ගෘහිණියගේ නව වසර
මහාචාර්ය
තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ධ නාහිමි
කොසොල් මහ රජතුමා හා බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ දී පිළිසඳරක යෙදී
සිටිනවිට එතැනට ආ රාජපුරුෂයෙක් රජතුමාගේ කනට කොඳුරා කියා තිබුණේ කෝසලදේවිය දූ
කුමාරිකාවක බිහි කළ බවයි.
මේ පුවතින් දුර්මුඛ වූ රජතුමා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළේ දේවිය ගැහැනු දරුවකු
බිහි කළ බවයි.
"රජතුමනි, ගැහැනු දරුවකු උපන් බව අසා හිත කණස්සල්ලට පත් කර ගන්න එපා. සමහර ගැහැනු
දරුවොත් හරි වටිනවා. අනාගතයේ රටක් පාලනය කරන රජදරුවන් බිහි කරන්නෙත් ගැහැනියක්
විසින් නේ ද?" කියා බුදුරජාණන් වහන්සේ අවවාද කළා.
මේ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ එක්වර ම ස්ත්‍රී වර්ගයා පොදුවේ හොඳයි, ශ්‍රේෂ්ටයි
කියා ප්‍රකාශ කළේ නැහැ. ඒකට හේතුවක් තිබෙනවා. ඒ වෙනකොට ස්ත්‍රිය පිළිබඳ බ්‍රාහ්මණ
ඉගැන්වීම් අනුව පහත් උපතක් ඇති පිරිසක් ලෙස සැලකීම යි.
බුදුරජාණන් වහන්සේ නොයෙක් අවස්ථාවල ස්ත්‍රියගේ සමාජ තත්ත්වය ඉහළ නැංවීම පිණිස
අවශ්‍ය කරන දේශනා රාශියක් ම අපට පෙන්වා දී තිබෙනවා. ඒ අතර සංයුත්ත නිකායේ නකුලමාතු
මනාපකායික සූත්‍රය පෙන්වා දෙන්නට පුළුවනි. නකුලමාතු සූත්‍රය විශේෂයෙන් වැදගත්
වෙනවා.
බුදුරජාණන් වහන්සේ හමුවට ආ ඉතාමත් සැදැහැති, බුද්ධිමත් නකුලමාතාව සමඟ වරෙක
උන්වහන්සේ පිළිසඳරක යෙදුණා. මෙම ස්ත්‍රී භාවය සමාජයේ උසස් තත්ත්වයකට පොදුවේ
පිළිගැනීමක් ඇති තත්ත්වයකට පත් කර ගැනීම සඳහා අවශ්‍ය පිළිවෙත් මොනවාද යන්න මේ
කථාබහේ තේමාව වුණා.
එහි දී ස්ත්‍රිය විසින් පුරුදු පුහුණු කළ යුතු චර්යාවන් අටක් උන්වහන්සේ පැහැදිලි කර
දෙනවා. එමෙන් ම ඒ අට අනුගමනය කිරීමෙන් ස්ත්‍රිය දේවත්වයට පවා පත්වෙනවා.
සෑහෙන කාලයක් තිස්සේ සොයා බලා අනගතයේ හොඳ ආර්ථිකයක් වගේ ම මනා සමාජ පිළිගැනීමක්
ඇති, දියුණුව කරා පියනඟන ස්වාමිපුරුෂයකුට ම තම දියණිය පාවා දීමට මව්පියන් උනන්දු
වෙනවා. එය කාන්තාවන්ගේ උසස් බවට හේතු වෙනවා. තම දියණිය පාවා දෙනවිට ඇති කර ගන්නා
අදහස් අතර ධනය, වස්තුව බහුල වන, දියුණුවට පියනඟන අදහස් ඇති, අනුකම්පාව, දයාව වැනි
ගුණ ධර්මයන්ගෙන් සපිරි ස්වාමියකු ම තම දියණිය වෙනුවෙන් සොයාගෙනයි මෙසේ පාවා දෙන්නේ.
එසේ සරණ පාවාදෙන මේ දියණිය භාර්යාවක් ලෙස උසස් තත්ත්වයකට පත්වීමට නම් ඇය තම ස්වාමි
පුරුෂයාට පෙර අලුයම අවදි වී දවස ආරම්භ කළ යුතු වෙනවා.
