[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

රාහුල මාතා - 03

“ඔබේ පිය රජතුමා සහ දේවදත්ත පැමිණ ඔබ දෙව්දහනුවරට කැඳවාගෙන යාමට සැරසුණු බව සැලයි.”

“ඔව්, නමුත් මම මේ මාලිගාවෙන් එළියට බහින්නේ නැහැ. පුතු ගෙන යන්නට ද දෙන්නේ නැහැ”.

සුදොවුන් රජු නැඟිට්ටේ ය.

“දුවගේ අදහස් ගැන මට සතුටුයි. ඔබ අපේ දුව, ඔබට අයිති මෙතැනයි. අන් තැනකට යන්නට වුවමනා නැහැ. ඔබට පේනවානේ මාත් ඉන්නේ ශෝකයෙන්. මේ මෑණියන් ඉන්නේත් ශෝකයෙන්. මුළු මාලිගාව ම සොහොන් බිමක් වගේ වෙලා. එහෙත් අද නොකා නොබී ඉන්නේ ඔබ පමණයි. ආහාර වර්ජනය ප්‍රශ්නයට විසඳුමක් නොවෙයි.”

ප්‍රජාපතී යශෝධරාවට බත්කටක් කැව්වා ය.

“මා මාගේ අතින් ම කන්නම් මෑණියනි” කියමින් ඇය බඳුන අතට ගෙන කෑමට පටන් ගත්තා ය.

‘අන්න හොඳයි.”

රජු ද, බිසව ද එක විට ම කීහ.

කිරෙන් කුස පිරුණු පසු මවු තන පුඩුව හැර දැමූ රාහුල කුමරු, දෑස පියා ගත්තේ ය. මොහොතකින් ඔහු නින්දට වැටුණු බව යශෝධරාට පෙනිණ.

නින්දට වන් මොහොතේ සිට සිඟිති මුහුණේ වන වෙනස්කම් දෙස බලා සිටි ඇයට සිදුහත් සිහිවිය.

පුංචි තොල් ඇද වෙයි. හඬන්නට මෙන් සැරසෙයි. වහා එහි කිරි සුදු සිනා බිඳක් මතුවෙයි. එය දක්නා සේවිකාව ද සිනාසෙයි.

“පියාණන්ගේ සිනාව වගේමයි..” සේවිකාව කියයි.

යශෝධරා ද මඳ සිනාවක් පායි. එහෙත් ඇගේ මුහුණේ ඇත්තේ නොමැකී යන ශෝකය යි.

සිද්ධාර්ථ දැන් ඇත්තේ කොහේද? කොතැනක හෝ ගසක් මුල රළු බොරලු පොළොවේ සක්මන් කරනවා විය හැකියි. ගල් තලාවක සැතපෙනවා විය හැකියි. සමහර විට ඔහු කුසගින්නේ.

අනේ රාහුල පුතු සිහිනයෙන් සිනාසෙයි. හඬයි

ඇයට කාලදේවල තවුසා සිහිවෙයි. ඔහු කුඩා සිදුහත් දැක සිනාසුණේ ය. හැඬුවේ ය. රාහුල පුතු සිනාසුණේ ඔහු උතුම් පියකුට පුතු වූ නිසා ද? හැඬුවේ ඒ පියා ඔහුගෙන් වෙන්ව ගිය නිසා ද? පුතුනි, ඔබේ පියා ලොව ම දුකෙන් මුදවන මඟ සොයා ගත් පසු ආපසු එයි. ඔබට ද මට ද ඒ මඟ කියා දෙයි.

සේවිකාවට ද ඒ කුටියේ ඇඳක් විය. සිඟිති කුමරා සහ මව නිදනු දුටු ඇය ද සිය ඇඳේ වැතිරුණා ය. සේවක සේවිකාවන්ට නිදන්නට ඇඳක් ලැබුණේ යශෝධරා නිසා ය. ඇය මේ මාලිගාවට එන්නට පෙර ඔවුන් නිදා ගත්තේ බිම දැමූ පැදුරු මත ය.

“අප සමඟ සිටින ඔවුන්ට ද නිදන්නට ඇඳක් දිය යුතුයි.” ඇය සිද්ධාර්ට රජුට කීවා ය.

ඔහු ඇගේ අතක් අල්ලා ගනිමින් සිය සතුට පළ කළේ ය. “එය එසේ ම වේවා! ඔහු කීවේ ය.

පසුදා සිට මාලිගාවේ සේවක සේවිකාවන්ට ඇඳක් සැපයිය යුතු බව සිදුහත් රජු නියෝග කළේ ය.

‘ඇයි ඔවුනට වෙන ම කෑම? රජ පවුලට සැපයෙන කෑම සේවකයන්ටත් දිය යුතුයි. අපට දඹදිව ඇති ඉහළම වර්ගයේ සහලින් පිසෙන බත්. සේවකයන්ට පහළම වර්ගයේ සහලින් පිසෙන බත්. මේ වෙනස හොඳ නැහැ. කය වෙහෙසා වැඩ කරන අයටයි හොඳ ආහාර ලැබිය යුතු.”

ඇගේ මේ අදහසට ද සිදුහත්ගේ අනුමැතිය ලැබිණ.

“දෙව්දහනුවර රජ මාලිගාවේ සේවකයන්ටත් එහෙම ලැබෙනෙවා ද?” සිදුහත් ඇසීය.

“නැහැ. මම යෝජනා කළා. නමුත් මගේ පියා ඊට විරුද්ධ වුණා. පාලකයන්, සේවකයන් සමාන වන්නේ නැහැ. අප කන බොන විදියට, නිදන විදියට සේවකයන්ට සලකන්න හිතන්න එපා. සේවකයාට සැලකිය යුත්තේ සේවකයා විදියට. ඔය සමානාත්මතාව ඔවුන් තුළ අහංකාරය ඇති කරනවා. මගේ පියා එසේ කීවා.

නමුත් මා දැන් සිටින්නේ ඔබේ රාජ්‍යයේ ඔබේ පාලනය යි මෙහි තිබෙන්නෙ. මා කැමැතියි ඔවුන්ට වෙනස්කම් නැති ව සලකනවාට.” යශෝධරා කීවා ය.

ඇගේ අදහස්වලට සිද්ධාර්ථ මෙන්ම සුද්ධෝදන රජු ද මහා ප්‍රජාපතී ගෝතමිය ද එකඟතාව පළ කළහ.

ශාක්‍ය ප්‍රභූවරු කීප දෙනෙක් ඊට එරෙහි ව ගියහ. එහෙත් ඔවුන්ගේ හඬ මතු නොවීය. කිඹුල්වත්පුර රාජ මාලිගය තුළ යශෝධරාගේ අදහස් ක්‍රියාත්මක විය. සේවක සේවිකාවෝ ඇගේ කරුණාවෙන් නිවී ගියහ.

නිදන්නට ගිය සේවිකාව වැඩි වේලාවක් ගතවීමට පෙර ගොරවන හඬ යශෝධරාට ඇසිණ. ඇය නැඟිට සේවිකාව ළඟට ගියා ය.

“ඔය කොට්ටය මැදට ගෙල හසුවන අයුරින් තබා ගන්න. මා එය මීට පෙර ද ඔබට කීවා. ගෙල නො නැමෙන පරිදි හිස කොට්ටය මත තබාගත් විට ඔය හඬ මතුවන එකක් නැහැ.”

සේවිකාව ඇස් ඇර බැලුවා ය.

“දේවිය, සමාවන්න” කියමින් ඇය කොට්ටය සුදුසු පරිදි සකස් කැර ගත්තා ය.

යළි පුතු අසල වැතිරුණ ද යශෝධරාට නින්දක් ළං නොවී ය.

දෑස පියාගත් ඇගේ සිත සිදුහත් දුටු මුල් ම දිනයට ගමන් කෙළේ ය.

මතු සම්බන්ධයි

උඳුවප් පුර පසළොස්වක

දෙසැම්බර් 04 බ්‍රහස්පතින්දා පූ.භා 08.39 පුර පසළොස්වක ලබා 05 සිකුරාදා පූ.භා 04.45න් ගෙවේ.
04 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

 ‍දෙසැම්බර්  04 

Second Quarterඅව අටවක

‍දෙසැම්බර්  11    

Full Moonඅමාවක

දෙසැම්බර් 19

First Quarterපුර අටවක

දෙසැම්බර් 27   

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]