ශ්රී බුද්ධ වර්ෂ 2569 ක් වූ උඳුවප් පුර පසළොස්වක පෝ දා 2025 දෙසැම්බර් 04 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
‘සත්තාහකරණ’ යනු වස් සමාදම් වූ භික්ෂුව හෝ භික්ෂුණිය විසින් පිළිපැදිය යුතු වූ විනය ප්‍රඥප්තියකි. දින හතක් ඇතුළත යම් කළ යුතු කටයුත්තක් වේ ද එය ‘සත්තාහකරණ’ නම් වන බව සමන්තපාසාදිකාව පෙන්වා දෙයි. “සත්‌තාහබ්‌භන්‌තරෙ යං කත්‌තබ්‌බං තං සත්‌තාහකරණීයං” අටවන දින අරුණෝදගමනය වීමට පෙර එය නිම කළ යුතු ය. “අට්‌ඨමො අරුණො තත්‌ථෙව න උට්‌ඨාපෙතබ්‌බොති අත්‌ථො.” වස් සමාදන් වූ භික්‍ෂුව එම ස්ථානයෙන් කිසියම් වූ අනුමත කටයුත්තක් සඳහා බැහැරට යන්නේ නම්, අටවැනි දින අරුණෝද්ගමනයට පෙර වස් සමාදන් වූ එම ආරාමයට නැවත පැමිණිය යුතු ය. මෙනිසා වස් සමාදන් වූ භික්‍ෂුව වස් සමාදන් වූ සීමාවෙන් පිට වී යෑමට පෙර “මගේ ජීවිතයට අනතුරන් නො වේ නම් සත් දිනක් ඇතුළත එමි‘යි අධිෂ්ඨාන කොට යා යුතු ය. මුලින් සිහි කොට ගමන සඳහා ආරාමයෙන් පිටවන මොහොතේ දී සිහි නො කළ ද ඇවැත් නො වන බව විනයාලංකාර ටීකාවේ සඳහන් වෙයි. “පුරිමක්‌ඛණෙ ආභොගං කත්‌වා ගමනක්‌ඛණෙ විසරිත්‌වා ගතෙපි දොසො නත්‌ථි” මෙකල කොසොල් ජනපදයෙහි උදේන නම් උපාසකතුමා සංඝයා උදෙසා විහාරයක් ඉදි කොට තිබුණි. එතුමා භික්‍ෂූන් වහන්සේ සමීපයට දූතයකු යවා දන්වා සිටියේ තමා දන් දීමට, බණ ඇසීමට, භික්‍ෂූන් වහන්සේ දැකීමට කැමැති නිසා තම විසින් ඉදි කරන ලද විහාරස්ථානයට වැඩම කරවන ලෙසයි. මේ වන විට මෙම භික්‍ෂූන් වහන්සේ වස් සමාදන් ව සිටි නිසා ජනපද චාරිකාවේ හැසීරීම ප්‍රතික්‍ෂේප කරන ලද්දේ බුදුන් වහන්සේ විසින් වස් කාලය තුළ ආරාමයට ම පමණක් වී සිටීමට අනුදැන වදාරා ඇති නිසා ය. වස් නිමා වන තුරු බලාපොරොත්තුවෙන් සිටින ලෙස පවසන්න යැයි භික්‍ෂූහු එම දූතයා ලවා ම උදේන වෙත දන්වා යැවූහ. “මම දායක වෙමි. කටයුතු සොයා බලා කරන්නෙක් වෙමි. සංඝෝපස්ථායකයෙක් වෙමි. එසේ තිබිය දී මගේ ආරාධනාව පිළිගෙන කෙසේ නම් නො එත් දැ” යි උරණ වූ උදේන භික්‍ෂූන්ට අවමන් කරන්නට විය. මෙය දැනගත් භික්‍ෂූන් වහන්සේ මෙම ප්‍රවෘත්තිය බුදුන් වහන්සේට දැන්වූහ. මෙම අවස්ථාවේ බුදුන් වහන්සේ විසින් ‘මහණෙනි, පණිවිඩ එවූ කල්හි සත් දෙනකු වෙත සත්තාහකරණයෙන් යන්නටත්, පණිවිඩ නො එවූ කල්හි නො යන්නට ද අනුදනිමි. භික්‍ෂුව, භික්‍ෂුණිය, හික්මෙන්නිය, සාමණේරය, සාමණේරිය, උපාසක, උපාසිකා යන මේ සත් දෙනා වෙත සත්තාහකරණයෙන් යාමට ද, සතියෙන් ඒම ද කළ යුතු යැ”යි ශික්‍ෂාපදයක් පනවා ‘සත්තාහකරණ’ අනුදැන වදාළහ.
දෙසැම්බර් 04 බ්‍රහස්පතින්දා පූ.භා 08.39 පුර පසළොස්වක ලබා 05 සිකුරාදා පූ.භා 04.45න් ගෙවේ. 04 බ්‍රහස්පතින්දා සිල්
පසළොස්වක
දෙසැම්බර් 04
අව අටවක
දෙසැම්බර් 11
අමාවක
දෙසැම්බර් 19
පුර අටවක
දෙසැම්බර් 27
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]