[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේ අතරින් අග්‍ර වූ කදිරවනිය රේවත මහ රහතන් වහන්සේ

ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේ අතරින් අග්‍ර වූ කදිරවනිය රේවත මහ රහතන් වහන්සේ

"මිනිස් වාසයක් නැති අමනුෂ්‍යයන් අරක්ගත් තිස් යොදුන් දුෂ්කර මාවතෙහි දාන මාන, වාසස්ථාන නොඅඩුව ලැබුණේ ප්‍රත්‍යලාභීන් අතර අග්‍ර වූ සීවලී මහ රහතන් වහන්සේගේ පුණ්‍ය මහිමය නිසා ය. යොදුනක්, යොදුනක් පාසා දිව්‍යමය දන් , පැන් පූජා ලබමින් සඟ රුවන කිහිරි වනයට වැඩම කළ අයුරු අසිරිමත් ය. "

අසූ මහා ශ්‍රාවකයන් අතර බැබළෙන තවත් රහතන් වහන්සේ නමක් වන්නේ ඛදිරවනිය රේවත මහ රහතන් වහන්සේ යි. උන්වහන්සේ සම්බුදු සසුනේ ආරණ්‍ය වාසී භික්ෂූන් වහන්සේ අතරින් අග්‍ර වූ සේක. රළුව, විෂම ව පැවැති කිහිරි වනයක වාසය කළ බැවින් උන්වහන්සේ හැඳීන්වූයේ ‘ඛදිරවනිය රේවත’ නාමයෙනි.

මේ සඳහා ඛදිරිවනිය රේවත ස්වාමීන් වහන්සේ මෙයින් කල්ප ලක්ෂයකට පෙර සසර මඟ කළ පින්කම විශිෂ්ට ය. ඒ පදුමුත්තර බුදුන් වහන්සේගේ කාලයෙහි ගංගා නම් ගඟට සම්බන්ධ ප්‍රයාග තොටුපලෙහි ප්‍රධාන නාවික පුරුෂයා ලෙස ය. එක්තරා දිනක පදුමුත්තර බුදුන් වහන්සේ සමඟින් ලක්ෂයක් මහ රහතන් වහන්සේ තොටුපළට වැඩම කළේ ගංඟාවෙන් එතෙර වනු පිණිස ය. සඟ රුවනේ අසිරිමත් දසුනින් පැහැදුණු නාවික පුරුෂයා සිදු කරගත් කුසලය ඉමහත් ය.

තමා සෙසු නාවිකවරු ද සමඟින් පාරු රැසක් ළඟාකර පාරු පාලමක් සකසා අවට හා උඩු පෙදෙසෙහි විසිතුරු වියන් බඳවා, පුෂ්පෝපහාර මධ්‍යයේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය එතෙර කරවූයේ ඉමහත් ශ්‍රද්ධාවෙනි. එහිදී පදුමුත්තර බුදුන් වහන්සේ , නැව් පතියාගේ පිනෙහි මහිමය දැක, එක්තරා භික්ෂූන් වහන්සේ නමකට ආරණ්‍ය වාසී භික්ෂූන් වහන්සේ අතරින් අග්‍රස්ථානයේ පිහිටුවීම විශේෂිත ය.

එහි දී මෙවැනි තනතුරක් තමාට ද ලැබේවා ‘යි පැතූ නැව්පතියා බුද්ධ ප්‍රමුඛ මහා සඟරුවනට සතියක් මුළුල්ලේ මහ දන් පවත්වා තම අදහස දන්වා සිටියේ වැඳ නමස්කාර කරමිනි. එහිදී පදුමුත්තර බුදුන් වහන්සේ විවරණ ලබා දුන්නේ නැව් පතියාගේ අදහස මෙයින් කල්ප ලක්ෂයකට පසුව බුද්ධත්වයට පත් වන ගෞතම බුද්ධ ශාසනයේ දී ඉෂ්ට සිද්ධ වන බවට ය.

මෙලෙස ජීවිතාන්තය දක්වා බොහෝ පින්කම් සිදු කර ඔහු සසරේ අවසන් ආත්ම භාවයේ උපත ලැබුවේ මගධ රටේ නාලක බමුණු ගමෙහි ‘රේවත’ නාමයෙනි. රේවතගේ පියාණන් වූයේ උපතිස්ස මහාසාල බමුණා ය. සාරි බැමිණිය තම මෑණියන් වහන්සේ ය. වැඩි මහල් සොහොයුරන් තිදෙනෙක් සහ වැඩි මහල් සොහොයුරියන් තිදෙනෙකුගෙන් යුතු පවුලේ බාලයා වූයේ රේවත කුමරු ය.

මොහුගේ සොයුරු, සොයුරියන් සැවොම සම්බුදු සසුනේ පැවිදි වූ නිසා මෑණියන්ගේ අදහස වූයේ බාල පුතණුවන් වන ‘රේවත’ ගිහි ගෙයි රඳවා ගැනීම ය. ඒ උදෙසා යොවුන් වියේ පසු වූ රේවතට සොඳුරු යුවතියක් සරණ පාවා දෙන සරණ මංගල්‍ය උදා විය. මේ අවස්ථාවට පැමිණ ඥාතීන් පැතුවේ එකසිය විසි වියැති මිත්තනිය මෙන් මේ සොඳුරු යුවතියටත් ජීවත් වීමට භාග්‍ය ලැබේවා’ යි යනුවෙනි.

මේ ගැන විමසිලිමත් වූ රේවත කුමාරයාට දක්නට ලැබුණේ අසුභ දසුනකි. ඒ දත් වැටුණු, කෙස් පැසුණු, සම රැළි ගැසී ගිය ,දුර්වල ඉඳුරන් සහිත අපැහැදිලි කතා ඇති, කුදු සිරුරකින් යුතු සැරයටි වාරුවෙන් ගමන් ගන්නා එකසිය විසි වියැති මහලු මිත්තනිය යි. මේ ස්වභාවය තම අතිනත ගන්නා බිරියට ද උරුම බව සිතූ රේවතට ගිහි ගෙයි ගැන ඇති වූයේ ඉමහත් කළකිරීමකි.

මේ උගුලෙන් ගැලවීමට සිතූ ඔහු මංගල රියෙහි නැඟී නිවසට යන අතරේ දී ශරීර කෘත්‍යයකට යැ’යි පවසා ,රිය දෙවරක් ම නවතා ගියේ වන ලැහැබ තුළට ය.

තෙවන වර ද “ ඔබ යන්න මම පසුව එමි” යි රේවත කුමරු රියෙන් බැස දිව ගියේ වනයෙහි වූ ආරාමයක් වෙත යි. එහි දී ඔහු පැවිදි කරන ලෙස තිස් නමක් පමණ භික්‍ෂූන් වහන්සේගෙන් ඉල්ලා සිටියත් එය ප්‍රතික්ෂේප වූයේ මව්පිය අවසරය නැති නිසා ය.

පසුව රේවත කුමරු තම වැඩිමල් සොයුරු සැරියුත් ස්වාමීන් වහන්සේ බව දන්වා සිටියේ පැවිදි වීමේ දැඩි අභිලාෂයෙනි. ඒ අනුව රේවත කුමරු පැවිදි වූයේ තම සොහොයුරු සැරියුත් තෙරුන් වහන්සේගේ ප්‍රතිඥාව නිසා ය. ඒ ‘මිත්‍යා දෘෂ්ටික මාගේ පවුලේ නෑයන් අතුරෙන් කවුරුන් හෝ පැමිණ පැවිදි වීමට ඉල්ලා සිටියහොත් මව්පිය අවසරයෙන් තොරව පැවිදි කරන්නැ’යි ප්‍රතිඥාව ය.

