[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දුටුගැමුණු රජතුමා - 09: බලවඩන පින්කම් කර ලක්දිව ඉපදුණු දස මහ යෝධයෝ

දුටුගැමුණු රජතුමා - 09:

බලවඩන පින්කම් කර ලක්දිව ඉපදුණු දස මහ යෝධයෝ

ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට වෘත්තීය යුද හමුදාවක් තනා රට එක්සේසත් කිරීමේ ගෞරවය හිමි වන්නේ කාවන්තිස්ස රජුට ය.

දූරදර්ශී නායකයෙක් වූ එතුමා දස මහ යෝධයන් ප්‍රමුඛ චතුරංගී සේනාවක් පිහිටුවීමේ අවධානය යොමු වූයේ ගැමුණු කුමරු කුඩා කාලයේ ය. එළාර රජු සමඟ සටන් වැදීමට නම් ඊට හැම අතින්ම සූදානම් විය යුතු බව ඔහු දැන සිටියේ ය. ඒ සඳහා ඔහු ක්‍රමානුකුල ව සූදානම් විය.

දුටුගැමුණු රජතුමා ගේ යුද්ධ සේනාව භාරව සිටි සෙන්පතියන් දසදෙනා දසමහ යෝධයන් ලෙස ප්‍රසිද්ධ ව ඇත. ඔවුන් නන්දිමිත්ත, සුරනිමල, මහාසෝණ, ගෝඨයිම්බර, ථෙරපුත්තාභය, මහාභරණ, වේළුසුමන, ඛඤ්ජදේව, ඵුස්සදේව, ලභිය්‍ය වසභ යනුවෙන් මහාවංශයේ සඳහන් වේ. යෝධ යනු ‘යුද්ධ කරන්නා’ ලෙස මහාවංශය අර්ථ දක්වා ඇත. එහෙත් කතා කිරීමේ දී ‘ශක්ති සම්පන්න පුද්ගලයා’ ලෙස හැඳින්වීමට මේ නම යොදා ගනු ලැබේ. ඇතැම් අවස්ථාවලදී යෝධයන් හැඳින්වීම සඳහා මහ ඇමති, සේනාපති යන තනතුරු යොදා ඇත. සේනාපති යනු සේනාවක නායකයා යන්නයි.

මෙ දස මහ යෝධයන්ට අමතරව දාඨාසේන හා මහානේල යන යෝධයන් දෙදෙනකු ගැන සෙසු යෝධ නාමාවලියේ අවසානයට දක්වා ඇත. දොළොස් මහ යෝධයනට අමතර ව බුලතා නමින් හැඳීන්වෙන යෝධයකු ගැන ද ජනප්‍රවාදයේ පවතී.

දසමහ යෝධයන් බඳවා ගැනීමෙන් අනතුරුව ඒ හැම කෙනකුටම තව සෙබළු දස දෙනෙකු බැගින් ද එක් එක් අයට තවත් දස දෙනා බැගින් ද ගෙන ඒමට නියම කිරීමෙන්, කාවන්තිස්ස රජු යුද සෙබලුන් එකළොස් දහස් එකසිය දස දෙනකුගෙන් යුත් සේනාවක් තම පුතුට දායාද කළේ ය.

බොහෝ ග්‍රන්ථවල දසමහ යෝධයන්ගේ අතීත භවය පිළිබඳ තොරතුරු විස්තර කර ඇත. මේ සියලු දෙනා කෝනාගම, කාශ්‍යප බුදුරජාණන්වහන්සේලාගේ කාලවල දී බලවඩන පින්කම් කර දිව්‍ය සැප විඳ ලංකාවේ යෝධයන් ව ඉපදුණු බව කියැවේ.

නන්දිමිත්ත

නන්දිමිත්ත යෝධයා ගේ උපන් ගම ලෙස සද්ධර්මාලංකාරයේ සිතුල්පව්ව සමීපයෙහි නැෙඟනහිර දිශාවෙහි කඩරෙද්ද නම් ගම යනුවෙන් විස්තර වෙයි. ඒ නමින් සඳහන් වෙන්නේ වර්තමානයේ දකුණු දිශාවේ සිතුල්පව්ව නමින් හැඳින්වෙන ප්‍රසිද්ධ පූජා භූමිය හා එය පිහිටි ප්‍රදේශයයි.

නන්දිමිත්ත යෝධයාට මව්පියන් විසින් තබන ලද නම මිත්ත යනු විය. එය සිය මවගේ සහෝදරයා වූ එළාර රජුගේ සෙන්පතියකු වූ මිත්ත ගේ නාමය අනුව තැබූ නමකි. මිත්ත බඩගාගෙන යන ඉතා ළදරු වියේ දී ගෙදර රඳවා තබා යාම සඳහා රැහැනක බැඳ අනෙක් කෙළවර ඇඹරුම් ගලක බැන්ෙඳ් ය. ඔහු ඇඹරුම් ගල ඇදගෙන, බිම බඩගාගෙන යන කල එළිපත වැදීම නිසා නන්දිය (රැහැන) බිඳීම නිසා මේ නම යෙදිතැයි මහාවංශයේ දැක්වේ.

කාවන්තිස්ස රජතුමා යෝධයන් බඳවා ගත්තේ ඔවුන්ගේ දක්ෂතා පරීක්ෂා කිරීමෙන් අනතුරුව ය. නන්දිමිත්ත පැමිණි අවස්ථාවේ රජු සිටියේ ආයුධ ගබඩාවේ ය. ඔහුගේ දක්ෂතා විමසා බැලීම පිණිස “මේ කඩුව ගෙන මුවහත් තබව“යි කියා කඩුවක් දුන්නේ ය. එය දක්ෂ ලෙස නිමකර ඇති බව දැක සතුටු වූ රජු මාගම වසන්නට සැලැස්වූ බව සඳහන් වේ.

රජරට ආක්‍රමණිකයන්ගෙන් බේරා ගැනීම සඳහා දුටුගැමුණු රජතුමා සිදු කළ විජිතපුර සටනේ දී කණ්ඩුල විසින් බිඳ හෙළන ලද යදොර, ඇතා මතට පතිතවන විට, වම් බාහුවෙන් උර දී එය වැළැක්වීමට නන්දිමිත්ත සමත් විය.

සුරනිමල

සුරනිමල යෝධයාගේ උපන් ගම කොට්ඨිවාල ජනපදයෙහහි ඛණ්ඩක පිට්ඨික බව මහා වංසයේ දක්වා ඇත. මෙහි සමස්ථ අර්ථය ‘කැඩුණුපිටිය’ යන්නයි. මෙම ප්‍රදේශය වර්තමානයේ කඩවත්මඩුව ගම හෝ තොප්පිගල අවට ප්‍රදේශ විය හැකි බව වියතුන් පෙන්වා දේ.

සොළොස් හැළියක් රා බීමට සමත් වූ නිසා සුරනිමල ලෙස පසුව හැඳින්වුණු නිමිල දිසාභය කුමරුන් විසින් මහවැලි තොට ආරක්ෂා කිරීමට එක පවුලකින් එක පුතකු බැගින් බඳවා ගන්නා අවස්ථාවේ ධාවන ශක්තිය හා කාය ශක්තිය පරීක්ෂා කර බැලීමෙන් පසු කාවන්තිස්ස රජු වෙත යවන ලද යෝධයෙකි. එළාර රජු ගේ හා දුටුගැමුණු රජු ගේ සේනාවන් සටන් කරන අවස්ථාවේ දුටුගැමුණු රජුට පහර දීමට පැමිණි දීඝජන්තු මරණයට පත් කළේ සුරනිමලයි.

යුද්ධය අවසානයේ දී රජතුමා විසින් දැදුරුඔය අසල ගමක් ඔහුට ප්‍රදානය කරන ලදී. දැඩි ආගම් භක්තිකයෙක් වූ ඔහු ලංකාවේ ස්ථාන කිහිපයක ම භික්ෂූන් වහන්සේලා සඳහා ලෙන් පූජා කර ඇති බව ශිලා ලේඛනවල සඳහන් වේ.

මහාසෝණ

මහාසෝණ යෝධයාගේ උපන්ගම දීඝවාපි දිශාවේ වර්තමානයේ මල්වතු මඩුල්ල පෙදෙස බව සඳහන් වේ.

සොහොයුරන් හත් දෙනකුගෙන් යුත් පවුලක බාලයා වූ ඔහු කාය ශක්තියෙන් හා මනා රූප සෝභාවකින් යුක්ත විය. ඔහුට මව්පියන් විසින් තැබූ නම සෝණ නම් වෙයි. ඔහු සත් හැවිරිදි වියේදී තරුණ තල්ගස් ද, දස හැවිරිදි වියේ දී මහා තල් ගස්ද ඉඳීරු බවත්, සහස්සවත්ථුප්පකරණයේ දක්වයි. මීට අමතර ව පොල්ගස් බාහුවෙන් බිම හෙලන ලද බව ද කියා සිටී. මේ අන්දමේ මහා වැඩ කිරීම නිසා මහසෝණ වී යැයි පැවසේ.

කාවන්තිස්ස රජු ඔහු ද ගෙන්වා තම හමුදාවට බඳවා ගත්තේ ය. විජිතපුර බලකොටුවේ දොරටු සතරෙන් එකක් බිඳීම සඳහා දුටුගැමුණු රජතුමා මහාසෝණට භාර දුන්නේ ය.

යුද්ධයෙන් පසු රජුගෙන් සම්මාන ලැබූ සුරනිමල යෝධයා රජු සමඟ පින් දහම් කර මිය පරලොව ගිය බව සද්ධර්මාලංකාරයේ සඳහන් වේ.

  අධි වප් අමාවක 

    ඔක්තෝබර් 16 සිකුරාදා පූර්වභාග 04.52 න් අමාවක ලබා 17 සෙනසුරාදා පූර්වභාග 01.00 න් ගෙවේ.
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 16

First Quarterපුර අටවක

ඔක්තෝබර් 23

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 30

Second Quarterඅව අටවක

නොවැම්බර් 08

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk