොදුනක් මඟ ගෙවා වැඩියෙම් ද, ඔහු අද ගොනකු සොයා කැලයට වැදී ඇවිදින්නේ ය.

ඔහු ආ විට දහම් දෙසන්නෙමි’ යි නිහඬව වැඩසිටි සේක. ඒ මනුෂ්‍යයාත් දවල් කාලයේ ඉතා වෙහෙසට පත්ව සාපිපාසාවෙන් යුක්තව සර්වඥයන් වහන්සේ වෙත පැමිණුණේ ය. සාපිපාසාවෙන් පෙළෙන්නකුට ධර්මය දේශනා කිරීමෙන් වැඩක් නැත. කුසගින්නෙන් පෙළෙන්නේ ධර්මය අසාධාරණය කිරීමට අපොහොසත් ය. සිත හා ශරිරය දුර්වල ය. ඒ නිසා පළමුව මොහුට ආහාර ලබා දිය යුතු ය.

එවිට ඔහුගේ සිතේ හා ශරීරයේ අපහසුකම් මඟ හැරී දේශනා කරන ධර්මය මැනවින් අවබෝධ කරගන්නේ ය යැයි උපස්ථායකයන්ලවා ඔහුට හොඳීන් ආහාරපාන ලබා දුණි. පසුව ඔහුම ඉලක්ක කොට ගෙන සර්වඥයන් වහන්සේ ධර්මය දේශනා කළ සේක. ධර්ම දේශනාවසානයේ ඔහු ද සෝවාන් විය. මේ දුප්පත් මිනිසාට ආහාර ලබා දීම සම්බන්ධ ව රැස්ව සිටි ජනතාව තුළ යම් කතාබහක් ඇති වූ නිසා එය සංසිඳුවාලීමට සර්වඥයන් වහන්සේ ‘මහණෙනි, කුසගින්න තරම් බලවත් රෝගයක් මෙලොව කොතනකවත් නැතැ’ යි වදාරා මෙම ගාථාව දේශනා කළ සේක.

‘ජිඝච්ඡා පරමා රොගා සංඛාර පරමා දුඛා
එතං ඤත්‍වා යථාභූතං නිබ්බානං පරමං සුඛන්‍ති’

රෝගයෝ කුසගින්න ප්‍රධාන කොට ඇත්තාහ. දුක්ඛයෝ සංස්කාර ප්‍රධාන කොට ඇත්තාහ. මෙය ඇති සැටියෙන් දැන නිවන උතුම්ම සුවය යැයි දැන ගන්නේ ය.

ජීවත්වීම සඳහා, ශරීරයේ පැවැත්ම සඳහා හා පැරණි වේදනාවන් නැති කිරීම සඳහා ආහාර අත්‍යවශ්‍ය ය. එය එසේ වුවත් නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට නම් ආහාර නිවැරැදිව ගත යුතු ය. එසේ නොමැතිව ආහාර වැරැදි ලෙස ගත හොත් රෝගී වේ. කුසගින්න තිබූ පමණින් කුසේ පමණ ඉක්මවා ආහාර ගත හොත් ශාරීරික අපහසුතා ඇති වෙයි. පළමුවෙන් ම ආශ්වාස, ප්‍රාශ්වාස ක්‍රියාවලිය වෙනස් වී හුස්ම ගැනීමේ අපහසුවක් හට ගනී. දෙවනුව ශරීරයෙන් දහඩිය වැගිරෙන්නට පටන් ගනී. තෙවනුව මහත් බත් මතයක් ඇති වේ. මේ නිසා බුදුදහම නිර්දේශ කර තිබෙන්නේ ‘ආහාරෙ උදරෙ යතො’ තමන්ගේ කුසේ ප්‍රමාණයට ආහාර ගැනීමයි. කුසේ මාත්‍රාවට ආහාර ගත යුතු බවයි. ‘මත්තං ජානතො ලද්ධ භොජනෙ’ ගන්නා ආහාරයෙහි මාත්‍රාව දැන ආහාර ගත යුතු බවයි. බටහිර වෛද්‍ය විද්‍යාවේ උගන්වන ‘බැලන්ස් ඩයට්’ හෙවත් තුළනාත්මක ආහාර ගැනීම සර්වඥයන් වහන්සේ මීට අවුරුදු දෙදහස් හයසියයකට ඉහත දී දක්වා ඇති බව මෙයින් පසක් වේ. හැකිනම් කුසේ ප්‍රමාණයටත් අඩුවෙන් ආහාර ගෙන, වැඩියෙන් ජලය පානය කරන ලෙසයි , උන්වහන්සේ ඉගැන්වූයේ. බත්පිඬු හතරක් පහක් අඩුවෙන් ආහාරගෙන ජලය පානය කරන ලෙස ඉහත ගාථා පාඨයෙන් උපදෙස් දී තිබේ. එවිට ශරීරයට කිසිදු වේදනාවක් ඇති නොවේ. ගන්නා ආහාර සෙමෙන් දිරවයි. නිරෝගී සුවය ඇතිව ආයුෂ වැඩේ. කුසගින්න ඇති වෙලාවට ආහාර නොගෙන සිටීමෙන් ද, ඇති වූ කුසගින්න සිංසිඳුවීම සඳහා පමණ ඉක්මවා ආහාර ගැනීමෙන් ද සිදු වෙන්නේ එකම දෙයකි. එනම් අඟපසඟ රුජාවට හා වේදනාවට පත්වීමයි. ඒ අර්ථයෙන්ම කුසගින්න රෝගයක් ලෙස හඳුන්වා ඇත.

දෙවැනි පාඨයෙන් ඉගැන්වූයේ සියලුම දුක් සංස්කාර ප්‍රධාන කොට ඇති බවයි. සංස්කාර යනු නාම රූප ධර්මයෝ යි. කර්ම චිත්ත සෘතු ආහාර යන චතුර්විධ ප්‍රත්‍යයන්ගෙන් මේ නාම රූප උපදියි. මේ නාම රූප හැම මොහොතක ම වෙනස් වන බැවින් අනිත්‍ය යි. අනිත්‍ය නිසාම දුක් සහගතයි. එහෙයින් මේ බව යථාභූත ඥානයෙන් හෙවත් ඇති සැටියෙන් අවබෝධ කර ගන්නා විට නිවන උතුම් ම සැපය ලෙස අවබෝධ වනු ඇත. නිවන වෙතම සිත යොමු කරමින් නිවන් දකිනු පිණිස උත්සාහවන්ත වෙත්වා.

  ඉල් පුර
පසළොස්වක 

නොවැම්බර් 29 ඉරිදා අපරභාග 12.47 න් පසළොස්වක ලබා 30 සඳුදා අපරභාර 2.59 න් ගෙවේ.

ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 29

Second Quarterඅව අටවක

දෙසැම්බර් 08

Full Moonඅමාවක

දෙසැම්බර් 14

First Quarterපුර අටවක

දෙසැම්බර් 21

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]