මෙලෙස පැවිදි වූ රේවත තෙරුන් වහන්සේ විසි වයස සපිරීමත් සමඟ උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක් විය. ආරණ්‍යයෙන් එහා යොදුන් විස්සක් දුරින් පිහිටි කිහිරි වනයේ උන්වහන්සේ වාසය කිරීම විශේෂිත ය. ඇතැම් භික්‍ෂූන් වහන්සේ ආරණ්‍ය ගත ව වාසය කරන්නේ පැන් පහසුව, පිණ්ඩපාත පහසුව, ගමනාගමන පහසුව සඳහා යි. එහෙත්, රේවත ස්වාමීන් වහන්සේ , ඒ කිසිදු පහසුකමක් නොබලා දරුණු කිහිරි සහිත දුෂ්කර පතොක් වනයේ වාසය කළේ ඉතා සතුටෙනි. උන්වහන්සේ අධික වීර්යයෙන් බවුන් වඩා රහත් වන තුරා අධිෂ්ඨාන කළේ බුදුන් වහන්සේ හෝ සැරියුත් තෙරුන් වහන්සේ හෝ නොදැක සිටීමට යි.

සැරියුත් තෙරුන් වහන්සේ තම සොහොයුරු රේවත ස්වාමීන් වහන්සේ ගැන සොයා බැලීමට දෙවතාවක් ම සූදානම් වුව ද, බුදුන් වහන්සේ එයට අවසර නුදුන්නේ ඒ වන විට රේවත තෙරුන් වහන්සේ රහත් ව නොසිටි නිසා ය.

පසුව අධික වීර්යය වඩා රහත් වූ රේවත ස්වාමීන් වහන්සේ දැකීමට බුදුන් වහන්සේ ප්‍රමුඛ සැරියුත් තෙරුන් වහන්සේ සමඟ තවත් බොහෝ භික්ෂූන් වහන්සේ ගමන් ඇරැඹුවේ කදිරවනය වෙත ය. එහිදී අතර මඟ හමු වූ දෙමන්සන්ධියක් පෙන්වා අනඳ තෙරණුවෝ බුදුන් වහන්සේට පැවසුවේ, කිහිරි වනය වෙත පිවිසීමට මාවත් දෙකක් තිබෙන බව යි.

එක් මාවතක් සැප පහසුකම් බහුල වුව ද යොදුන් හැටක් දුර ය. අනෙක් මාවත මනුස්ස වාසයක් නොමැති වුව ද යොදුන් තිහක් කෙටි ය. එහි දී බුදුන් වහන්සේගේ උපදෙසින් ආනන්ද ස්වාමීන් වහන්සේ සොයා බැලුවේ සීවලී මහ රහතන් වහන්සේ මෙහි වැඩම කර ඇති බව යි. ඒ අනුව බුදුන් වහන්සේ දුෂ්කර කෙටි මාවතේ ගමන් අරඹන ලෙස උපදෙස් දුන්නේ සීවලී මහ රහතන් වහන්සේගේ පුණ්‍ය මහිමය ලෝකයා හමුවේ පෙන්වීම උදෙසා ය. මිනිස් වාසයක් නැති අමනුෂ්‍යයන් අරක්ගත් තිස් යොදුන් දුෂ්කර මාවතෙහි දාන මාන, වාසස්ථාන නොඅඩුව ලැබුණේ ප්‍රත්‍යලාභීන් අතර අග්‍ර වූ සීවලී මහ රහතන් වහන්සේගේ පුණ්‍ය මහිමය නිසා ය. යොදුනක්, යොදුනක් පාසා දිව්‍යමය දන් , පැන් පූජා ලබමින් සඟ රුවන කිහිරි වනයට වැඩම කළ අයුරු අසිරිමත් ය. එහිදී රේවත තෙරුන් වහන්සේ ද බුදු පාමොක් මහ සඟරුවනට විහාර, ගන්ධකුටි, රාත්‍රි ස්ථාන, දිවා ස්ථාන, පැන් පොකුණු , සක්මන් මලු ආදී විහාරාංග රැසක් පිළිගැන්වූයේ ඍද්ධි බලයෙනි. මෙලෙස අඩ මසක් පුරා ඍද්ධි බලයෙන් පිළිගැන්වූ දානාදී ලබමින් සිටි ඇතැම් උඩඟු සිත් ඇති භික්ෂූන් වහන්සේ වචනයෙන් සිදු කරගත් පාපය ඉමහත් ය. ‘මේ නම් කවර වන වාසයක් ද? මෙහි ඇති සැප පහසුකම් ජේතවන විහාරය, වේළුවන විහාරයටත් වඩා වැඩි යි. මෙබඳු භික්ෂූන් වහන්සේ නමක් තුළ පිහිටන්නේ කවර සීලයක් ද?, මෙබඳු සුඛෝපභෝගී භික්ෂූන් වහන්සේ නමක් දැකීමට බුදුන් වහන්සේ , අපත් සමඟ මෙහි වැඩම කළේ කුමටදැ’යි, යනුවෙනි.

