[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මහරහත් තෙරණි කසාවතින් ලක් මව සැරසුණ දා

මහරහත් තෙරණි කසාවතින් ලක් මව සැරසුණ දා

එදා සිට අද දක්වා ම ලක්දිව් තලය මහ බෝ අනුහසින් සුරැකුණේ ය. ලක්දිව කතුන්ට අපමණ මෙතින් පැවිදි උපසපන් දායාදය සැලසුවෝ අප මහා සඟමිත් උත්තමාවියෝ ය

උඳුවප් මාසය ලබත් ම ලක් වැසි බොදුනුවන්ට ම විශේෂ වූ අසිරිමත් ශාසන ඉතිහාස ප්‍රවෘත්තීන් කිහිපයක් සිහියට නැඟේ. සියලු පාපි අදමිටු බල සෙන් පරාජය කොට ශ්‍රී සම්බුද්ධත්වයෙන් ලැබූ පාරිශුද්ධ විජයග්‍රහණයේ උත්තරීතර සංකේතය වන ජයශ්‍රී මහා බෝධිරාජයාණන් අපගේ උතුම් මාතෘභූමියට වැඩමවීමත්, කාන්තාවන්ට අවශ්‍ය අත්‍යන්ත නිදහසේ දායාදය හෙළ වැසි කතුන්ට උරුම වීමත් ඒ අතර මුල් තැනක් ගනී.

දෙවනපෑතිස් මහ නිරිඳුන්ගේ සොහොයුරුගේ මෙහෙසිය වූ අනුලා දේවියත්, ඇයගේ පරිවාර කන්‍යාවන් පන්සිය දෙනාත්, අන්තඞපුර ස්ත්‍රීන් පන්සිය දෙනකුත් අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වෙතින් තථාගත ශ්‍රී සද්ධර්මය අසා මඟ ඵල ලැබ දස සිල් සමාදන් ව කසාවත් පොරවා, පිරිසුදු පැවිදි බව අපේක්ෂාවෙන්, දහම් මඟ පුහුණූු වෙමින් සිටියහ.

දෝළ නමැති අමාත්‍යයාගේ නිවෙසෙහි රජු විසින් කරවූ රම්‍ය වූ භික්ෂුණී අසපුවෙහි වසන ඒ බ්‍රහ්මචාරි දසසිල් උපාසිකා මාතාවන් නිසා ම ඒ සොඳුරු අසපුව ‘උපාසිකා විහාරය’ නමින් ලක්දිව පුරා ප්‍රචලිත විය.

දේවානම්පියතිස්ස රජුගේ නැඟණියගේ පුත්‍රයා වන මහා අරිට්ඨ අමාත්‍යතුමා ප්‍රධාන රාජකීය දූත පිරිස විසින් ධර්මාශෝක අධිරජු වෙත මහ අගනා දැකුම් පුද පළකොට ලද අවසරැති ව රාජ සන්දේශයත්, මහ මිහිඳු මහරහත් සන්දේශයත් දැනුම් දුනි. එය ම නැවත සඟමිත් තෙරණින් වහන්සේටත් සැල කළේ ය.

“මෑණියනි, ඔබත් දකින්නට නැති ව ගියොත් මාගේ පුත්‍ර මහින්ද තෙරණුවන්ගේත්, මුනුබුරු සුමන සාමණේරයන්ගේත් වියෝගයෙන් ඉන්නා මම් ශෝකය දුරු කර ගන්නේ කෙසේදැ?”යි ධර්මාශෝක මහරජු විමසූයෙන්,

“මහ රජුනි, සහෝදරයන් වහන්සේගේ වචනයට මම ගරු කරන්නට ඕනෑ. ඒ වගේම බුදු සසුනෙහි පැවිදි වෙන්නට ආශාවෙන් බොහෝ කාන්තාවන් එහි සිටිනවා. එනිසා මා ලක්දිවට යා යුතුයි.” කියා අපගේ සඟමිත් උත්තමාවියෝ වදාළහ.

මහ බෝධීන් වහන්සේගෙන් ශාඛා රත්නයක් වෙන් කර ගැනීමට ආයුධයක් කෙසේ භාවිත කරන්නද? මහා නැණැති මහාදේව නම් අමාත්‍යවරයාට එය සැල කරන ලදි. ඒ උපදෙස් පරිදි මහා සංඝරත්නය මාලිගයට වැඩමවා දන් පැන් වළඳවා මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගෙන් විචාළේ ය.

පරිනිර්වාණ මඤ්චකයෙහි වැඩහුන් අපගේ ශාස්තෘන් වහන්සේ විසින් ලක්දිව පිහිටන මහ බෝධින් වහන්සේ සහ සර්වඥ ධාතූන් වහන්සේ පිළිබඳ ව පිහිට වූ මහා අධිෂ්ඨාන පහ පැහැදිලි කොට වදාළ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ වචනය ඇසූ මහරජාණෝ පන්දහසක් කල් සම්බුදු සසුන සුරැකෙන ලක්දිව් තලය ගැන තව තවත් සෙනෙහසින් වහා සියලු කටයුතු සම්පාදනය කරවූහ.

බෝධීන් වහන්සේ වැඩමවීමට විස්කම් දෙව්පුතුන් රන්කරුවකුගේ වෙසින් පැමිණ නිමවූ රන් කටාරමේ ගැඹුර අඩි හතහමාරකි. විෂ්කම්භය අඩි හතරහමාරකි. කටාරම් වට රවුම අඩි දහතුනහමාරකි.

දඹරන්හි ඝනකම අඟල් අටකි. එය ඉතා සොඳුරු ය. තරුණ ඇතකුගේ සොඬෙහි මුල් හරිය පමණ ය. එය සුවඳ හා ඖෂධ මුසු කළලින් පුරවන ලදි. මහා බෝධී ග්‍රහණ මහෝත්සවයට මහරහතන් වහන්සේ දහස්නමක් ප්‍රධාන මහා සඟරුවනත්, යොදුන් හතක් දිග යොදුන් තුනක් පළල ඇති චතුරංගනී සේනාවත්, දඹදිව ප්‍රාදේශීය රාජ්‍යවල අබිසෙස් ලැබූ දහසකට අධික රජවරුත් පෙළ ගැසුණා හ. නොයෙක් මාණික්‍යයෙන්, විසිතුරු ධජ පතාකයෙන්, මාලාදාමයෙන්, පසඟතුරු ගොසින් හැම දිග බැබළී ගියේ ය. මහා බෝධිය තිරයකින් වටකොට මහරජු ඇඳිලි බැඳ බෝ රජු දෙස බලද්දී ම දක්ෂිණ ශාඛා රත්නය අඩි හයක් පමණට කඳත් සමඟ ඉතිරි ව ඉතිරි ශාඛා අතුරුදන් විය. ඒ පෙළහර දුටු මහරජු දඹදිව් මහ රාජ්‍යයෙන් දක්ෂිණ ශාඛා බෝ රජුන් පිදී ය. බෝ රජු අභිෂේක කළේ ය. නොයෙක් පුෂ්පාදී පූජා කළේ ය.

නැවත තුන් වටක් පැදකුණු කොට අට තැනක වැඳ රන් පීඨිකාවකට නැඟ, රන් පින්සලෙන් සිරියල් රේඛාවක් ඇඳ සත්‍යක්‍රියා කළ කල්හි අත්‍යන්තයෙන් ම වෙන්වූ බෝධීන් වහන්සේ් පීඨිකාව මත තැබූ රන් කටාරමෙහි පිහිටා වදාළ සේක. තවත් නොයෙක් පෙළහර සිදු විය. මහ පොළොව කම්පා විය. ෂඩ්වර්ණ බුද්ධරශ්මි ධාරා විහිද ගියේ ය. සක්වළ ම ශෝභමාන විය. රන් කටාරම අහසට පැන නැඟුණි. දින හතක් මහ බෝ පෙළහර පූජා පැවැත්වීය. නැවතත් මහා රාජ්‍යයෙන් බෝධින් වහන්සේ පිදුම් ලැබීය. පිළිවෙළින් පාටලීපුත්‍ර අග නගරයට වඩමවා සාල වෘක්ෂ සෙවණේ බෝධීන් වහන්සේ වැඩ සිටින කල්හි දින දාහතක් ගතවෙද්දී බෝ අංකුර නවයක් පැන නැඟුණි. නැවත දඹදිව් තලයෙන් බෝ රජුන් පිදුම් ලැබීය.