ඒ වගේ ම තමා රාත්‍රියෙහි ස්වාමි පුරුෂයා නිදි යහනට ගියාට පසුව දවසේ කටයුතු නිමවා
නින්දට යා යුතු වෙනවා. තවදුරටත් තමන්ගෙන් ස්වාමිපුරුෂයට විය යුතු මෙහෙවර විමසා
ක්‍රියා කළ යුතු වගේ ම ප්‍රිය මෘදු මොළොක් වචන ඇතිව තම ස්වාමිපුරුෂයා සමඟ හැමවිට ම
ජීවත් විය යුතු වෙනවා.
මේ කියන කරුණු කොතෙක් දුරට අපේ සමාජයෙන් ගිලිහී ගිහින් ද? මව්පියන් විමසීමක්වත්
නැතිව විවාහ ගිවිස ගැනීම් තුළින් මොන තරම් සමාජ අර්බුද, පවුල් අවුල් ඇති වී
අඹුසැමියන් ටික කලකින් වෙන් වී දරුවන් අයාලේ යන තත්ත්වයක් ඇති වී තිබෙනවා ද යන්න අප
ජීවත් වන මේ සමාජයේ කොතරම් නම් උදාහරණ තිබේ ද?
ඒ වගේ ම තමා දෙවන කරුණ ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා තම ස්වාමිපුරුෂයා විසින්
සැලකිල්ලෙන් ඇලුම්කරන, සෙනෙහස දක්වන, ගරුබුහුමන් කරන ඔහුගේ මව, පියා, ඒ වගේ ම පූජක
පිරිස් යන කවුරුන් හෝ වෙත් නම් ඒ අය පිළිබඳ තමන් කුමන මතයක් දැරුවත්
ස්වාමිපුරුෂයාගේ බුහුමනට ලක්ව සිටින ඒ හැම කෙනකු පිළිබඳව ම තමනුත් ගරුබුහුමන්
දැක්විය යුතු වෙනවා. ගරු කරන්නට අවශ්‍ය වෙනවා. සැලකිලි කරන්නට වෙනවා. ඇත්තෙන් ම එසේ
නොවුණහොත් මතවාද දිග් ගැහිලා විවාහ ජීවිතයට පවා බාධා ඇති වෙනවා.
එදා අනේපිඬු සිටුතුමා තම පුතුට සරණ පාවා දුන් සුජාතා නම් ලේලිය හැසුරුණු ආකාරය
බුදුරජාණන් වහන්සේට පවසන අනේපිඬු සිටුතුමා ඇය සිටු මාළිගාවට වැඩම වන මහරහතන්
වහන්සේට පවා ගරු නොකරමින්, අවමන් කරමින් ක්‍රියා කරන ආකාරය සැල කරන්නේ මහත් වූ
කම්පාවෙන් යුතුව යි. එමෙන් ම සිටු මාළිගාව පවා රළු ඝෝෂා සහිත පරිසරයක් තුළ පැවතුණු
ආකාරය ප්‍රකාශ වෙනවා. ඒ නිසා මේ සුජාතාව නිසා සිටුමාළිගාව ම අමුතු ම විදිහේ අසංවර
ඝෝෂා සහිත බවකින් යුක්ත වූ ආකාරය මෙහි දී පෙන්වා දී තිබෙනවා.
ඒ වගේම තමා සැබෑ ගෘහිණියක් බවට පත්වන කාන්තාව තම ස්වාමි පුරුෂයාගේ රැකියා කර්මාන්ත,
ව්‍යාපාර ආදිය ගැන වඩාත් විමසිලිමත් වීම ද අත්‍යවශ්‍යයි. ධනෝත්පාදන සියලුම කටයුතු
ස්වාමි පුරුෂයාට බරක් නො වන ආකාරයෙන් සංවිධානය කරමින් ඉතා දක්ෂ ලෙසත්, ඒ වගේ ම
උදාසීන කම්මැලි බවකින් තොරව ඒ සියල්ලට ම පූර්ණ දායකත්වය ලබා දෙමින් ඒවායෙහි උන්නතිය
වෙනුවෙන් උපායශීලි ව, හොඳ විමසීමකින්, සොයා බැලීමකින් යුක්තව ක්‍රියා කළ යුතු
වෙනවා. ඒ තුන්වැන්නයි.
