[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහ රහතන් වහන්සේ භාවනායෝගී ව වැඩ සිටි වාරණ රාජ මහා විහාරය

මහ රහතන් වහන්සේ භාවනායෝගී ව වැඩ සිටි වාරණ රාජ මහා විහාරය

වළගම්බා රජතුමාගෙන් පසුව ද වාරණ රාජ මහා විහාර පින් බිමට රාජ්‍ය අනුග්‍රහය අඩු නො වුණු බවට මේ උඩ මලුවේ විහාර මන්දිරය කදිම සාක්ෂි සපයන්නේ ය.

සැතපුම් ගණනක දුරින් එක් පසෙකින් පෙනෙන දසුන ලොව්තුරු බුදු පියාණන් වහන්සේගේ පාද ස්පර්ශය ලද සමනොළ ගිරි මුඳුන ය. අනෙක් පස ඇත්තේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ විරාජමාන ව වැඩ සිටින සෙංකඩගල පුරවරය ය.

හාත්පස ඇති වනාන්තරයත්, ඊට මැදිව ඇති කුඹුරු යායත් ,අහස් කුසට එසැවුණු ගොඩනැඟිලිවලින් ඉදිවෙන කොලොම්පුරයේ අසිරියත් නෙතට මනස්කාන්ත දසුනකි. එමෙන්ම සොබාදහම මවනා, සිත් නිවා සනහාලන දසුනකි.

මේ, මහ රහතන් වහන්සේලාගේ පාද ස්පර්ශයෙන් පුණ්‍යවන්ත ව, හෙළයේ රජ දරුවන්ගෙන් පිහිට ලැබූ ඓතිහාසික වාරණ පුරාණ රාජ මහා විහාර පින් බිමේ ඉහළ මලුවේ දසුනයි.

කොළඹ නුවර මාර්ගයේ කිලෝ මීටර් තිස් හතක් ගිය තැන හමුවන ගම්පහ තිහාරිය හන්දියෙන් හැරී කිලෝමීටර් තුනක් ගිය පසු දකුණු පසින් පිහිටි මේ ඓතිහාසික පින් බිම වැඳ පුදා ගත හැකි ය.දෙවනපෑතිස් රජ දවස මජ්ජිම ස්වාමීන් වහන්සේ ගේ ගෝල හිමි නමක වූ තිස්සත්ත රහතන් වහන්සේ උදෙසා දෙවන පෑතිස් රජු විසින් මෙම විහාරය ඉදිකොට පුජා කර ඇති බැව් සියනෑ හාපිටිගම අලුත්කුරු කෝරලයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක වාරණ රාජ මහා විහාරාධිපති දොම්පේ පුඤ්ඤානන්ද හිමි සඳහන් කරන කරුණකි.

එමෙන් ම වළගම්භා රජු සිය රාජ්‍ය අහිමි ව සැඟව සිය සේනා සංවිධානය කරමින් යන ගමනේ වාරණ පුරාණ විහාර පින් බිමේ ද ආරක්ෂිත ව සිටි බව මෙහි ඉතිහාසය තුළ සඳහන් තවත් කරුණකි. පසුව ඔහු රාජ්‍යත්වයට පත්ව මෙම පුණ්‍යභූමියේ කටාරම් කෙටු ගල් ලෙන් කර මහා සංඝයා වහන්සේට පුජා කර ඇති බව ද සඳහන් වෙයි.

එමෙන්ම පසුකාලීන ව පොළොන්නරු යුගයේ නිශ්ශංකමල්ල රජු කල සුවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් පුජා කොට ඇති බැව් ජනප්‍රවාදයේ එන තවත් සඳහනකි . කෝට්ටේ කාලයේ හයවන පරාක්‍රමබාහු රජු දවස මෙම පින් බිමේ ධර්ම ශාලාවක් ඉදිකොට පිළිම වහන්සේ නමක් ද පූජා කොට සන්නසක් ප්‍රදානය කළ බවක් ද සඳහන් ය.

එසේ හෙළ රජ දරුවන්ගෙන් සුපෝෂිත වූ වාරණ පින් බිම කාලයාගේ ඇවෑමෙන් විනාශ මුඛයට ගිය ද පසුකාලීන ව නුවර යුගයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් යළිත් මෙම විහාරය ප්‍රතිසංස්කරණය කළ බවත්, සත්කෝරළයේ කොල්ලෑගල විහාරයෙන් ස්වාමින් වහන්සේ වැඩම කොට මෙම විහාර පින් බිම යළි සශ්‍රීක කළ බව දොම්පේ පුඤ්ඤාානන්ද හිමියෝ පෙන්වා දෙති.

අඩි හාරසිය හැත්තෑ පහක් උස පර්වත මස්තකය ඇතෙක් වැනි හැඩයක් ගෙන ඇති බැවින් එය වාරණ වූ බව ජනප්‍රවාදයේ එන කතා පුවතකි. එමෙන්ම ‘වා’ නැමති වෘක්ෂය බහුලව පැවැති භූමි පෙදෙසක් වූ නිසා වාරණ වූ බව ද සඳහන් ය.

පහත මලුව, මැද මලුව, ඉහළ මලුව ලෙස ඉදිව ඇති මෙම විහාර පින් බිමේ පහත මලුවේ තෙමහල් ධර්ම ශාලාව ද ,විහාර මන්දිරය ද, ඉඩම් ගල ,කුඩා පන්සල,මැද පන්සල හා කටාරම් කෙටු ලෙන් කුටි ද කෝට්ටේ කල කරන ලද වෙස්සන්තර ජාතක කතා වස්තුව තේමා කොට ගත් සිතුවම් ද දැක ගත හැකි ය. එම සිතුවම අඩි හතළිහක් දිගින් හා අඩි විස්සක් පළලින් යුතුව නිර්මාණය කොට තිබුණ ද අද දැකගත හැක්කේ අඩි දහයක පමණ කොටසක් ය.

පහළ මලුවේ සිට ගල් පඩි සියයක් ඉහළට යන තැන ඇත්තේ මැද මලුව ය.දහ අට රියන් පිළිම වහන්සේ වැඩ සිටිනා විහාර මන්දිරයත්, පිළිම වහන්සේ දෙපස විශ්ණු ,නාථ,සමන් දේව ප්‍රතිමා මෙන් ම, ආනන්ද මහ රහතන් වහන්සේ ගේ පිළිරුවක් ද නිර්මාණය කොට ඇති බැව් දැකගත හැකි ය. ඉපැරැණි ඝණ්ඨාර කුළුණ ද, පෝය සීමාව ද මෙහිදී සැදැහැති ඔබට දැක ගත හැකි ය.

ඉන් ගල් පඩි එකසිය විස්සක් මැදිව ඉහළට ගිය තැන හමුවනුයේ ඉහළ මලුව ය.අහස් කුසට ඇදී ගිය ඓතිහාසික බෝධීන් වහන්සේ ගෙන් සෙවණ ලද මෙම පින් බිමේ දැක ගත හැක්කේ රහතන් වහන්සේලා ගේ ස්පර්ශය ලද කටාරම් කෙටු ලෙන් කුටිය. අසිරිමත් මහ ගල යට නැෙඟනහිරට වූ ලෙන් කුටිය උඩ මලුවේ විහාරය වෙයි. එය ද සිද්ධාර්ථ කතා පුවත විදහාලන සිතුවම් පෙළකින් අලංකාර වී ඇත. ඇතුළත ලෙන ඉදිරියෙන් දහ අට රියන් වූ සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ ය. දකුණින් ඔත් පිළිම වහන්සේ තෙනමකි.

වළගම්බා රජතුමාගෙන් පසුව ද වාරණ රාජ මහා විහාර පින් බිමට රාජ්‍ය අනුග්‍රහය අඩු නො වුණු බවට මේ උඩ මලුවේ විහාර මන්දිරය කදිම සාක්ෂි සපයන්නේ ය.

විහිද ගිය ගල් පර්වතය මතට පිවිසිය පසු දැකගත හැකිවන්නේ හාත්පස මවනා සොබා දහමේ චමත්කාරය යි.

  අධි වප් අමාවක 

    ඔක්තෝබර් 16 සිකුරාදා පූර්වභාග 04.52 න් අමාවක ලබා 17 සෙනසුරාදා පූර්වභාග 01.00 න් ගෙවේ.
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 16

First Quarterපුර අටවක

ඔක්තෝබර් 23

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 30

Second Quarterඅව අටවක

නොවැම්බර් 08

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk