[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පරිසරයට ආදරය කරන්නාට පරිසරය ද ආදරය කරයි

පරිසරයට ආදරය කරන්නාට පරිසරය ද ආදරය කරයි

බුද්ධ චරිතය ආරම්භයේ සිට අවසානය තෙක් විමසා බැලීමේ දී අපට හොඳින් පැහැදිලි වන කරුණක් වන්නේ බුද්ධ චරිතයේ සෑම විශේෂ සිදුවීමක් ම සිදු වී ඇත්තේ පරිසරය ආශ්‍රය කොට ගෙන බවයි.

රම්‍ය, සුරම්‍ය, සුභ විශේෂිත වූ මාලිගා තුනක් සිදුහත් කුමරාට ගිහි ජීවිතය ගත කිරීමට නිම කොට දී තිබූ බව බෞද්ධ ඉතිහාසය පෙන්වා දෙයි. මහාමායා දේවිය දරු ප්‍රසූතිය සඳහා මව්පිය නිවෙසට යද්දී උයන් සිරි නරඹනු වස් ලුම්බිණි සල් උයනට පිය නැඟී ය. අසිරිමත් සිදුවීමක් වන සිදුහත් උපත සිදු වූයේ මෙම මනරම් උයනේ දී ය. එමෙන්ම , සිදුහත් කුමරු මනරම් සුව සම්පත් ඇති, අතිශය අලංකෘත වූ මාලිගා තිබියදීත් නිරන්තරයෙන් උයන් සිරි විඳීමට උයන්හි කාලය ගත කළේ ද පරිසරය හා ඇති මිහිරියාව විඳ ගැනීමට ය. බෝසත් සිරිත හා නිරන්තරයෙන් පරිසරය බැඳී තිබුණ බව මෙවන් හේතු මත පැහැදිලි වන්නේ ය.

සිදුහත් කුමරුගේ උපත මෙන් ම උතුම් සම්බෝධිය අවබෝධ කර ගත්තේ ද පරිසරය හා සමඟ බැඳෙමින් උතුම් වූ ඇසතු බෝ සමිඳුන් සෙවණේ දී ය එසේ උතුම් බුද්ධත්වයට පත් වූ උන් වහන්සේ සත් සතියක් පුරා තමන් වහන්සේට උපකාර වූ බෝ සමිඳුන්ට පූජෝපහාර දැක් වූ බව ද සඳහන් වේ. එමෙන්ම පුරා වසර 35 ක් පුරා ලෝ වැසි සතුන්ට සංසාර ගමන් මඟ කෙළවර කිරීමට දම් දෙසු අප බුදුරජාණන් වහන්සේ පිරිනිවනට වැඩියේ ද පරිසරය හා බැඳි කුසිනාරාවේ මල්ලව රජ දරුවන්ගේ සල් උයනේ දී ය.

මෙලෙසින් බුදුන් වහන්සේගේ ජීවන ගමනේ විශේෂිත වූ සියලු අවස්ථාවන් සඳහා පරිසරය සම්බන්ධ වීම තුළින් අපට පැහැදිලි වන්නේ බුදු දහම පරිසරය හා බැඳී ඇති දහමක් බවයි.බුදුන් වහන්සේ අරිය පර්යේෂණ සූත්‍රයේ දී ද උන් වහන්සේ පරිසරයට දැක් වූ සැලකිල්ල පිළිබඳව පැහැදිලි කොට ඇත.

“මහණෙනි, මම උරුවෙලාවෙහි ඇවිදිමින් සේනානි ගම කරා පිය නැඟුවෙමි. එහිදී සිත්කලු භූමි භාගය ද, වන ලැහැබ ද, වැලිතලා ද, දසතින් ම පෙනෙන සිත්කලු දිය දහර වැලිතලා ද දුටුවෙමි. මෙම භූමි භාගය මට වීරිය වැඩීමට සුදුසුම භූමියයි. මම මෙම භූමිය තෝරා ගතිමි” යනුවෙන් පරිසරය බුද්ධත්වය අවබෝධ කර ගැනීමට සුදුසු ආකාරය පැහැදිලි කොට දී ඇත. ලෝකය හා සත්ත්වයාගේ ප්‍රභවය පිළිබඳ දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කරන අග්ගඤ්ඤ සූත්‍රයේ දී ද මිනිසාත්, පරිසරයත් අතර ඇති වෙන් කළ නොහැකි වූ බැඳීම පැහැදිලි කොට දෙයි. එදා මෙන් ම අද ද මිනිසා පරිසරය හා බැඳී සිටින ආකාරය බුදු දහම මනාව පැහැදිලි කොට දෙයි. විහාරස්ථානවල නිරන්තරයෙන් ම වැඩ හිඳිනා බෝධි වෘක්ෂ ද පරිසරය හා බුදු දහම තුළ ඇති සබැඳියාව පෙන්නුම් කරයි.

ලක්දිව බුදු සසුන ස්ථාපිත වූයේ ද පරිසරය මුල්කොට ගෙන ය. එදා මිහිඳු හිමියන් ලක්දිවට වැඩම කළේ අති රමණීය වූ, සුන්දර වූ මිහින්තලා පුද බිමටයි. ගල් කුළු, වෘක්ෂලතාවලින් සමලංකෘත වූ රමණීය භූමි ප්‍රදේශයක් තුළදී දේවානම්පියතිස්ස රජතුමා ඇමතූ මිහිඳු මහ රහතන් වහන්සේ බුදු දහම ස්ථාපිත කිරීම සඳහා රජතුමාගේ නුවණ පරික්ෂා කර බැලුවේ ද අඹ වෘක්ෂයන් පිළිබඳ ප්‍රශ්න කීපයක් විචාරා බැලීමෙන් ය.

