[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිරිසවැටිය සෑ රදුන් වහන්සේ. සේයාරුව - නිශ්ශංක විජේරත්න

  අධි වප් අමාවක 

    ඔක්තෝබර් 16 සිකුරාදා පූර්වභාග 04.52 න් අමාවක ලබා 17 සෙනසුරාදා පූර්වභාග 01.00 න් ගෙවේ.
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 16

First Quarterපුර අටවක

ඔක්තෝබර් 23

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 30

Second Quarterඅව අටවක

නොවැම්බර් 08

බුදු දහමේ ප්‍රවර්ධනයට ඉන්දියාවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 15ක්

ශ්‍රී ලංකාවට බුදු දහම ලැබුණේ ඉන්දියාවෙනි. ඉන් පසුව බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ සේ සැලකෙන ශ්‍රී දළදා වහන්සේත්, ශ්‍රී මහා බෝධීන් වහන්සේත් මෙරටට වැඩම කරවූයේ ඉන්දියාවෙනි. ඉන්දු ලංකා සබඳතා තරවීමට හේතුව අතීතයේ සිට ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තිබූ මේ බෞද්ධ ආගමික හා සංස්කෘතික සබඳතාවයයි. එහි තවත් පියවරක් ඉදිරියට තැබීමක් ලෙස ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දියාවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 15ක (රුපියල් මිලියන 2800ක් පමණ) ප්‍රදානයක් ලබා දීමට කටයුතු කර තිබේ. මීට වසර කිහිපයකට පෙර බුද්ධගයාවේ සිට ඍජුව ම කටුනායක දක්වා පැමිණීමට ගුවන් සේවා ආරම්භ කිරීමට ද ඉන්දීය රජය විසින් කටයුතු කරන ලදී. ඒ වෙසක් දින ජාතික උත්සවයට මෙරටට පැමිණි ඉන්දීය අගමැතිවරයාගේ පොරොන්දුවක් ඉටු කරමිනි. එමෙන්ම පසුගිය සැප්තැම්බර් මස 26 වැනිදා අන්තර්ජාලය ඔස්සේ පැවති ඉන්දියා - ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සමුළුවේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමා ශ්‍රී ලංකාවේ බෞද්ධ කටයුතු වෙනුවෙන් විශේෂයෙන් ම බුදු දහමේ ප්‍රවර්ධන කටයුතු උදෙසා ඇමරිකන් ඩොලර් මිලියන 15ක් ලබා දීමට පොරොන්දු විය. එම පොරොන්දුව ලබා දී දෙසතියක් ඉක්ම යන්නටත් පෙර එනම් පසුගිය 8 වැනිදා ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ් මැතිතුමා බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මැතිතුමා හමු විය. ඒ හමුවේ දී අදාළ මුදල් යොදවා සිදු කරන්නට සූදානම් වන කටයුතු පිළිබඳව සාකච්ඡා කෙළේ ය.


ධර්ම දේශනාව:

ආලෝකය ද අඳුර ද උදාකර ගන්නේ තමා ම ය

චීරප්පවාසිං පුරිසං - දූරතො සොත්ථි මාගතං - ඤාතිමිත්තා සුහජ්ජා ච - අභිනන්දන්ති ආගතං, බොහෝ කලක් විදේශීය රටක වාසය කොට සුවසේ පැමිණි පුද්ගලයෙක් ඔහුගේ නෑදෑ මිත්‍රයනුත්, හිතවතුනුත් ආදරයෙන් පිළිගෙන යම් සේ සතුටු වේද? එසේම, පුණ්‍ය විපාකයෝ කළ පින් ඇත්තා මෙලොවින් පරලොවට ගිය කල පි‍්‍රය නෑයකු මෙන් පිළිගනිති.  ඉහත ගාථාවන් ඛුද්ධක නිකායට අයත් ධම්මපදයේ වග්ග 26 පිය වග්ගයට සම්බන්ධ ගාථා රත්නයයි. බොහෝ දුර සිට පැමිණි නෑදෑයකු සොම්නසින් පිළිගන්නා සේ සිදුකළ පින් කුසල් පරලොව දී පිළිගන්නා බව පෙන්වීමට “නන්දිය” උපාසක තුමා මුල්කරගෙන මෙම කථා ප්‍රවෘත්තිය බරණැස් නුවර ඉසිපතනාරාමයේ දී ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. බරණැස් නුවර පවුලක මවුපියෝ තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවන්ත ව, ගෞරවයෙන් විසූහ. ඔවුන්ගේ පුත්‍ර නන්දිය පින් පිරීමෙහි නියැළී විසුවේ ය. මව්පිය උපස්ථාන ක්‍රමානුකූල ව සිදු කළ අතර, මව්පියන්ගේ ඇවෑමෙන් පසු බොහෝ කුසල් කළේ ය. මව්පියන් මිය යාමෙන් පසුව නන්දියට පවුලේ වගකීම භාර ගන්නට සිදුවිය. පින් කිරීමේ ආසාව කැමැත්ත බලවත් ව තිබුණි. නන්දිය ඉසිපතන විහාරය අලංකාර රමණීය ආවාස ගෙයක් ලෙස (විහාරයක්) කරවා එහි කැප ආකාරයේ විවිධ වටිනා බඩු සුදුසු ලෙස තැන්පත් කර සරසා බුදුපාමොක් මහා සංඝයා වහන්සේට පූජා කළේ ය. එහි ප්‍රතිඵලයක් වශයෙන් නන්දිය උපාසකතුමාට තව්තිසා දෙව්ලොව පහළ වූ දිව්‍ය මන්දිරය කිසිම ආකාරයකින් වර්ණනා කළ නොහැකි තරම් ය. දිනක් මහ මුගලන් මහ රහතන් වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩමවා නැවත පැමිණ එම දිව මැඳුරේ ස්වභාවය රමණීයත්වය, අලංකාරය ගැනසම්බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළහ. එය උපමා කරගෙන බුදුන් වහන්සේ, කලක් පිටත ගොස් සිටි අයෙක් නැවත සිය නිවසට පැමිණෙන විට ඤාති මිත්‍රාදී සියලු දෙනාම බහු සතුටින් පිළිගනිත් ද, එමෙන්ම කළ පින් කුසල කර්ම පරලොව ගිය කල ඔහු විශේෂයෙන් ම පිළිගනී යැයි දේශනා කළ සේක.

