[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කඨිනානිශංස 01: මහපොළොව සේ ශක්තිමත් කඨිනයෙහි අනුසස්

කඨිනානිශංස 01:

මහපොළොව සේ ශක්තිමත් කඨිනයෙහි අනුසස්

කඨිනයෙහි ආනිශංස මහපොළොව සේ ශක්තිමත් ය. මහ මෙර සේ කවර ආකාරයකින් වත් – මහ සුළි සුළඟකින් වත් සෙලවිය නො හැකි ය. දියමන්ති පර්වතයක් සේ කැඩී බිඳී යන්නේ නැත.

එවැනි මහා ශක්තිමත් ස්ථාවර, ශක්ති සම්පන්න කුසල බලවේගයක් කඨින පින්කමකින් ලැබෙන බව දක්වා තිබේ. කඨින යන වචනයේ අදහස ද නො බිඳිය හැකි, නො කැඩිය හැකි විනාශ කළ නො හැකි බලවත් සවිමත් ආනිශංස ලැබෙන බව ය.

මෙතරම් ශක්තිමත් ආනිශංස රාශියක් කඨින පින්කමකින් ලබාදීමට හේතුව කුමක්දැයි යන්න දැනගත යුතු කරුණකි. කරුණු දෙකක් නිසා වෙනත් පින්කමකට වඩා බලගතු ආනිශංස රාශියක් මෙම පින්කමෙන් ලැබේ.

භික්ෂූන් වහන්සේලා වස් තුන් මාසය නිම වනතුරු චීවර මාසය නමින් දැක්වෙන හතර වැනි මාසයේ බොහෝ විට කඨින පින්කම් නිමවන තුරු යම් යම් ප්‍රතිපදාවන් සමාදන් ව ආරක්ෂා කරගනිමින් භාවනාවෙහි යෙදෙති. තුන් සිවුරෙන් පමණක් ජීවත්වීම, ඒකාසනිකාංගය ආදී පිළිවෙත් රකිති.

තවද දිනපතා උදේ , දවල්, සවස බුද්ධ වන්දනාව, සවසට වත පිරිත් දේශනාව, අලුයම වඩන මෛත්‍රි භාවනාව, ගිලන් උවටැන්, ආචාර්යයන් වහන්සේලාට කෙරෙන වතාවත් දායක භවතුන් වෙනුවෙන් කෙරෙන බුද්ධ පූජා , බෝධිපූජා, භාවනා ක්‍රමයන්හි යෙදවීම, ධර්ම සාකච්ඡා , ධර්ම දේශනා, අභය දානය දීම ආදී විවිධ කුසල ක්‍රියාවන්හි යෙදීම නිසා වෙනදාට වඩා උන්වහන්සේලාත් බොහෝ පින්කම් කරගන්නාහ.

ඒ නිසා කඨින චීවර පූජාමය ආනිශංසය වැඩිවන්නේ ය.

වස් ආරාධනා කළ දායක භවතුන් ද මේ හාර මාසය තුළ විශේෂ වත් පිළිවෙත් රකිති. ගිහියන් වශයෙන් ආරක්ෂා කළ හැකි පංච ශීලය රැකීම ද පහ ම බැරිනම් අඛණ්ඩ ව සික පද තුන හතරක්වත් ආරක්ෂා කිරීම ද පෝය දිනයන්හි සිල් සමාදන් වීම ද දායක භවතුන්ගේ සිරිත යි. එසේම විහාරස්ථාන වලට ගොස් වත් පිළිවෙත් කොට බුද්ධ වන්දනාදියෙහි යෙදීම ද තවත් අංශයකි. ඒ අතර දානාදී පින් දහම් කර ගැනීම, වස් ආරාධනා කරන ලද විහාරස්ථානය වෙත ගොස් හැකි පමණින් සිව්පස පහසුකම සැලසීම, තමනුත් දිනපතා ඉඩ ඇති කවර වේලාවක හෝ මෛත්‍රි භාවනාදිය වැඩීම, ධර්ම ශ්‍රවණමය පින්දම්වලට සහභාගි වීම ආදි විවිධ කුසල ක්‍රියාවෝ බෞද්ධ රටවල පින්වත්හු සිදු කරති. සිව් මාසයක් පුරා වඩන මේ ප්‍රතිපත්තියේ බලය ද කඨින පින්කමේ ආනිශංස වැඩිවීමට දෙවැනි හේතුව බව සැලකිය යුතු ය.

නාගිත තෙරණුවෝ

කඨින පින්කම පිළිබඳ ව ආනිශංස කියැවෙන තන්හි බුදුරදුන් දවස වැඩසිටි නාගිත නමැති මහරහතන් වහන්සේ නමක් විසින් ප්‍රකාශ කරන ලද කඨිනානිශංස පිළිබඳ වැදගත් විස්තරයක් සඳහන් වේ. ඒ නාගිත මහ රහතන් වහන්සේ බුදුන් දවස මහාසාල බ්‍රාහ්මණ කුලයක උපත ලදහ. සසර කරන ලද පින් ඇති මේ බ්‍රාහ්මණ කුමාරයා තථාගතයන් වහන්සේ වෙත පැමිණ බණ දහම් අසා බුදුරදුන් වෙතින් පැවිද්දට පත් විය. පැවිද්ද ලබා ගත්තේ ඒහි භික්ඛු භාවයෙනි. සසර බොහෝ පින්කර ගැනීම පමණක් නොව මව්පිය උපස්ථාන, වැඩිහිටි ගෞරවය. නිහතමානී බව, කිසිදාක අනුන් පහත් කොට නො සැලකීම, කාගේත් සැපතට ඇති කැමත්ත, ක්‍රමවත්ව සැදැහැ සිතින් පිළියෙළ කරන ලද අෂ්ට පරිස්කාර පූජාමය පින්කම් සහ විවිධ දානාදී පින්කම් කරගත් උතුමෝ බුදුවරයන් වහන්සේ නමක් වෙතට පැමිණි කල්හි බුදුවරයන් වහන්සේලා ඔහු සසර වඩාගත් කුසල කර්මයන් බලා’ඒහි භික්කවෝ, චරථ බ්‍රහ්මචාරියං

සම්මා දුක්ඛස්ස අත්තකිරියාය” යන වාක්‍යය පවසත් ම එකි පුද්ගලයා නියම පැවිද්දෙක් බවට සැණෙකින් පත් වේ. ඔහු සසර පුදන ලද අෂ්ට පරිස්කාර ආදියෙහි ආනිශංස ඉදිරිපත් ව ඍද්ධිමය බලයකින් එම තත්ත්වයට පත්වීම පුණ්‍ය මහිමයේ ශක්තිය බව සැලකිය යුතු ය. නොබෝ කලකින් උන්වහන්සේ ඍද්ධි බල සහිත මහරහත් බවට ද පත් වූ සේක.

  අධි වප් අමාවක 

    ඔක්තෝබර් 16 සිකුරාදා පූර්වභාග 04.52 න් අමාවක ලබා 17 සෙනසුරාදා පූර්වභාග 01.00 න් ගෙවේ.
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 16

First Quarterපුර අටවක

ඔක්තෝබර් 23

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 30

Second Quarterඅව අටවක

නොවැම්බර් 08

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]