අතීතයේ සෑම ජනාවාසයක් ම පිහිටුවා ඇත්තේ සුන්දර පරිසරය ආශ්‍රය කොටගෙනයි. එමෙන්ම “වැවයි – දාගැබයි” “ගමයි – පන්සලයි” පවසන අයුරින් ම සෑම තැනක ම දාගැබක් පිහිටුවා ඇත්තේ වැවක් අසල ය. වැවෙන් කෘෂිකර්මාන්තයට ජලය ලබා ගත්තා සේ ම ජන ජීවිතය ද පෝෂණය විය. වැවක් ගොඩනැඟීමේ දී ඉවතලන පස් අරගෙන චෛත්‍යයක් සෑදු අතර, වැව කෘෂිකාර්මික ව ජන ජීවිතය පෝෂණය කළ අතර, චෛත්‍යය මිනිසාට ආධ්‍යාත්මික සුවය සලසා දෙන ලදී.

මෙලෙසින් බුදු දහම පෝෂණය ව්‍යාප්තිය සඳහා රම්‍ය වූ පරිසරය උපකාරි වූ ලෙසින් ම රම්‍ය වූ පරිසරය මිනිසාගේ ගත සිත නිවමින් උතුම් වූ නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහා තෝතැන්නක් විය.

බුදු දහමෙන් නිරන්තරයෙන් උත්සාහ කරන්නේ පරිසරය රැක ගැනීමට ය. වස්සාන සමයෙහි භික්ෂූන් වහන්සේට ආරාම සෙනසුන්හි වැඩ හිඳිමින් ගත කරන ලෙස ද අනුදැන වදාළේ පරිසරය ආරක්ෂා කර ගැනීම උදෙසායි. කුඩා කෘමි සතුන් , අලුතෙන් දලුලන පැළෑටි පිණ්ඩපාතයෙහි වඩිනා භික්ෂූන් වහන්සේට පෑගී විනාශ වන බව අන්‍ය ආගමිකයන් පැවසු හෙයින් ඒ පිළිබඳව අවධානය යොමු කළ අපේ අම්මා සම්බුදුපියාණන් වැසි සමය භික්ෂූන් වහන්සේට ආරණ්‍ය සේනාසනවල, විහාර ආරාමවල ගත කරන ලෙස වදාළ සේක.

ගසක, වැලක පත්‍රයක් කැඩීම පවා භික්ෂූන් වහන්සේට අකැප බව දේශනා කොට ඇත්තේ ද පරිසරය බුදුදහම හා බැඳී ඇති නිසාවෙනි.

ස්වභාව ධර්මය කෙරෙහි මනා අවබෝධයකින් කටයුතු කරන තැනැත්තා නිතරම පරිසරය ආරක්ෂා කර ගනී. පරිසරයට ආදරය කරයි. සංරක්ෂණය කරයි.

ධනය උපයන විට පරිසරය ආරක්ෂා වන ලෙස ධනය උපයා ගත යුතු බව සිඟාල ගෘහ පුත්‍රයාට බුදුන් වහන්සේ පැහැදිලි කර දුන්නේ පරිසරයට හානියක් නොවන ලෙස ධනය රැස් කළ යුතු හෙයිනි.

බුදුන් වහන්සේ දවස ජනයා පෝෂිත වූයේ කෘෂිකර්මාන්තයෙනි. එදවස රජවරු , සිටුවරු තම වටිනාකම පෙන්වා දුන්නේ ඔවුන් සතු සත්ව ප්‍රමාණයේ විශාලත්වය අනුව ය. කෙත් වතුවල ප්‍රමාණය අනුව ය. ගැහැනු දරුවකුගේ විවාහයේ දී දෑවැදි ලෙසින් දායාද කළේ ද ඇත්, අස්, ගව වැනි සතුන් ය.

එයින් පරිසරය පෝෂණය වීම තම කෘෂිකර්මාන්තයට උපකාරි කර ගැනීම බලාපොරොත්තුව විය. අද වැනි තාක්ෂණික දියුණුවක් නොතිබුණු අතීතයේ මහ පොළවෙන් ගත් ධනය වූයේ තමන්ගේ පෝෂණය සලසා, මෙන්ම ඉදිරි පරම්පරා ගණනාවකට ම පොළවෙහි සාරය ඉතුරු කරමින් ය.

පරිසරය රැකීම සඳහා ජාතක පාලියෙහි මෙසේ ද සඳහන් කරයි. යමෙක් සෙවනට ගසක් යට හිඳී ද, නිදා ගනී ද පසුව එම ගසෙහි අත්තක් හෝ කඩා දමයි ද ඔහු මිත්‍ර ද්‍රෝහියෙකි. පාපතරයෙකි යනුවෙනි.

බෞද්ධ සදාචාර ධර්මය නිතරම උත්සාහ කරන්නේ මිනිසා , ගස් වැල්, සතුන් ආදී මේ දේවල් සමඟ බැඳෙමින් පරිසරය රැක ගැනීමට ය. නික්ලේෂී මහා රහතුන් රමණීය පරිසරයට පි‍්‍රය කරයි. එවන් සුන්දර පරිසරය විනාශ නොකර රැක ගැනීම අප සතු යුතුකමකි.

  අධි වප් අමාවක 

    ඔක්තෝබර් 16 සිකුරාදා පූර්වභාග 04.52 න් අමාවක ලබා 17 සෙනසුරාදා පූර්වභාග 01.00 න් ගෙවේ.
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 16

First Quarterපුර අටවක

ඔක්තෝබර් 23

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 30

Second Quarterඅව අටවක

නොවැම්බර් 08

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]