[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

බුදුදහම තුරුණුවිය සරු කරයි

බුදුදහම තුරුණුවිය සරු කරයි

මිනිස් ජීවිතවල වඩාත් ආකර්ෂණීය ම කාල පරිච්ඡේදය වන්නේ සුන්දර තුරුණු වියයි. මානව හැකියාවන්, දක්ෂතාවන්, ප්‍රබලතා, විභවතා මැනවින් දිස්වනුයේ මේ වයස් සීමාවේ දී ය.

යොවුන් දරුවන් තුළ පවතින උසස් ගුණාංග හා හැකි යාවන් කුසලතා වැඩිහිටියන්ගේ ඇගැයිමට නිරතුරුව ම ලක් වේ. තරුණ දූ දරුවන් අඳීන පළඳීන සිතන පතන හා කරන කියන දේ සමාජ ප්‍රගමනයට සුවිශේෂී දායකත්වක් ලබා දේ. නිෂ්පාදන ක්ෂේත්‍රයේ සංවර්ධන ක්ෂේස්ත්‍රයේ වෙළෙඳපොළ තීරණය කිරීම බොහෝවිට සිදුවන්නේ තාරුණ්‍යයේ රුචිකත්වය සහ චින්තන ශක්තිය ප්‍රමාණය අනුව ය.

ලෝකයේ පුරා අනේකවිධ විලාසිතා නවීකරණය වන්නේ ද තරුණ තරුණියන් ඉලක්ක කරගෙනයි. ඇත්තටම ලෝකය යනු කායික මානසික සෞඛ්‍යයෙන් යුතු තුරුණු දුවා දරුවන්ගේ සුවිශේෂී උරුමයකි. මෙයින් පැහැදිලි වන්නේ රටක ජාතියක දියුණුව උදෙසා කැප විය යුතු අත්‍යවශ්‍යම කණ්ඩායම

වන්නේත් තුරුණු ස්ත්‍රී පුරුෂයන් බවයි.

බුදු දහම ව්‍යාප්ත කිරීම සඳහා යොවුන් ප්‍රජාව දෙනු ලැබු දායකත්වය ද ප්‍රමාණ කළ නොහැකි තරම් ය. චින්තන විප්ලවයට තුඩු දුන් බුදු දහම භාරතය තුළ ස්ථාවර කිරීමට එක්රැස් කර ගත් පුද්ගලයන්ගෙන් බහුතර ප්‍රමාණයක් තරුණයන් හා තරුණියන් බව ඓතිහාසික මූලාශ්‍රවලින් මැනවින් පැහැදිලි වේ. ප්‍රථම භික්ෂු හැටනම අතර කිහිප දෙනකු හැරුණු විට අනෙක් සියල්ලෝ ම තරුණයෝ ය. මෙයින් පැහැදිලි වන්නේ බුදු දහම සමාජ ගත කිරීම සඳහා තාරුණ්‍ය දෙන ලද සහය අතිවිශිෂ්ට බවයි. තුරුණු වියේ දී ඇතිවන ජීව විද්‍යාත්මක වෙනස්කම් සහ තරුණකම, තරුණ ජවය, තරුණ අදහස් වැඩිහිටි හැමෝම අවබෝධ කරගත යුතුයි.

තරුණකම ඉතා වැදගත් වන අතර තරුණ මදය මැනවින් පාලනය කරගත යුතු දෙයකි. භාග්‍යවතුන් වහන්සේ මිනිසුන්ට ඇතිවන මද රාශියක් ම සූත්‍ර දේශනාවල සඳහන් කොට ඇත. එනම් ජාති මදය, ගෝත්‍ර මදය, ජීවිත මදය, ලාභ මදය, සත්කාර මදය, ශිල්ප මදය, ආරෝහ පරිනාහ මදය, යසස් මදය, රූප මදය ආදි මද අතර යොබ්බන මදය නැතිනම් තරුණ මදය සුවිශේෂී වේ. තරුණ වියෙහි සිටින ගැහැණු පිරිමි දෙපාර්ශ්වයට ම මෙම යොබ්බන මද වැළඳීය හැකි ය. මෙය පදනම් විරහිත මානසික තත්ත්වයකි. මෙම තරුණ මදය ඇති වූ විට තරුණ දරුවන් හිතුවක්කාර නොහොත් දඟකාර ස්වභාවයක් ගනී. කායික සංයමයත් මානසික සංයමයත් අමතක වී පහත සඳහන් සිතුවිලි සහ මනෝ භාවයන් නිර්මාණය විය හැකි ය. “මම තවම තරුණය. පින් කිරීම අවශ්‍ය නොවේ. ඊට තව කල් ඇත.” යන සිතුවිලි මෙන්ම පරපීඩක කාමුකත්වය ද ඇති විය හැකි ය. පරපීඩක කාමුකත්වය යනු අනුන් අපහසුතාවට ලක්කොට තමන් සතුටු වීම යි. එය යහපත් දෙයක් නොවේ. තමන් සියල්ල දන්නවා යැයි සිතා වැඩිහිටියන්, මව්පියන්, ගුරුවරුන් දෙන ඔවදන්, උපදෙස් පිළිගැනීමට රුචි නොවීම. තරුණකම නොව තරුණ මදයයි.

වැඩිහිටියන් යාල්පැනගිය අදහස් ඇත්තෝ ය. සම්ප්‍රදායයන් ආරක්ෂා කිරීමෙන් වගතුවක් නැත. ආචාර ධර්ම නිසරු ය. වංචා සහගත ව මුදල් ඉපයුම කළ යුතු ය. දුම්වැටි, මත්ද්‍රව්‍ය මඟින් පෞරුෂය සොයා යෑම වැනි මනෝ භාවයන් තරුණ ජීවිත විනාශ කර දමයි. මේ වැනි මනෝභාවයන් පාලනය කරමින් ජීවිතය සාර්ථක කර ගන්නා ආකාරය බුදුරජාණන් වහන්සේ පරාභව, සිඟාලෝවාද, ව්‍යග්ගපජ්ජ වැනි සූත්‍ර පෙන්වා දී ඇත.

කළ්‍යාණ මිත්තතා හෙවත් යහපත් මිත්‍රයන්ගේ ආශ්‍රය, සීල සම්පදා හෙවත් ගුණ ගරුක වීම, අත්ත සම්පදා හෙවත් මනා චිත්ත ශක්තියක් තිබීම, ඤාණ සම්පත්තියෙන් යුක්ත වීම, උපාය ඤාණයෙන් යුක්ත වීම තුරුණු ජීවිත සාර්ථක කර ගැනීමට ඉතාමත් වැදගත් දහම් කරුණු ය.

ව්‍යග්ගපජ්ජ සූත්‍රය දේශනා කරනු ලැබුයේ දීඝජානු යන තරුණ මහතාට ය. එහිදී මෙලොව ජීවිත සාර්ථක කර ගන්නා ක්‍රම හතරක් පෙන්වා දී ඇත. එනම් උට්ඨාන සම්පදා, ආරක්ඛ සම්පදා, කල්‍යාණ මිත්තතා සමජීවිකතා.

දරුවන් මව්පියන්ට කෘතවේදිත්වය පළකළයුතු වන්නේ ද මව්පියන්ගේ ධනය, ඉඩකඩම් වතුපිටි අපේක්ෂාවෙන් නොව ආචාර ධාර්මික කටයුත්තක් ලෙස සලකා ය. මව්පියන්ගේ උරුමයට සුදුස්සකු වන්නේ දහමේ දක්වා ඇති සදාචාර සම්පන්න ගුණ ධර්මයට අනුවයි. මව්පියන් වැඩිහිටි නිවාසවල නවත්වා මව්පියන්ට කෘතවේදිත්වය පල කළ නොහැක. මව්පියන්ට සැලකීම වගකීමක්, යුතුකමක්, ගුණ ධර්මයක් ලෙස සලකා ඉටු කළ යුතුයි.

අපේ තරුණ දරුවන් හණමිටි අදහස් කරපින්නාගෙන යා යුතු ද නැත. නූතනයේ ද බොහෝ දෙනා සිතා සිටින්නේ භාර්යාව ස්වාමියාට යටත් විය යුතු බවයි. කිසිවක් කිසිවකුට යටත් විය යුතු නැත. වැදගත් වනුයේ අවබෝධයෙන් සහ සහජීවනයෙන් ජීවත්වීමයි.

පවුල සමාජයේ ප්‍රාථමික ඒකකය වන අතර අන්සියලු ඒකකවල නිර්මාණකරුවා ද වේ. ගිහි ජීවිත ගත කරන ඔබ අවිවාහක ව සිටිය යුතු නැත. විවාහ ජීවිතයට ප්‍රවේශ විය යුතු ය. රටට, දැයට සමයට වැඩ ඇති දූ පුතුන් නිර්මාණය කළ යුතු ය. ගිහි බන්ධනයෙන් ඉවත් වීමට නොහැකි ශ්‍රාවකයාට ගුණවත් ව, සිල්වත් ව ජීවත් වන ආකාරය සම්බුදු දහම තුළ පෙන්වා දී ඇත. එහිදී අගාරික ප්‍රතිපදාව අනුගමනය කළ යුතු ය. ගිහියා විසින් පිළිපැදිය යුතු ගිහිවත වශයෙන් බුදුරජාණන් වහන්සේ විසින් වදාරන ලද්දේ නිත්‍ය පංච සීලයයි. නූතන තරුණ පරපුරට ප්‍රතිපත්ති ගරුක ව පහසුවෙන් රැකිය හැකි පංච සීලය යාවජීව වශයෙන් ආරක්ෂා කළ හැකි අතිවිශිෂ්ට චර්යා ධර්ම පද්දතියකි. ඇතැම් අය ධර්මයට අනුව ජීවත් නොවී, ධර්මය තමන්ට අවැසි පරිදි ගලපාගෙන ජීවත් වීමට උත්සහ දරයි. එය ධර්මානුකූල ජීවිතය නොවේ. ඇතැම් අය ධාර්මික ජීවිතය මහලු වියේ දී ප්‍රායෝගික ව අත්විඳීය යුත්තක් ලෙස අර්ථකතනය කරයි. එය සපුරා වැරැදි සිතුවිල්ලකි. බුදු දහම යනු බුදුරජාණන් වහන්සේ තුරුණු වියේ දී කරන ලද පර්යේෂණාත්මක ක්‍රියාවලියක අග්‍රඵලය බව හැමෝම අවබෝධ කර ගත යුතු යථාර්ථයකි.

උඳුවප් පුර පසළොස්වක

දෙසැම්බර් 04 බ්‍රහස්පතින්දා පූ.භා 08.39 පුර පසළොස්වක ලබා 05 සිකුරාදා පූ.භා 04.45න් ගෙවේ.
04 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

 ‍දෙසැම්බර්  04 

Second Quarterඅව අටවක

‍දෙසැම්බර්  11    

Full Moonඅමාවක

දෙසැම්බර් 19

First Quarterපුර අටවක

දෙසැම්බර් 27   

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]