ජීවිතය තේරුම් ගැනීමට
අප්‍රමාදී වන්න
කොළඹ විජේරාම මාවතේ,
ජාත්‍යන්තර විපස්සනා
භාවනා මධ්‍යස්ථානාධිපති
උඩුදුම්බර
කාශ්‍යප හිමි
සංකප්පරාගො පුරිසස්ස කාමො
නෙතෙ කාමා යානි චිත්‍රානි ලොකෙ
සංකප්පරාගො පුරිසස්ස කාමො
තිට්ඨන්ති චිත්‍රානි තථෙව ලොකෙ
අථෙත්ථ ධීරා විනයන්ති ඡන්දන්ති
පුරුෂයාගේ කල්පනා වශයෙන් උපන්නාවූ රාගය තෙම කාම නම් වේ. ලෝකයෙහි යම් විසිතුරු
අරමුණු ඇද්ද, මොවුහු කාමයෝ නොවෙත්. ලෝකයෙහි එසේම විසිතුරු අරමුණු ඇත්තා හ. එසේ
වුවත් මේ ලෝකයෙහි නුවණැත්තෝ කාමාශාව දුරු කරත්. හික්මවති.
තියුණු ප්‍රඥාවක් ඇති කර ගැනීම සඳහා භාවිත කළ හැකි ක්‍රමවේදයක් අංගුත්තර නිකායේ,
ඡක්ක නිපාතයේ, නිබ්බේධික සූත්‍රයෙන් විස්තර කෙරේ.
බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද යම් ධර්මයක් තිබේ නම්, සෑම විටම එම ධර්මය තුළින්
අතිදීර්ඝ භයානක සංසාර එක ජීවිතයක් උරුම වී ඇති සත්ත්ව සන්තානය තුළ ඇති ගැටලු
විසඳාගැනීම සඳහා භාවිත කළ යුතු ඉතා ප්‍රායෝගික ක්‍රමවේදයන් සාකච්ඡා කෙරේ.
ගැටලුවත්, එම ගැටලුවට හේතුවත්, එය නැති කිරීමත් නැති කරන මාර්ගයත් මොනවට පැහැදිලි
කරන ධර්මය ඉතා දුස්සීලකම් කරන්නට පෙළඹෙන, විෂම සිතිවිලි ඇති සන්තානයක් ජීවිත අවබෝධය
සහිත ඉතා සාන්ත තත්ත්වයකට පත් කරයි. ජීවිතයේ සත්‍ය තත්වය ඇති සැටියෙන් අවබෝධ වන විට
විෂම සිතිවිලි ඉවත් වන්නේ, ලෝභ ද්වේෂ මෝහ ඇතිවන්නට, තදින් අල්වා ගන්නට ලොවෙහි
සාරවත් යමක් නැති බව තේරුම් ගන්නා බැවිනි.
මෙම නිබ්බේධික සූත්‍රය තුළින් ද ඉතා තියුණු ආකාරයකින් අප ජීවිත තුළ ක්‍රියාත්මක වන
ක්‍රියාදාමයන් අවබෝධ කරගන්නා ක්‍රම වේදයක් විස්තර කර ඇත. ජීවිතයට අතිශයින් ම
සම්බන්ධ කරුණු හයත්, හය ආකාරයකින් විවිධ වශයෙන් බෙදා දක්වන මෙම සූත්‍ර ධර්මය එම
කරුණු තුළින් ජීවිතය විනිවිද දකින්නට මඟ සලසයි. කාමය, වේදනාව, සංඥාව, ආශ්‍රව, කර්මය
සහ දුක යන අපේ ජීවිතයට අතිශයින්ම සම්බන්ධ ඉතාම වැදගත් ධර්මතාවයන් හයක් පිළිබඳව මෙසේ
හය ආකාරයකින් මෙම සූත්‍ර ධර්මය තියුණු නුවණක් ඇති කර ගැනීම පිළිබඳව ධර්ම පරියාය
නමින් හඳුන්වයි. නිබ්බේධික ධර්ම පරියාය යනු එය යි.
ඒ ධර්මතාවයන්හි සැබෑ ස්වරූපයත්, ඒවා උපදින්නට හේතු වෙන නිධාන කාරණාවත්, එහි
විවිධත්වයත්, ඒ වගේම ඒ තුළින් උපදින විපාකත්, එහි නිරෝධයත්, නිරෝධ ගාමිධෑ පටිපදාවත්
යන ආකාර හයකින් ඉහත සඳහන් සෑම ධර්මතාවයක් පිළිබඳව ම විස්තර කර ඇත.
මෙම සූත්‍ර ධර්මයේ කාමයන් පිළිබඳව අර්ථ දැක්වීම වශයෙන් අප මාතෘකා කරන ලද ගාථා ධර්මය
සඳහන් කර ඇත.
බුදුරජාණන් වහන්සේගේ ධර්මය හැදෑරීමෙන් අපේ සංකල්ප කොයිතරම් නම් වෙනස් වෙනවාද යන්න
මේ ගාථා ධර්මය හැදෑරීමෙන් ම මොනවට පැහැදිලි වේ. කාමයන් යනු රූප කාම, ශබ්ද කාම, ගන්ධ
කාම, රස කාම, ස්පර්ශ කාම, ලෙස පස් ආකාරයකට බෙදා වෙන් කරන අතර රූප, ශබ්ද, ගන්ධ, රස,
ස්පර්ශ, ආදී නොයෙකුත් යහපත් ලෙස දැනෙන ප්‍රිය වූ, සිත් අලවන්නා වූ, ලොවෙහි විසිතුරු
අරමුණු ඇත් ද, ඒවා කාමයන් නොවන බවත්, ඒවා පිළිබඳව පුරුෂයා තුළ කල්පනා වශයෙන්
උපන්නාවූ රාගය ම කාමය බවත්, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යනු කාම ගුණයන් බවත් ගාථා
ධර්මය තුළින් විස්තර කෙරේ. මෙයින් පිළිබිඹු වන්නේ බාහිර ලෝකයේ වෙනස්වීම් කඩා වැටීම්
නිසා ගිනි ගන්නා ආකාරයට අපට දැනෙන අප සන්තානය දැවිලි තැවිලි වෙහෙස සහිත ගිනි ගැනීමට
හේතුව ඇත්තේ බාහිර ලෝකය තුළ නොව අප සන්තානයන් තුළම බවයි. රූප කාම, ශබ්ද කාම, ගන්ධ
කාම, රස කාම, ස්පර්ශ කාමය යනු එකිනෙකට වෙනස් වූ කාමයන් ලෙස මෙම සූත්‍ර ධර්මය තුළින්
හඳුන්වනු ලබන අතර මෙම වර්ගීකරණයම කාමයන්හි විවිධත්වය ලෙස ද හඳුන්වයි. කාමයන්හි
විපාක පහත ආකාරයට මෙම සූත්‍ර ධර්මයේ හඳුන්වා දී ඇත.
‘කතමො ච, භික්ඛවෙ, කාමානං විපාකො? යං ඛො, භික්ඛවෙ, කාමයමානො ඹඹතජ්ජං තජ්ජං අත්තභාවං
අභිනිබ්බත්තෙති පුඤ්ඤභාගියං වා අපුඤ්ඤභාගියං වා, අයං වුච්චති, භික්ඛවෙ, කාමානං
විපාකො මෙහි තේරුම වන්නේ - (යමක් කැමතිවනු ලබන්නේ, පින් පක්‍ෂයෙහි වූ හෝ, පව්
පක්‍ෂයෙහි වූ හෝ, එයින් උපදනා ආත්ම භාවය උපදවයි. මහණෙනි, කාමයන්ගේ විපාකය මේ යැයි
කියනු ලැබේ.)
කාමයන්ගේ නිධාන සම්භවය එනම් උත්පත්ති කාර්ණාව ස්පර්ශය බවත් කාමයන්හි නිරෝධය ස්පර්ශ
නිරෝධය බවත් එසේ නිරෝධය උපදවා ගැනීම සඳහා කළ යුත්ත එනම් අවශ්‍ය කරන ප්‍රතිපදාව ආර්ය
අෂ්ටාංගික මාර්ගයම බවත් කාමයන් වර්ගීකරණ නිමාකරමින් අවසානයේ දක්වා ඇත. ඉන් පසුව
සඳහන් කර ඇත්තේ “මහණෙනි, යම් කලක ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ කාමයන් දනියි ද, මෙසේ
කාමයන්ගේ පසුබිමෙහි සම්භවය දනියි ද, මෙසේ කාමයන්ගේ විවිධත්වය දනියි ද, මෙසේ
කාමයන්ගේ විපාකය දනියි ද, මෙසේ කාමයන්ගේ නිරෝධය දනියි ද, මෙසේ කාමයන් නිරුද්ධ වන්නා
වූ ප්‍රතිපදාව දනියි ද, හේ විනිවිද වැටහෙන නුවණින් යුතුව කාමයන් නිරුද්ධ වන්නා වූ
බඹසර දන්නේ ය”යනුවෙනි.
මෙහි දනී ද, දනීද ලෙස සඳහන් කර ඇත්තේ පොත්පත්වලින් කරුණු දැන ගැනීම පමණක් නොවන බව
අප තරයේ වටහා ගත යුතුය. ගින්නක් දකින කල්හි ගින්නට හේතුව අපේ සිතට නිරායාසයෙන් නැගී
එන අතර එය නිවා දැමිය හැකි බවත් නිවාදැමීමට කළයුතු ක්‍රියාවන් මොනවාද යන්නත් එම
ක්‍ෂණයේ දී ම අපට වැටහේ.
එසේ වන්නේ ගින්දර පිළිබඳව අප දන්නා කරුණු අප මනසින් වේගයෙන් නැඟෙන ආකාරයට සකස් වී
ඇති බැවිනි. මෙසේ වන්නේ එම ක්‍රියාවලිය පිළිබඳව දිගු කාලයක් ආශ්‍රය කර තිබීමෙනි.
කාමයන් සහ කාමයන් නිරෝධ වීමේ ක්‍රියා ක්‍රියාවලිය ආර්ය අෂ්ටාංගික මාර්ගය භාවිත
කිරීමෙන් අප සන්තාන තුළ සිදුවන බව ටිකෙන් ටික අත්දැකීමකට ලක් කර ගැනීමට එනම්,
මනසින් ද දැකීමට පුරුදු පුහුණු වීමෙන් ඉහත සඳහන් කළ ගින්දර සන්තතිය පිළිබඳ
මානසිකත්වය වැනි මානසිකත්වයක් කාමයන් පිළිබඳව ද ඇති කරගත හැකි බව වටහා ගත යුතු ය.
එනම්, ආර්ය අෂ්ටාංගික මාර්ගය භාවිත කරමින් කාමයන් අඩුකර ගැනීම සහ නැති කර ගැනීම
දෛනික ජීවිතයේ දී අත්දැකීමක් කරගත යුතුව ඇත. පොතපතින් පමණක් දැන ගන්නා කරුණු වැදගත්
වන්නේ අන් අයට කියා දීමට හැකි බැවිනි. තමන්ට ප්‍රයෝජනයක් ගැනීමට නම් ඒවා තමන් තුළ
ක්‍රියාත්මක වන ධර්මතා සමඟ සසඳමින් එම ක්‍රියාවලීන් අත්දැකිය යුතුව තිබේ.
මේ ආකාරයටම වේදනාව ඉපදීමට හේතු වන කාරණාවන්, එහි විවිධත්වය, එහි විපාකය, එහි නිරෝධය
සහ නිරෝධගාමිණී පටිපදාව, මීළඟට විස්තර කර තිබේ.
සංඥාව, සංඥාව ඉපදීමට හේතු වන කාරණාව, එහි විවිධත්වය, එහි විපාකය එහි නිරෝධය සහ
නිරෝධගාමිධෑ පටිපදාව, ආශ්‍රව, හේතු වන කාරණාවන්, එහි විවිධත්වය, එහි විපාකය, එහි
නිරෝධය සහ නිරෝධගාමිණී පටිපදාව, කර්මය, කර්ම හේතු පත්ති කාරණාව, එහි විවිධත්වය, එහි
විපාකය, එහි නිරෝධය, නිරෝධ ගාමිණී ප්‍රතිපදාව, දුක, දුකට හේතු වන කාරණාව, එහි
විවිධත්වය, එහි විපාකය, නිරෝධය හා නිරෝධගාමිණී පටිපදාව, යන කරුණු ඉහත ආකාරයට ම
සවිස්තරව දක්වා ඇත. මෙම කරුණු ඉතාම සවිස්තරව දැන ගැනීම මේ ජීවිතයත්, පරලොව ජීවිතයත්
යහපත් කරගන්නට විශාලම හේතුවක් වන බව ඉතාම පැහැදිලි වේ. මන්දයත් ජීවිතයට අදාළ සියලු
කරුණු මෙම ධර්මතා හය තුළ අඩංගු වන බැවිනි.
ජීවිතය තේරුම් ගැනීමට නම් ධර්ම ශ්‍රවණය කර, එම ධර්ම කරුණු හොඳීන්ම මතක තබාගෙන, ඒවා
පිළිවෙළින් තමන්ගේ මනසින් නැගී එන ආකාරයට සකසාගෙන, මනසින් එම ධර්මතා වලට අදාළ
ක්‍රියාවලීන් අත්දැකිය යුතුය.
එසේ දකින්නට අවශ්‍ය කරන මූලික සුදුසුකම් වන, සීලාදී ගුණ ධර්ම වර්ධනය කර ගනිමින්,
චිත්ත ප්‍රමෝදය උපදවා කාය පස්සද්ධිය, චිත්ත පස්සද්ධි, ඇති කර ගනිමින්, මනා චිත්ත
ඒකාග්‍රතාවයක් ඇති කර ගත යුතු වේ. ජීවිතයේ දුක් නැති කර ගැනීමට නම් සත්‍ය අවබෝධ තර
ගත යුතු අතර, ඒ සඳහා ධර්මයේ සඳහන් ව ඇති ක්‍රම වේදයන් භාවිත කළ යුතුව ඇත. සසර
ජීවිතයේ කෙදිනක හෝ දුක් නැති කර ගැනීම සඳහා මෙවැනි වැඩ පිළිවෙළක් පිළිපැදිය යුතුවම
ඇති බැවින් තවත් ප්‍රමාද නොවී ලද අවස්ථාවේ දී ම සිදු කිරීම පඥා ගෝචර වේ. |