 

පරිසරයට ආදරය කරන්නාට පරිසරය ද ආදරය කරයි

බුද්ධ චරිතය ආරම්භයේ සිට අවසානය තෙක් විමසා බැලීමේ දී අපට හොඳින් පැහැදිලි වන කරුණක් වන්නේ බුද්ධ චරිතයේ සෑම විශේෂ සිදුවීමක් ම සිදු වී ඇත්තේ පරිසරය ආශ්‍රය කොට ගෙන බවයි. රම්‍ය, සුරම්‍ය, සුභ විශේෂිත වූ මාලිගා තුනක් සිදුහත් කුමරාට ගිහි ජීවිතය ගත කිරීමට නිම කොට දී තිබූ බව බෞද්ධ ඉතිහාසය පෙන්වා දෙයි. මහාමායා දේවිය දරු ප්‍රසූතිය සඳහා මව්පිය නිවෙසට යද්දී උයන් සිරි නරඹනු වස් ලුම්බිණි සල් උයනට පිය නැඟී ය. අසිරිමත් සිදුවීමක් වන සිදුහත් උපත සිදු වූයේ මෙම මනරම් උයනේ දී ය. එමෙන්ම , සිදුහත් කුමරු මනරම් සුව සම්පත් ඇති, අතිශය අලංකෘත වූ මාලිගා තිබියදීත් නිරන්තරයෙන් උයන් සිරි විඳීමට උයන්හි කාලය ගත කළේ ද පරිසරය හා ඇති මිහිරියාව විඳ ගැනීමට ය. බෝසත් සිරිත හා නිරන්තරයෙන් පරිසරය බැඳී තිබුණ බව මෙවන් හේතු මත පැහැදිලි වන්නේ ය. සිදුහත් කුමරුගේ උපත මෙන් ම උතුම් සම්බෝධිය අවබෝධ කර ගත්තේ ද පරිසරය හා සමඟ බැඳෙමින් උතුම් වූ ඇසතු බෝ සමිඳුන් සෙවණේ දී ය එසේ උතුම් බුද්ධත්වයට පත් වූ උන් වහන්සේ සත් සතියක් පුරා තමන් වහන්සේට උපකාර වූ බෝ සමිඳුන්ට පූජෝපහාර දැක් වූ බව ද සඳහන් වේ. එමෙන්ම පුරා වසර 35 ක් පුරා ලෝ වැසි සතුන්ට සංසාර ගමන් මඟ කෙළවර කිරීමට දම් දෙසු අප බුදුරජාණන් වහන්සේ පිරිනිවනට වැඩියේ ද පරිසරය හා බැඳි කුසිනාරාවේ මල්ලව රජ දරුවන්ගේ සල් උයනේ දී ය. මෙලෙසින් බුදුන් වහන්සේගේ ජීවන ගමනේ විශේෂිත වූ සියලු අවස්ථාවන් සඳහා පරිසරය සම්බන්ධ වීම තුළින් අපට පැහැදිලි වන්නේ බුදු දහම පරිසරය හා බැඳී ඇති දහමක් බවයි.බුදුන් වහන්සේ අරිය පර්යේෂණ සූත්‍රයේ දී ද උන් වහන්සේ පරිසරයට දැක් වූ සැලකිල්ල පිළිබඳව පැහැදිලි කොට ඇත.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk