[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ප්‍රශ්නවල අවසානයක් නැත්තේ ඇයි?

ප්‍රශ්නවල අවසානයක් නැත්තේ ඇයි?

" කුසගින්න ඇති වූ විගස ආහාර ගන්නට එපා. මඳක් ඉවසන්න. එවිට කුසගින්න දුරු වී යනවා. නිදිමතක් ඇති වූ විගස නිදන්න එපා. ඉවසන්න, නිදිමත දුරු වී යනවා. විවිධ පි‍්‍රය වූ ආහාර, පි‍්‍රය වූ දර්ශන, පි‍්‍රය වූ උපකරණ, ඇඳුම් පැළඳුම් සිත ඉල්ලාවී. එහෙත් ඒවා දෙන්නට උත්සාහ කරන්නට එපා."

භාවනාව යන වදන ඇසෙත් ම ඔබගේ සිහියට නැඟෙන්නේ කුමක් ද? පළක් බැඳ දෙනෙත් පියා නිසොල්මන් ව හිඳින යෝගියකුගේ රුවක්. එහෙත් අද බොහෝ දෙනකුට මෙම ඉරියව්වෙන් හිඳිමින් භාවනා කිරීම නොව එම ඉරියව්වෙන් සුළු වේලාවක් හිඳ සිටීම පවා අපහසු කරුණක්. එම ඉරියව්ව බොහෝ විට අතීතයේ හින්දු හා එවැනි යෝගීන් අතර ප්‍රචලිත ව තිබූ ඉරියව්වක්. එහෙත් බුදුරජාණන් වහන්සේ භාවනාව එක් ඉරියව්වකට සීමා කළේ නැහැ.

හිඳි සිටි, සැතපෙන හා සක්මන් යන ඉරියව් සතරෙන් ම භාවනාවේ යෙදිය හැකියි. භාවනාව යනු එදිනෙදා දිවියේ අපගේ වැඩකටයුතු අතරතුර ම කරගත හැකි සහ කළ යුතු දෙයකි.

භාවනාව යනු සිත පාලනය කිරීම යි. සංවර කිරීම යි. සිතට අවශ්‍ය දේ සිතන්නට නො දී තමන්ට අවශ්‍ය දේ සිත ලවා සිතවීම යි. කුඩා දරුවෙක් සංවර කරන්න නම් කුමක්ද කළ යුත්තේ? පුංචි දරුවාගේ ස්වභාවය තමයි සිතූ දේ කිරීම, සිතූ දේ ඉල්ලා හැඩීම,ඔහු ඉල්ලූ ඉල්ලූ දේ දුන් විට දරුවා තවත් මුරණ්ඩු වීමක් වනවා. සිත පාලනය කිරීමේ ප්‍රථම පියවර නම් සිත ඉල්ලන ඉල්ලන දේ නොදී සිටීමට උත්සාහ කිරීම යි. අවම වශයෙන් දීම පමා කරන්න.

කුසගින්න ඇති වූ විගස ආහාර ගන්නට එපා. මඳක් ඉවසන්න. එවිට කුසගින්න දුරු වී යනවා. නිදිමතක් ඇති වූ විගස නිදන්න එපා. ඉවසන්න, නිදිමත දුරු වී යනවා. විවිධ පි‍්‍රය වූ ආහාර, පි‍්‍රය වූ දර්ශන, පි‍්‍රය වූ උපකරණ, ඇඳුම් පැළඳුම් සිත ඉල්ලාවී. එහෙත් ඒවා දෙන්නට උත්සාහ කරන්නට එපා. භාවනාවේ මුල් පියවර මෙය යි. සීලය කියන්නෙත් මේකම යි. එනම්, කයේ , වචනයේ සංවරය යි. සිතට එන එන වදන එහෙම ම පිට කරන්න යන්න එපා. කය, වචනය පාලනය කරන විට තමාගේ කාර්යබහුල බවත් බොහෝ අඩු වේවි.

අප අවිවේකී වෙන්නේ අපගේ ඉඳුරන් පිනවන්නට යාම නිසාම යි. වෙනත් දෙයක් නිසා නොවේ. ප්‍රශ්න ගැටලු, ගැටුම් ඇතිවෙන්නෙත් කය වචනයේ අසංවර බව නිසාම යි.

සීලය කියන්නේ වචනයේ සංවරය. සමාධිය යනු සිතේ හා සිතුවිලිවල සංවරය. මේ ආකාරයෙන් කය, වචනය හරහා සිත පාලනය කළ කෙනාට පමණයි ඍජුවම සමාධිය හරහා සිත පාලනය කරන්නට හැකිවෙන්නේ. සීලය තුළින් සමාධියත්, සමාධිය තුළින් ප්‍රඥාවත් ඇතිවනවා.

බුදුරජාණන් වහන්සේ පැවිද්ද ඇති කළෙත්, ගිහි ජීවිතය ඉඳුරන් පිනවීම ම පදනම් කරගත් දෙයක් නිසා ගිහි සමාජය තුළ තම සාමාජිකයින් නිරතුරුව ම යොමු කරන්නේ ඉඳුරන් පිනවීමට, එහෙම නො කළොත් ගිහි දිවිය තුළ කොන්වන ස්වභාවයක් තිබෙනවා. නමුත් පැවිද්ද තුළ එහෙම නොවෙයි. ඉඳුරන් පිනවීම අඩු කරන තරමට , සරල වන තරමට අල්පේච්ඡ වන තරමට පිළිගැනීම , ගෞරවය වැඩියි.

වර්තමානයේ බොහෝ දෙනෙක් ඉතා ඉහළ ධර්මාවබෝධයක් තිබුණත් පැවිදි වෙන්නේ නෑ. ඒකට අකමැති යි. හේතුව ගිහි හා පැවිදි ජීවිත අතර ඇති පරතරය සීඝ්‍රයෙන් වැඩි වෙමින් යනවා. ගිහියන් අධික ලෙස කාම සම්පත් පරිහරණයට යොමු වෙලා. ඉතාම සංකීර්ණ වෙලා. නමුත් මින් වසර 100 කට 200 කට පෙර නැත්නම් ඊටත් එහා අතීතයේ එහෙම නොවේ. ගිහි ජීවිතත් පැවිදි ජීවිත වාගේම යි. වැඩි වෙනසක් තිබුණේ නැහැ. ඉතින් බොහෝ ගිහියන් එක බණ පදයෙන් ම සෝවාන් වුණා. ගිහිව සිට ම අනාගාමී වුණා.

ගිහිව සිටියත් පැවිදිව සිටියත් මුලින් තමාගේ කය, වචනය. පාලනය කර නො ගත හොත් බුද්ධ ධර්මය තුළ ඉදිරියට යාම නම් කෙසේවත් බැහැ. බණ ඇසුවා කියලා, බණ පොත් කියෙව්වා කියලා ඇති වෙන්නේ දහම් දැනුම පමණයි. සීලය හෝ සමාධිය ඇතිවන්නේ නැහැ. මේ දෙක නැතිව ප්‍රඥාව කෙසේවත් ඇතිවන්නේ නැහැ.

  අධි වප් අමාවක 

    ඔක්තෝබර් 16 සිකුරාදා පූර්වභාග 04.52 න් අමාවක ලබා 17 සෙනසුරාදා පූර්වභාග 01.00 න් ගෙවේ.
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 16

First Quarterපුර අටවක

ඔක්තෝබර් 23

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 30

Second Quarterඅව අටවක

නොවැම්බර් 08

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk