|
උඳුවප් පුර පසළොස්වක පෝ දා
2025-12-04
ධර්මයේ රැකවරණය ලබමු
ආධ්‍යාත්මික ගුණධර්මයන්ගෙන් පොහොසත් වන තරමට ජීවිතයකට ලැබෙන වටිනාකම ඉහළ ය.
ඒ උදාරත්වය ආරක්ෂා කර ගැනීම සඳහා සම්බුද්ධ දේශිතයේ එන කරණීය මෙත්ත සූත්‍රය මාහැඟි
මාර්ගෝපදේශයකි.
භාවනා වැඩීම සඳහා වනනගත වූ භික්ෂූන් වහන්සේ මුහුණ දුන් අමනුෂ්‍ය දෝෂ දුරලනු පිණිස
අප සම්බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරනු ලැබූ මෙම උතුම් සුතුර කරදර බාධක නැති
සැනසිලිදායක ජීවිතයක් අපේක්ෂා කරන කාහට වුව ද ජීවිතය බබළවා ගත හැකි මහඟු මිණකි.
බෞද්ධ පවුලක හැදෙන වැඩෙන පුංචි දරුවකුට පවා කටපාඩමින් සජ්ඣායනය කළ හැකි වුව ද එහි
ගැබ් වූ මහා ගුණ අර්ථාන්විත ව පුරුදු පුහුණුූ කරන්නට ගන්නා උත්සාහය නම් අගය කළ යුතු
තැනකට තවමත් පැමිණ නැත. විවිධ පීඩාකාරි සංසිද්ධීන් නිසා සැනසීම අහිමි ව ජීවිතය ම
වැනසී යන තරමට බොහෝ දෙනකු අභාග්‍යය උරුම කර ගන්නා අයුරු මේ සමාජයේ දී ම අපි
අත්දකිමු. මැණික්ගලේ පය හැපුණත් කණ වූ පුද්ගලයකුට එය අහුලා ගන්නට දැනීමක් නොවන්නා
සේ, සරලව ම කියනවා නම් අන්ධයාට මැණික් ගලක වටිනාකම නොපෙනෙන්නා සේ, අප තථාගතයන්
වහන්සේ දේශිත අමා ධර්මයේ එන ඔවා මිණි දැන දැක එයින් ප්‍රයෝජන ගන්නට මනැස නම් වූ ඇස
අන්ධ වූවනට තවමත් හැකියාව ලැබී නැත.
අද අපි සමාජය තුළ අත්විඳින ස්වභාවික ව්‍යසන එක් ආකාරයකින් අපට ජීවිතය ගැන උගන්වන
පාඩම අමතක කළ යුතු නැත. ජීවිතය තණ අග පිනි බිඳක් තරමටවත් නිශ්චිත නොවන වග මේ මොහොතේ
අපි ඇසින් දකිමු. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මත් වී කරන අකුසලයන්හි පාපයන්හි
භයානක විපාකයන්ට කවර මොහොතක හෝ අපට මුහුණ දෙන්නට සිදුවනු ඇත.
‘ධම්මො හවෙ රක්ඛති ධම්මචාරී’
ධර්මයෙහි හැසිරෙන පුද්ගලයා ධර්මයෙන් ම රකී යන බුදු වදන අනුව අපට ඇති එකම සරණ ධර්මය
ම පමණි. අප වෙත එන කවර බාධක, කම්කටොළු, දුක් විපත් හමුවේ එහි සාධාරණ අසාධාරණ බව ගැන
අනුන්ට දෙස් තබා ප්‍රයෝජනයක් නැත. තමන් කළ කම් විඳිය යුතු තමන් ම ය. අම්මා තාත්තට
හෝ ඒ දුක් විපත් භාරගත නොහැකි ය. එහෙයින් තමන්ට අර්ථය සලසා ගන්නට තමන් ම වග බලා ගත
යුතු ය. මෙලොව, පරලොව යන දෙලොව ම දුක සැප තීරණය කරන්නේ ඒ චර්යා රටාවයි.
කරණීයමෙත්ත සූත්‍රයේ එන ලෙස අප සියලු සතුන්ට මෙත් සිත පැතිර විය යුතුª, සියලු සතුන්
වෙනුවෙන් රැකවරණ පැතිය යුතු, මවක් තම එකම පුතු වෙත දක්වන අප්‍රමාණ ආදරය සෙනෙහස හා
රැකවරණය පරිද්දෙනි. ඒ අවංක සිතිවිල්ල අනුන්ට සේ ම තමන්ට ද හිත පිණිස ම ය. තමන්ගෙන්
අනුන්ට කරදරයක්, විපතක් නොවන තාක් අනුන්ගෙන් ද එවැනි අයහපතක් තමන්ට සිදු නොවේ.
සොබාදහම පවා එවැනි අයට ආශිර්වාද කරයි. තමන්ගේ පෙර අකුසල නොවේ නම් එවැනි පුද්ගලයා
කවර අනතුරකින් වුව ආරක්ෂා වේ. ඒ ආශිර්වාදය ලබන එකම මඟ දැහැමි සිතිවිල්ලෙන්, දැහැමි
ක්‍රියාවෙන් ම ජීවිතය පැවැත්වීම ය. |