මෙලෙස අඩ මසක කාලයක් ගෙවී යාමෙන් පසුව බුදුන් වහන්සේ සමඟින් මහා සංඝ රත්නය නැවත සූදානම් වූයේ කිහිරි වනයෙන් පිටත් ව යෑමට ය. ඒ සමඟම රේවත තෙරුන් වහන්සේ ඍද්ධියෙන් මවා දැක්වූ සුවිසල් විහාරාරාංග නවතා දමා වාසය කළේ සුපුරුදු ලෙස යි.

එහි දී රේවත තෙරුන් වහන්සේගේ නුඟුණ පැවසූ භික්ෂූන් වහන්සේලාට සිදුවූයේ කරදර පීඩා රැසකි. උන්වහන්සේලා අඳුරු කිහිරි වනයේ ඉදිරියට යාමට නොහැකිව, කටු ගස්වලපැටලෙමින්, සිවුරු ආදිය ඉරී ගොස්, සීරී තුවාල සහිත ව සැවැත් නුවරට වැඩම කළේ අපමණ දුක් වේදනා මධ්‍යයේ ය.

එහෙත් රේවත තෙරුන් වහන්සේ ගැන සතුටු වූ, ගුණ පැවසූ භික්ෂූන් වහන්සේ සැවැත් නුවරට වැඩම කළේ කරදර, බාධා කිසිවක් නොමැති ව ය. මෙලෙස සැවැත් නුවරට වැඩම කළ භික්ෂූන් වහන්සේගෙන් විශාඛා උපාසිකාව විමසුවේ රේවත හිමියන්ගේ විහාරස්ථානය ප්‍රිය මනාප ස්ථානයක් ද යනුවෙනි.

එහිදී ඇතැම් භික්ෂූන් වහන්සේ වදාළේ, එය කටු කොහොලින් පිරි වනයක් බව යි. තවත් භික්ෂූන් වහන්සේ පිරිසක් වදාළේ එය රමණීය විහාරස්ථානයක් බව යි. මේ කාරණා දෙකෙන් කුමක් නිවැරැදි දැ’යි දැන ගැනීමට සිතූ විශාඛාව මේ ගැන විමසුවේ බුදුන් වහන්සේගෙනි.

එහිදී බුදුන් වහන්සේගේ පිළිතුර වූයේ ගමක හෝ වනයක හෝ වළක හෝ ගොඩක හෝ කොතැනක හෝ රහත්හු වාසය කෙරේ නම් එතැන රමණීය වන බව යි.

පසු කලෙක රේවත තෙරුන් වහන්සේ ජේතවනාරාමයට වැඩම කළේ ලොව්තුරා බුදුන් වහන්සේටත්, ධර්මසේනාධිපති සැරියුත් තෙරුන් වහන්සේටත් වන්දනා කිරීම පිණිස ය. එහි දී දම් සභා මණ්ඩපයට රැස් වූ භික්ෂූන් වහන්සේ මධ්‍යයේ බුදුන් වහන්සේ විසින් ඛදිරවනිය රේවත මහ රහතන් වහන්සේට ලබා දුන් තනතුර විශේෂිත ය. ඒ ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේ අතරින් අග්‍ර වන බව යි.

  අධි වප් අමාවක 

    ඔක්තෝබර් 16 සිකුරාදා පූර්වභාග 04.52 න් අමාවක ලබා 17 සෙනසුරාදා පූර්වභාග 01.00 න් ගෙවේ.
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 16

First Quarterපුර අටවක

ඔක්තෝබර් 23

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 30

Second Quarterඅව අටවක

නොවැම්බර් 08

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk