[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

පාද වීථිහාර පූජාව ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරයේ නිරිත දිග් භාගයේ සමනොළ කන්ද පිහිටා තිබේ. රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට කෝරළයේ උතුරු උඩපත්තුවට අයත් සමනොළ කන්ද පරිවාර කඳුවැටි සමූහයකින් වට වී කේතු රූපාකාර ව දර්ශනය වන ස්වභාව ධර්මයේ අපූර්ව නිර්මාණයකි. පුරාතනයේ පටන්ම සමනොළ කන්ද ආකර්ෂණයට ලක් වූයේ එහි ස්වභාව අලංකාරය නිසාම නොව ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී පාද ලාංඡනය මෙම ගිරි ශිඛරය මත පිහිටුවා තිබීම නිසා ය. එම පුවත මහාවංසයෙහි දැක්වෙන්නේ මෙසේ ය. තත්ථ ධම්මං දෙසයිත්වා සත්ථා ලොකානුකම්පකො - උග්ගත්ත්වා සුමනෙ කූටෙ පදං දස්සෙසි නායකො. ලෝකානුකම්පාවෙන් යුත් ශාස්තෘන් වහන්සේ එතැන්හි (කැලණිය) ධර්ම දේශනා කොට සමන්ත කූට පර්වතය මතුයෙහි පා සටහන දැක්වූ සේක. තස්මිං පබ්බත පාදම්හි - සහසංසො යථා සුඛං - දිවාවිහාරං කත්වාන දීඝවාපිමුපාගමි. භික්ෂුන් වහන්සේ සහිත වූ සේක් ඒ පර්වත පාදයෙහි සුව සේ දිවා විහරණය කොට දීඝාවාපියට වැඩි සේක. එදා මෙදාතුර සැදැහැවත් ජනී ජනයා සිරිපා වන්දනාව සිදු කරනුයේ අපමණ භක්ත්‍යාදරයකින් යුතුවයි. උඳුවප් පුර පසළොස්වක පොහොය උදාවත් සමඟම සිරිපා වන්දනා සමය ඇරඹෙන අතර ඊළඟ වෙසක් පුර පසළොස්වක පොහොයෙන් එය නිමාවට පත් කෙරෙයි. වන්දනා සමය ආරම්භයේ දී මෙන්ම අවසානයේ දී ද සාම්ප්‍රදායික චිරාගත ආගමික වතාවත් රාශියක් ඉටු කෙරෙයි. ඒ අතර පැල්මඬුල්ල, ගල්පොත්තාවල පන්සලේත් රත්නපුර මහ සමන් දේවාලයේත් සිරිපා පුදබිමේත් සිදු කෙරෙන වතාවත් ප්‍රධාන තැනක් ගනියි. ශ්‍රී ලාංකේය බෞද්ධ ජන ජීවිතය හා සබැඳි විශේෂ අංගයක් වනුයේ වන්දනා ගමන් යෑමයි. අද වැනි ප්‍රවාහන පහසුකම් නොතිබුණු එකල පා ගමනින් ම වන්දනා ගමන් යෑමට මෙරට ජනතාව හුරුපුරුදු වී සිටියහ. සිරිපා වන්දනා ගමනට අනෙකුත් වන්දනා ගමන්වලට වඩා විශේෂත්වයක් හිමි විය. සුමන සමන් දිව්‍ය රාජයා හට බාරහාර වීමෙන් පසු ගමන ආරම්භ කළ අතර, ශ්‍රී පාද වන්දනා ගමන තුළින් ලැබෙන කුසලය සෙසු වන්දනා ගමන්වලින් ලැබෙන කුසලයට වඩා උසස් යැයි වන්දනාකරුවෝ දැඩිව විශ්වාස කළහ.


උඳුවප් පුර පසළොස්වක

දෙසැම්බර් 04 බ්‍රහස්පතින්දා පූ.භා 08.39 පුර පසළොස්වක ලබා 05 සිකුරාදා පූ.භා 04.45න් ගෙවේ.
04 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

 ‍දෙසැම්බර්  04 

Second Quarterඅව අටවක

‍දෙසැම්බර්  11    

Full Moonඅමාවක

දෙසැම්බර් 19

First Quarterපුර අටවක

දෙසැම්බර් 27   


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]