සිව්වැනි ව ව්‍යාපාර කටයුතුවල දී සේවයෙහි නියුක්ත ව සිටින රැකියාවන් කරන ඒ ඒ පිරිස්
විසින් දවසට කළ යුතු කාර්යභාරය ප්‍රමාණ කරගෙන ඒවායින් කොපමණ කොටසක් ඉටු කර තිබෙනවා
ද? ඒ වගේ ම වැටුපට සරිලන අකාරයෙන් ඒ ඒ වැඩ කොටස් සම්පුර්ණ කර නැති නම් ඒ ප්‍රමාණ
කොපමණ ද? යම් කෙනෙක් හදිසියේ හෝ රෝගී වෙලා ද? ඒ අයට අවශ්‍ය කෑම බීම ආදි කුදු මහත්
කටයුතු පිළිබඳ ව ගෘහණිය වශයෙන් භාර්යාව ක්‍රියා කළ යුතු ආකාරය ඉතා සියුම් ලෙසත්,
සිත් ගන්නා ලෙසත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙනවා.
පස්වැන්න තම ස්වාමිපුරුෂයා ධනය, වස්තුව රැගෙන ආවිට ගෘහනියගේ යුතුකම විශ්වාසය දිනා
ගනිමින් ඒ සියල්ල මැනවින් සුරක්ෂා කොට දීම යි. එහි දී සැබෑ අවංක ගෘහනියක් වශයෙන්
ඒවා සොර සිතින් සැඟවීම, විවිධ අකටයුතු දේට, සූදුවට, නො යොදා ඒ පිළිබඳව ගිජු නො වී,
තමන්ගේ ඤාති පිරිස්වලට සොර සිතින් පවරාදීම වැනි ක්‍රියාකාරකම්වල නො යොදා සුරක්ෂිත
ව, අතිශය විශ්වාසවන්ත ව ආරක්ෂා කළ යුතු වෙනවා.
එමෙන් ම මෙම සාර්ථක ගෘහිණිය උපාසිකාවක් වශයෙන් ක්‍රියා කළ යුතු වෙනවා යන්න සයවැනි
කරුණ ලෙස දක්වනවා.. එහි දී උපාසිකාවක් වන්නේ බුදුන්, දහම් හා සඟුන් සරණ ගිය, ඒ
උතුම් රත්න පිහිට කොට වාසය කරන තැනැත්තියක් බවට පත්වීම තුළින් ය.
තෙරුවන් සරණ ගිය උපාසිකා අර්ථය තම ජීවිතයට එක් කරගත් නිසා ම ඇය සීලවන්තියක් බවට පත්
වී සිටින නිසා ය.
සත්වැනි ව නුදුන් දේ සොරසිතින් ගැනීම ,පස්කම් සැපයෙහි වැරැදි ලෙස නො යෙදීම,
වංචාවෙන්, බොරුවෙන් තොරවීම, මතට, මත්වතුරට ගිජු නොවී එළඹ සිටි සිහියෙන,් මනා
පැවැත්මෙන් යුතුව කල් ගත කිරීම වැනි ගුණාංගවලින් ශක්තිමත් විය යුතු ද වෙනවා.
පරිත්‍යාගශීලි බවෙන් , දිය යුතු අයට යමක් දෙමින්, සමාජ සත්කාරක සේවා සිදු කරමින්
ප්‍රියමනාප ව ජීවත් වෙමින්, පිහිට විය යුතු පිරිස් තෝරා ගෙන ඒ අයට අවශ්‍ය
අවස්ථාවෙහි උදව් උපකාර කරමින්, කාගේත් ප්‍රිය මනාප බවට පත් වී ක්‍රියා කිරීමත්
බුදුරජාණන් වහන්සේ විසින් මෙම සූත්‍රයෙහි දී අටවැනි කරුණ ලෙස පෙන්වා දී තිබෙනවා.
මෙවැනි ගුණ සම්පන්න ස්ත්‍රිය කාගේ වුව ද ගරුබුහුමනට ලක් වෙනවා පමණක් නොව
එවැන්නියකගේ ස්වාමිපුරුෂයා පවා දහමට යොමු වී සිල්වත් ගුණවත් දැහැමි ජීවිතයකට යොමු
වීමට ඉඩකඩ විවර කර ගන්නවා. එපමණක් නොව එම ගෘහයෙහි සාමය, සදාචරය පවතිනවා. හැදෙන
වැඩෙන දරුවන්ට පවා මේ තත්ත්වය මහත් ආදර්ශයක් ,ආශිර්වාදයක් බවට පත් වෙනවා.
වසරක් ගෙවී, නව වසරක් එළඹීමට ඇති මේ අවස්ථාවේ මේ කියන ගුණාංග කෙතෙක් දුරට අප ළං කර
ගත්තා ද? තවදුරටත් මේවායින් ඉතිරි ව තිබෙන, ළං කර ගත යුතු දේ පිළිබඳ විමසිලිමත් විය
යුතු වෙනවා. ඒ අනුව නව වසරට සැලසුම් හදාගෙන ඉදිරියට යමු. |