මෙසේ මහරජු මහා පෙළහර පූජා මැද, බෝධි ආරක්ෂාව පිණිස ක්ෂත්‍රිය පවුල් දහඅටකුත් - අමාත්‍ය බ්‍රාහ්මණ, සිටු ආදී කුලවලින් පවුල් අට බැගිනුත්. රන් කලස්, රිදී කලස් ආදී පූජා භාණ්ඩත් අරිට්ඨ අමාත්‍යතුමාට පවරා අපගේ සංඝමිත්තා මහරහත් උත්තමාවිය ඇතුළු එකළොස්නමක් රහත් භික්ෂුණී සඟරුවන බෝධීන් වහන්සේ සමඟින් ම නැවට වැඩමවා ගංගා නම් ගඟ දිගේ තාම්‍රලිප්තයට පමුණුවා එයින් ලක්දිවට වැඩම කිරීමට කටයුතු සැලසීය.

අපගේ දෙවනපෑතිස් මහරජු මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු සඟ පිරිස් පිරිවරා, අමාත්‍ය පිරිස් පිරිවරා බෝ රජු වඩින තෙක් අපේක්ෂාවෙන් දඹකොල පටුන්හි හිඳ කරවටක් දියට බැස ලක්දිව වැසි දහසය කුලයක කුල පුතුන් සමඟින් බෝ රජු පිළිගෙන ඉතා යටහත් පහත්ව මහා පුද පූජා පවත්වා ලක්දිව රාජ්‍යයෙන් ද බෝ රජු පිදීය. දෙපස සැරසූ මහ මාවත ඔස්සේ අනුරපුරට වැඩමවා උඳුවප් පුර තුදුස්වක පුන් පොහෝ දිනෙක, මහා බෝධිය රෝපණය කරන්නට සූදානම් වෙද්දී උන්වහන්සේ ම අහසට පැන නැඟී සවණක් බුදුරැස් විහිදා ප්‍රාතිහාර්ය දක්වා ලක් පොළෝ තලය කම්පිත කරවමින් අනුරපුර උඩමළුවේ පිහිටා වදාළ සේක. මහා පුෂ්ප පූජා පැවැත්විණි. එවිට ම මහා වර්ෂාවක් ඇද හැලිණි, හාත්පස සීතල හිම වලා ගැබින් වැසී ගියේ ය. සත් දිනක් එසේ තිබුණි.

සත්දින ඇවෑමෙන් බුදුරැස් විහිදුවමින් බෝ රජු පෙනෙන්නට විය. ඉන්පසු අෂ්ට ඵලරුහ, දෙතිස් ඵලරුහ බෝධීන් වහන්සේගේ ලැබීම සිදු විය. එදා සිට අද දක්වා ම ලක්දිව් තලය මහ බෝ අනුහසින් සුරැකුණේ ය.

ලක්දිව කතුන්හට අපමණ මෙතින් පැවිදි උපසපන් දායාදය සැලසුවෝ අප මහා සඟමිත් උත්තමාවියෝ ය. ලක්දිව කතුන්ගේ මහා මුනිවරිය ඇය යි. උපාසිකාරාමයෙහි පිළිවෙත්සරු ව සිටි අනුලා දසසිල් මාතාව ඇතුළු දහසක් උපාසිකාවෝ සඟමිත් උත්තමාවිය ඇතුළු භික්ෂුණී සංඝයා වෙතින් පැවිදි බව ලැබූහ. මහරහත් තෙරණින් වහන්සේගේ කසාවතින් ලක්දිව සැරසී ගියේ ය. මේ සියලු අසිරිය අද වන් පෝ දිනක සිහි කළ යුතු ම ය.

මේ උදා වූ උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනයෙන් සිරිපා වන්දනා සමය ඇරඹේ. වෙසක් පුන් පොහෝ දින දක්වා සිරිපා තඹර පුදනු රිසි සැදැහැතියන්ට අපමණ පින්පල උපදවා ගත හැකි ය.

උඳුවප් පුර පසළොස්වක

දෙසැම්බර් 04 බ්‍රහස්පතින්දා පූ.භා 08.39 පුර පසළොස්වක ලබා 05 සිකුරාදා පූ.භා 04.45න් ගෙවේ.
04 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

 ‍දෙසැම්බර්  04 

Second Quarterඅව අටවක

‍දෙසැම්බර්  11    

Full Moonඅමාවක

දෙසැම්බර් 19

First Quarterපුර අටවක

දෙසැම්බර් 27   

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]